නිදහස සොයා බැලුනයකින් ගිය ගමන

51

වෙලාව පාන්දර දෙකයි හතළිහට පමණ ඇත. එළිය වැටෙන්නට තව පැය ගණනක් තිබේ. බාවේරියන් ප‍්‍රාන්ත පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු වූ, වෝල්ටර් හාමන් සහ රුඩොල්ෆ් ගෝකල්, බටහිර ජර්මනියේ නායිලා නගරයේ වීදිවල මුර සංචාරයෙහි යෙදෙමින් සිටියහ. මේ නගරය පිහිටියේ ඉහළ ෆ‍්‍රැන්කෝනියා පෙදෙසේ නැගෙනහිර ජර්මනියේ දේශසීමාවට සැතපුම් හයක පමණ දුරකිනි. හදිසියේම ඔවුන් දෙදෙනා, තරුවලින් ගහන අහසෙහි, දුබල පහන් සිලක් මෙන් සෙමෙන් චලනය වෙන අමුතු ආලෝකයක් දුටුවහ. ඒ කුමක්දැයි ඔවුන්ට සිතා ගන්නට නොහැකි වූ නමුදු, ඒ ආලෝකය ඇත්තේ පොළවේ සිට අඩි පන්දහසක් පමණ ඉහළින් බව නම් ඔවුන්ට වටහා ගත හැකි විය. ඔවුහු පරික්ෂාවෙන් එදෙස බලා සිටියහ. එය සෙමෙන් සෙමෙන් පොළවට පහත් වූ බවත්, එයින් පසුව කොතැනක හෝ පතිත වූ බවත් ඔවුන්ට වැටහිණ. ඒ අමුතු ආලෝකය පොළවට පතිත වෙන්නට ඇතැයි සිතූ තැන බලා ඔවුන් දෙදෙනා වහා තම රථය ධාවනය කළහ.

එතැනට ළ`ගා වූ විට ඔවුන් දුටුවේ ඔවුන්ගේ මෝටර් රිය යන මග අවහිර කරමින් පාර මැද සිටගෙන සිටින පුද්ගලයින් දෙදෙනෙකි. පොලිස් නිලධාරින් දෙදෙන මෝටර් රිය එතැන නවත්වා රියෙන් බැසගත්හ.

”අපි මේ ඉන්නෙ බටහිරද..?” ඒ අමුත්තන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇසුවේය.

නිදහස සොයා බැලුනයකින් ගිය ගමන

”ඔව් මේ බටහිර තමයි..” පොලිස් නිලධාරින්ට එය කියා නිම කරන්නට හැකි වූයේ නැත. අමුත්තන් දෙදෙනා ඉහ වහා ගිය සතුටින් කෑ ගසන්නටත්, හූ තියමින් උඩ පනින්නටත් පටන් ගත්හ. ඉන්පසුව පාර අයිනේ පඳුරු ගොන්නක සැගවී උන් ඔවුන්ගේ බිරින්දෑවරුන්ටත්, දරුවන්ටත් අඩ ගැසූහ. ෂැම්පේන් බෝතලයක් විවර කරගත් ඔවුහු පාර මැද හිඳගෙනම සතුට සමරන්නට වූහ. ඔවුන් ඒ සැමරුවේ ඔවුන්ගේ අතිදුෂ්කර වූ පලා යෑමේ ජයග‍්‍රහණයයි.

ඔව්. එය පාර මැදම වුව සමරන්නටම වටින කාරණයකි. පාර මැද උන් ඒ අමුත්තන් දෙදෙනා, පීටර් ස්ට‍්‍රලේසයික් හා ගන්ටර් වෙට්ස්ල් ය. ඒ පිරිසේ උන් අනෙක් අය ඔවුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් ය. තමන්ම සාදා ගන්නා ලද බැලූනයකින් ඔවුන්, නැගෙනහිර ජර්මනියත් බටහිර ජර්මනියත් අතර ඇති, දැඩි රැකවල් ලූ දේශසීමාව තරණය කර තිබිණ.

