නින්ද අපගේ මානසික සෞඛ්‍යයට සහ ශාරීරික සෞඛ්‍යයට අත්‍යවශ්‍ය දෙයකි. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකු දිනකට පැය 07ක් වත් නිදා නොගතහොත් ඔවුනගේ කායික සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවන බව හඳුනාගෙන ඇත. එනම් මස් පිඬු වේදනාව, මලපහ සිදුවීමේ ක්‍රියාවලියේ වෙනස්කම් ඇතිවීම, හිසරදය ආදී අපහසුතා මතුවේ. මෙලෙස නිසිලෙස දිනකට නින්දක් නොලැබීම දිගුකාලයක් පැවතුනහොත් හෝමෝන ක්‍රියාකාරීත්වයේ ගැටලු හටගනී. එවිට කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇතිවීම, පිරිමින්ගේ ලිංගික ක්‍රියාශීලී බවේ දුර්වලතා හටගැනීම ආදියට හේතුවක් වේ. නිසිලෙස නින්ද නොලැබීම නිසා ස්නායු ක්‍රියාකාරීත්වයටද බලපෑම් ඇතිවේ. මනසේ ඇතිවන වෙනස්කම් නිසා කේන්තියෑම, මනස නොසන්සුන්වීම, මතකශක්තිය දුර්වලවීම ආදිය හටගනී.
නිදාගත යුතු කාලය
නින්ද වැඩිපුරම අවශ්‍යවන්නේ කුඩා දරුවන්ටය. එහිදී උපතේ සිට මාස 03ක් පමණ කාලය දක්වා වූ දරුවනට දිනකට පැය 14 සිට 17 ක් අතර කාලයක නින්දක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත. එම නිර්දේශවලට අනුව මාස 04 සිට අවුරුද්දක් දක්වා දරුවනට පැය 12 සිට පැය 16ක්ද, අවුරුද්දේ සිට අවුරුදු 02 දක්වා දරුවනට පැය 11 සිට පැය 14ක්ද, අවුරුදු 03 සිට අවුරුදු 04 දක්වා දරුවනට පැය 10 සිට පැය 13ක්ද, අවුරුදු 05 දරුවකුට පැය 10 සිට පැය 12ක්ද ,වැඩිහිටියනට පැය 07ක් පමණ දක්වාත් දිනකට නින්ද අවශ්‍ය බව නිර්දේශ කර ඇත.
නිදාගත යුතු වේලාව
අපගේ සාමාන්‍ය ජීවන රටාවට අනුව අප බොහෝදෙනා හුරුව ඇත්තේ රාත්‍රි කාලයට නිදාගැනීමය. ඊට හේතු වී ඇත්තේ ආලෝකය අඩු පරිසරයකදී මනස අප නින්දට යොමුකර වීමය. අඳුරු පරිසරය සහ නිහඬ පරිසරය තුළ අපගේ ඇස් කන්වල ක්‍රියාකාරීත්වයට යම් විවේකයක් ලැබේ. එවිට මනසද සිරුරට විවේකයක් ලබාගැනීම සඳහා අවශ්‍ය සංඥා නිකුත් කරයි.
නමුත් අපට අපගේ ජීවන රටාව අනුව නිදා ගැනීමේ වේලාව සකස් කරගත හැකිය. එනම් රාත්‍රී කාලයට සේවා කටයුතුවල යෙදෙන අයට නිදාගැනීමට අවස්ථාව උදාවන්නේ දිවා කාලයේදීය. නමුත් දිවා කාලයේ පවතින ආලෝකය සහ අවට පරිසරයේ ඝෝෂාකාරී බව නිසා නින්දට බාධා ඇතිවේ. එවැනි අවස්ථාවලදී කළ යුත්තේ නින්දට අවශ්‍ය පරිදි අඳුර සකස්කර ගැනීම සහ ඝෝෂාකාරී බව පාලනය කරගැනීමය.
එහිදී ඇස් දෙකට කළු පැහැ ආවරණයක් යොදාගෙන මනසට ආලෝක සංඥා යැවීම පාලනය කළ හැකිය. ඝෝෂාකාරී හඬ පාලනය සඳහා කන් ආවරණ භාවිතා කළ හැකිය.
නින්දට බාධා කරන සාධක
නින්ද ඇතිවීමට බාධා කරන සාධක අතර කෝපි, තේ ආදී කැෆේන් සහිත පානවර්ග නිතර ගැනීමට හුරුවී තිබීම ප්‍රධාන තැනක් ගනී. මනසේ පවතින පීඩාවන්ද නින්ද ඇතිවීමට බාධා කරයි. දැඩි උණුසුම් පරිසරය, කිසියම් රෝගයක් නිසා මතුවන අධික වේදනාවද නින්දට බාධා ඇති කරයි.
ඇතැම් දෙනා නින්ද ඇති කරගැනීම සඳහා විවිධ ඖෂධ වර්ග ගැනීමට ඇබ්බැහි වී සිටිති. එසේ ඇබ්බැහිවීම නිසා එවැනි ඖෂධ නැතිව නින්ද ඇතිකර ගැනීමට නොහැකි වේ. එනිසා නිදිපෙති, අධිවේදනා නාශක ඖෂධ ආදිය නිසි වෛද්‍ය උපදේශයකින් තොරව ලබා නොගත යුතුය.
වර්තමානයේ බොහෝදෙනා ජංගම දුරකථනවලට ඇබ්බැහිවී ඇත. එනිසා රාත්‍රී නිදි ඇදේදී ද එය සමග කටයුතු කරයි. මෙමගින්ද නින්ද ඇතිවීමට බාධා මතුවේ.
නින්ද නොයෑමේ ගැටලු බහුලව පවතින්නේ මැදිවියේ පසුවන අයටය. එවැනි පුද්ගලයන් හැකිතාක් රාත්‍රී කාලයට නිදාගැනීමට හුරුවිය යුතුය. එහිදී නින්ද ඇතිකර ගැනීම සඳහා මනස සැහැල්ලු වන ගීත ඇසීම, එකේ සිට සියය දක්වා ආරෝහණ සහ අවරෝහණ පිළිවෙළට තත්ත්පර කටුවේ වේගයෙන් ගණන් කිරීම ආදිය කළ හැකිය.
මත්ද්‍රව්‍ය, මත්පැන් ආදියට ඇබ්බැහිවීමෙන් ඇතිවන ස්නායු දුර්වලතා සහ මානසික විකෘතිතා නිසා නින්දයෑම අඩුවේ. මේ අනුව සුවබර ජීවිතයක් සඳහා සුව නින්දක් ලබාගැනීමට අප කොයි කවුරුත් අවධානය යොමු කළ යුතුය.
වෛද්‍ය තොරතුරු ඇසුරිනි.
උපාලි ද සේරම්