නැගෙනහිර ජර්මනියත් බටහිර ජර්මනියත් අතර වූ එම දේශ සීමාව හැඳින්වුණේ අභ්‍යන්තර ජර්මානු දේශ සීමාව ලෙසිනි. එය එවකට තිබුණු දැඩිම ආරක්ෂක රැකවල් සහිත දේශ සීමා වලින් එකක් යැයි පැවසිණ. සැතපුම් 866 ක් දිග මේ දේශ සීමාව අඛණ්ඩව උස් කම්බි වැටවල් වලින්ද, තාප්ප වලින්ද, විදුලිය කැවූ කම්බිවල ආරක්ෂාවද, අනතුරු ඇ`ගවීමේ නලාවන්ද, වාහන වලට ගමන් නොහැකි සේ කැපූ අගල් වලින්ද සමන්විත විය. ඒ මදිවාට, කවුරුන්ම හෝ මේ දේශසීමා හරහා පැන යනවාදැයි බලන්නට සවිකළ නිරික්සුම් කුලූනුුද, උගුල් හා බෝම්බ වැළලූ බිම් තීරුද එහි විය. එපමණක් නොව එය නිරන්තරවම, ප‍්‍රබල පිරික්සුම් පන්දම් හා ස්වයංක‍්‍රීය ගිනි අවි වලින් සන්නද්ධ නැගෙනහිර ජර්මානු සෙබළුන් පනස් දහසකගෙන් සමන්විත බළකායකින් මුර කෙරෙනු ලැබිණ. එතරම් ආරක්ෂක විධි විධාන යොදා තිබුණද, නැගෙනහිර ජර්මානුවන් දස දහස් ගණනක් මේ දේශසීමාව තරණය කර බටහිර ජර්මනියට පැනගන්නට උත්සාහ කළහ. ඒ උත්සාහයේදී, දහස් ගණනකගේ ජීවිත පවා අහිමි විය.

පීටර් ස්ට‍්‍රලේසයික්, නැගෙනහිර ජර්මානු ගුවන් හමුදාවේ කාර්මික අංශයේ සේවය කර, ඉවත් වූ විදුලි කාර්මිකයෙකි. ගන්ටර් වෙට්ස්ල් වෘත්තියෙන් පෙදරේරුවෙකු වූයේය. මේ දේශසීමා තරණය කිරීමේ උත්සාහය ගැන කතා බහ කරන්නට වසර හතරකට පෙර සිටම ඔවුන් දෙදෙනා මිතුරන්ව සිටියහ. දේශසීමා තරණයට බැලූනයක් භාවිත කිරීමේ අදහස මතු වූයේ 1978 මාර්තු මාසයේ හැන්දෑවකය. ඒ 1958 නැගෙනහිර ජර්මනියට පලා ගිය වෙට්ස්ල්ගේ නෑනන්ඩිය, කෙටි නිවාඩුවකට යළි නිවසට පැමිණීමත් සමගය. ඇය ගෙනා එක් ස`ගරාවක නව මෙක්සිකෝවේ බැලූන් උත්සවයක් ගැන ලිපියක් තිබිණ.

”මේක නම් එච්චර අමාරු වැඩක් නෙවෙයි වගේ..” දේශ සීමාව තරණය කර නැගෙනහිර ජර්මනියට පලා යන්නට හොඳම ක‍්‍රමය මෙය යැයි පීටර් මෙන්ම වෙස්ට්ල්ද තීරණය කළේය. එහෙත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් බැලූනයන් ගැන කිසිදු දෙයක් දැන සිටියේ නැත. ඉතින් ඔවුන් දෙදෙනා කළේ ඔවුන් විසූ නගරය වන පෝබ්නෙක් හි තිබුණු එකම පොත් වෙළඳ සැල කරා ගොස්, මේ විෂයය පිළිබඳව ඔවුන්ට සොයා ගත හැකි තරම් පොත් සොයාගෙන විත් කියවීමය. ඒ පොත්පත්වල තිබුණු උණුසුම්-වායු බැලූනයන්හි පින්තූර දෙස බලමින්, ගණන් සදමින් ඔවුන් දෙදෙනා ඔවුන්ටත් පවුලේ අයටත් කුමන ප‍්‍රමාණයේ උණුසුම් වායු බැලූනයක් අවශ්‍ය වේදැයි ඇස්තමේන්තු කළහ. ඔවුන්ගේ ගණනය කිරීම් වලට අනුව, ඔවුනට ඝණ මීටර 1800 ක ධාරිතාවය ඇති වායු බැලූනයක් අවශ්‍ය වූ අතර, එය නිර්මාණය කරන්නට, වර්ග මීටර් 900 ක රෙදි ප‍්‍රමාණයක් උවමනා විය.

කාගේවත් සැකයට බඳුන් නොවී එතරම් රෙදි ප‍්‍රමාණයක් ලබා ගැනීම දුෂ්කර කාර්යයක් විය. ඉතින් ස්ට‍්‍රලේසයික් හා වෙස්ට්ල් සැතපුම් තිහක් දුර ගෙවාගෙන, ජෙරා නගරයේ රෙදිපිළි ගබඩාවක් සොයා ගියහ. එහි උන් ලිපිකරුවාට ඔවුන් පැවසුවේ ඔවුන්ගේ කඳවුරු බැඳීමේ සමාජයේ සාමාජිකයින් සියල්ලන්ටම භාවිතා කරන්නට අවශ්‍ය කූඩාරම් රෙදි එකම තැනකින් ගන්නට තීරණය කළ බවය.

නිදහස සොයා බැලුනයකින් ගිය ගමන

ඊළ`ග දෙසතිය තුළ, වෙස්ට්ල් තම නිවසේ උඩු මහලේ කාමරයක ස්ව කැමැත්තෙන්ම සිරගත වූයේය. ඒද තනිවම නොවේ. ඔහුගේ මවගේ පැරණි මහන මැෂිමත් සමගය. දෙපයින් පාගමින් මහන ඒ පරණ තාලයේ මහන මැෂිමත් සමග ඔහු වෙහෙස වෙද්දී, ස්ට‍්‍රලේසයික් පහත මාලයේ කුටියක් තුළට වී ගොන්ඩෝලාවක් හා දාහක පද්ධතියක් නිර්මාණය කරන්නට මහන්සි වූයේය. ඔහු විසින් සැලසුම් කළ පළමු දාහක පද්ධතිය කිලෝග‍්‍රෑමයේ ද්‍රව පැරෆින් ගෑස් බෝතල් එකොළහකින් සමන්විත විය.

ගොන්ඩෝලාවට මීටර් 1.4 ක් වූ වානේ තහඩු ගෙන ඒවා තවත් ශක්තිමත් වන අයුරින් යකඩ දාර එකතු කොට පාස්සන ලදී. අඩි හයදාහක උසකින් වැටුණහොත් එය මාරාන්තික විය හැකි බැවින් මෙහි ගමන් කරන අයව ආරක්ෂා කරන්නට ආරක්ෂිත වැටක්ද නිර්මාණය කරන ලදී. 1978 අපේ‍්‍රල් මාසය වන විට ඔවුහු, ඔවුන්ගේ පළමු තාප වායු බැලූනය අත්හදා බැලීමට සූදානම්ව සිටියහ. මේ පවුල් දෙක සැලසුම් කරගත් පරිදිම පොබ්නෙක් නගරයෙන් කිලෝමීටර් 19 ක් ඈතින් වූ වනාන්තරයකට ගියේ කිසිවෙකුට නොපෙනී මේ වායු බැලූනය අත්හදා බලනු පිණිසය. එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ පරිද්දෙන් වායු බැලූනය පිම්බුණේ නැත. ඔවුන් ක‍්‍රම කිහිපයකටම ඒ තාප වායු බැලූනය පුම්බා ගන්නට උත්සාහ කළ මුත්, එය සාර්ථක නොවීය. එවැන්නක් සිදුවුණේ බැලූනයේ සිදුරු ඇති නිසා යැයි වෙස්ට්ල් හා ස්ට‍්‍රලේසයික් වටහා ගත්හ. එයටද පිළිියම් යොදා නැවත බැලූනය ක‍්‍රියාත්මක කරගන්නට උත්සාහ කළ මුත් එයද සාර්ථක වූයේ නැත. එයින් සුන්වූ බලාපොරොත්තු ඇතිව ආපසු පැමිණි ස්ට‍්‍රලේසයික් හා වෙස්ට්ල් බැලූනය පිළිිබඳ සියලූ සාක්ෂි ගිනිබත් කළහ. එයින් පසු වායු කාන්දු නොවන හා වඩාත් සැහැල්ලූ අමුද්‍රව්‍යයක් සොයා වෙහෙසෙන්නට වූහ. ඔවුහු කුඩ රෙදි හා විවිධ ඝණකමින් යුතු ටැෆටා හා නයිලෝන් රෙදි එකතු කරගත්හ. මේ එක් එක් රෙදි වර්ගය සැලකිල්ලෙන් පරික්ෂාවට ලක් කළ පසුව, වඩාත් ඵලදායී අමුද්‍රව්‍යය වනුයේ කුඩ රෙද්ද බව ඔවුහු සොයා ගත්හ. එහෙත් ඒ රෙදි වර්ග අතරින් මිල අධිකම රෙදි වර්ගය වුයේද එයයි. ඉතින් ඒ වෙනුවට ඔවුහු සින්තටික් වර්ගයේ ටැෆටා රෙද්දක් තෝරාගත්හ.

බැලූනයට උවමනා කරන වර්ග මීටර් නවසියයක රෙදිි ප‍්‍රමාණය මිලදී ගන්නට ඔවුන් දෙදෙන, සැතපුම් සියයක් පමණ දුරින් වූ ලීප්සිග් නගරයේ රෙදිපිළි ගබඩාවක් වෙත ගියහ. මෙවර ඔවුන් ඉදිරිපත් කළ කාරණය පෙරට වඩා වෙනස් එකක් විය. ඔවුන් කීවේ රුවල් බෝට්ටු යාත‍්‍රා සමාජයක සාමාජිකයින් හට ඔවුන්ගේ රුවල් බෝට්ටු සඳහා භාවිතා කරන්නට මෙම රෙදි වර්ගය විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය වන බවය. එහෙත් ඔවුන්ට අවශ්‍ය වූ රෙදි ප‍්‍රමාණය ඒ රෙදි ගබඩාවේ නැති බවත්, ඒ් ප‍්‍රමාණය සපයා දෙන්නට දිනක කාලයක් අවශ්‍ය බවත් ඔවුන්ට දැනුම් දෙනු ලැබිණ. ඒ එක් දිනක කාලය තුළ, රෙදි ගබඩාවේ සේවකයින් ඔවුන් ඉල්ලන අසාමාන්‍ය රෙදි ප‍්‍රමාණය ගැන ආරක්ෂක අංශවලට දැනුම් දෙනු ඇතැයිි ස්ට‍්‍රලේසයික් හා වෙස්ට්ල් බිය වූහ. එහෙත් ඒ අවදානම ගන්නට ඔවුහු තීරණය කළහ.

පසුදා ඔවුන් එහි යන විට ඔවුන්ට අවශ්‍ය ටැෆටා රෙදි ප‍්‍රමාණය සූදානම්ව තිබිණ. එහෙත් ඒ දීප්තිමත් වර්ණයන් හතරකිනි. කෙසේ වුවත් එම රෙදි ප‍්‍රමාණය මිලදී ගනු හැරෙන්නට ඔවුන්ට වෙනත් විසඳුමක් තිබුණේ නැත. මෙවර තම පරණ මහන මැෂිමට මෝටරයක් සවි කරගත් වෙස්ට්ල්, සතියක් ඇතුළත තව බැලූනයක් සූදානම් කර ගත්තේය. එය ඝණ මීටර 2200 කට වඩා මදක් විශාල බැලූනයක් විය. එක් රැයෙක, වනාන්තරයක් මැද වූ කුඩා එළිමහනකට ගොස් එම බැලූනය පුම්බන්නට උත්සාහ කළහ. මේ වතාවේ නම් බැලූනය ශක්තිමත්ව පිම්බී ගියේය. රැහැන්ද තද විය. මිතුරන් දෙදෙනා බැලූනය වටේ ඇවිදිමින් පරික්ෂා කරමින්, මේ දීප්තිමත් බැලූනය ඔවුන්ව බටහිරට ගෙන යන්නට ප‍්‍රමාණවත් බව තහවුරු කරගත්හ.

එහෙත් ඔවුන්ගේ සතුට පැවතුණේ කෙටි කාලයකට පමණකි. ඉක්මනින්ම ඉන්ධන අහවර වූයෙන් බැලූනය යළි ඇකිළී ගියේය. බැලූනයේ ක‍්‍රියාකාරිත්වය වැඩි වෙලාවක් පවත්වා ගන්නට ඔවුන්ගේ දාහකයේ ධාරිතාවය කිසිසේත් ප‍්‍රමාණවත් නොවීය. ඒ නිසා දාහකයේ කාර්යක්ෂමතාවය ප‍්‍රමාණවත් මට්ටමකට ඉහළ නංවා ගන්නට ඔවුන්ට තවත් මාස කිහිපයක්ම වෙහෙසෙන්නට සිදු විය.

දිගින් දිගටම ඒ සඳහා පර්යේෂණ කිරීමෙන් පසුව 1979 ජූනි මාසය වන විට බැලූනය සඳහා ප‍්‍රමාණවත් දාහකයක් නිර්මාණය කරගන්නට ඔවුහු සමත් වූහ. දැන් පලා යෑම සඳහා අවශ්‍ය යන්ත‍්‍රය සූදානම්ය. දැන් ඔවුන්ට උවමනා වනුයේ ඒ සඳහා සුදුසු කාලගුණයක් හා සුළං තත්වයක් පමණකි.

1979 ජූලි 03 වන දින ඒ අවශ්‍යතාවන් දෙකද සම්පූර්ණ වී තිබිණ. ඒ නිසා එදින පාන්දර 1.30 ට පමණ ස්ට‍්‍රලේසයික්, ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනාත් සමග වනාන්තරය මැද එළිමහන් බිම් කඩට පිවිසියහ. බැලූනයෙන් ඉහළට නැගුණු ඔවුන් සෙමෙන් බටහිර ජර්මනිය දෙසට පා වෙන්නට වූහ. එහෙත් අවාසනාවකට බැලූනය වලාකුළකට මැදි විය. එහි ඇති ආර්ද්‍රතාවයෙන් තෙතබත් වූ බැලූනය බර වැඩි වී සෙමෙන් පොළවට පහත් වෙන්නට විය. වඩාත්ම බියකරුම කාරණය වූයේ, අවසානයේ බැලූනය පොළවට පතිත වූයේ, බිම් බෝම්බ වලින් ගහණ වූ දේශසීමා බිම්කඩට බෙහෙවින්ම සමීපයෙන් වීමය. ස්ට‍්‍රලේසයික් පවුලේ අය, බැලූනය එතැනම දමා පා ගමනින්ම ආපසු තම නිවස වෙතට පලා ආහ. ඔවුන් අතහැර දමා ආ බැලූනය නැගෙනහිර ජර්මානු බලධාරීන්ගේ අතට පත්වී තිබිණ.

නිදහස සොයා බැලුනයකින් ගිය ගමන

නැගෙනහිර ජර්මානු රහස් පොලිසිය ඔවුන් පසුපස හඹා එන්නට පටන් ගත්හ. වහ වහා තවත් බැලූනයක් සාදාගෙන පලා යෑම හැරෙන්නට වෙනත් විසඳුමක් නැති බව ස්ට‍්‍රලේසයික් හා වෙස්ට්ල් තීරණය කළහ. පවුල් දෙකම එක වර පලා යා යුතුවූ නිසා, මෙවර නිර්මාණය කළ යුතු වූයේ පෙරට වඩා දෙගුණයක් විශාලත්වයෙන් යුතු වූ බැලූනයකි. ඉතින් ඒ සඳහා අවශ්‍ය ටැෆටා රෙදි ගන්නට ඔවුන්ට තැන් සිය ගණනකට ඇවිදින්නට සිදු විය. තැන් තැන් වලින්, කුඩා ප‍්‍රමාණ ලෙසින් මිලදී ගත් ටැෆටා රෙදි වලින් තුන්වන බැලූ?මද මැසූ මේ දෙදෙනා කිලෝග‍්‍රෑම් 180 ක් බරැති බැලූ?මක් නිර්මාණය කරගත් අතර, ගොන්ඩෝලාවේ හා පවුල් දෙකේ සාමාජිකයින්ගේ බර කිලෝග‍්‍රෑම් 550 ක් එයට එකතු විය.

අවසානයේ ඒ බැලූනයට අවශ්‍ය කරන සුළං ප‍්‍රමාණය සපයන දැවැන්ත කුණාටුවක් එම වසරේම සැප්තැම්බර් 15 වන දා ඇති විය. තවත් කාලය නාස්ති කරන්නට නොසිතූ ඔවුන් දෙදෙනා තම පවුල්වල අයත් සමග අර වනාන්තරය මැද එළිමහන් බිම් කඩට එකතු වූහ. පාන්දර 1.30 ට බැලූනය පුරවා ගැනීමේ කටයුතු ඇරඹූ ඔවුන්ට වැඩි වෙලා යන්නට පෙර ඉහළට නැගෙන්නට හැකි විය.

ඒ ගමනද බාධක වලින් තොර නොවීය. බාධක හා දුෂ්කරතා රැසක් සමගින් කුණාටු අහස මැදින් බටහිර බලා යාත‍්‍රා කරන්නට වූ බැලූනය දේශසීමාවට ඉහළින් ගමන් ගනිද්දී සැර ආලෝකයෙන් යුතුවූ විදුලි එළි ඔවුන් සිටි දිශාවට යොමු වෙන්නට විය. එහෙත් ඒ වන විට පොළවේ සිට අඩි අට දහසක් ඉහළ අහසේ උන් ඔවුන් වෙත ළ`ගා වෙන්නට ඒ එළිවලට හැකි වූයේ නැත.

වැඩි කාලයක් ගත වෙන්නට පෙර ඉන්ධන ඉවර විය. බැලූනය සෙමෙන් පහත් වෙන්නට පටන් ගත්තේය. අවසානයේදී නොසිතූ විලසින් ඔවුන් බිම පතිත වූ විට වෙස්ට්ල්ගේ පාදයක්ද බිඳී ගියේය. ඔවුන් පොළවට පතිත වී තිබුණේ නායිලා නගරය සමීපයෙනි. ඔවුන්ගේ අඩ පැයකට ආසන්න බැලූනයේ ගමන ඔවුන්ව නිදහස වෙත කැඳවාගෙන විත් තිබිණ.

නායිලා නගරයේදී මේ පවුල් දෙකට ජීවත් වෙන්නට නිවාස දෙකක්ද, සියල්ල අලූතින් අරඹන්නට අවශ්‍ය ආධාරද ලැබිණ. වෙස්ට්ල් වාහන කාර්මිකයෙකු වශයෙන් සේවය කරන්නට පටන් ගත් අතර, ස්ට‍්‍රලේසයික් රූපවාහිනී අලූත්වැඩියා කරන වැඩපොළක් ආරම්භ කළේය. 1985 වසරේදී ස්විට්සර්ලන්තයට ගිය ස්ට‍්‍රලේසයික් 1990 දී බටහිර හා නැගෙනහිර ජර්මනිය එක් කළ පසුව නැවතත් තමන්ගේ උපන් නගරයට ගියේය. එහෙත් වෙස්ට්ල් බාවේරියාවේම නතර වූයේය.

ඔවුන්ගේ පලා යෑම පිළිබදව විස්තර දැනගත් වහාම නැගෙනහිර ජර්මානු බලධාරීහු වහාම දේශ සීමා ආරක්ෂාව තවත් තර කරන්නට කටයුතු කළහ. දේශ සීමා මායිමට සමීප සියලූම කුඩා ගුවන්යානා පථ, තවදුරටත් රට තුළට ගෙනයන්නට කටයුතු කෙරිණ. පැරෆින් ගෑස් ටැංකි ලියාපදිංචි වීමකින් තොරව ලබා ගත නොහැකි භාණ්ඩයක් බවට පත් විය. බැලූනයන් තැනීමට හැකි සියලූම ආකාරයේ රෙදි වර්ග තහනමට ලක් විය.

ස්ට‍්‍රලේසයික් හා වෙට්ස්ල්ගේ කතාව 1982 දී Night Crossing නමින් චිත‍්‍රපටයක් බවට පත් වූ අතර, නැවත වතාවක් 2018 දී Balloon නමින් චිත‍්‍රපටයකට නැගිණ. ඔවුන්ගේ අපූරු පලා යෑමට භාවිතා කළ බැලූනය මේ වන විට බාවේරියාවේ Haus der Bayerischen Geschichte කෞතුකාගාරයේ ස්ථිර කෞතුක භාණ්ඩයක්ව පවතී.

නිම්මි මුදිතා හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment