නින්දගම් හෙණය (නාකොලගනේ වන සංහාරය)

684

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඉඩම් අක්කර 4500 කට ආසන්න ප්‍රමාණයක් හිමිනමක විසින් හිතවතුන් අතරේ බෙදා දී ඇති මහා පරිමාණ ජාවාරමක් ගැන අද (11) ‘දිවයින’ වාර්තා කරනු ලබන්නීය. ඒ ඊයේ (10) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිදුකෙරුණු අනාවරණයක් පරිදිය. මෙම කරුණු අනාවරණ සිදුකරන ලද්දේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හා තවත් පරිසරවේදීන් පිරිසක් විසිනි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

නාකොලගනේ විහාරයකට අයත් නින්දගමක් යයි පවසමින් රජයට අයත් ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක් දේශපාලකයින්ට, නිලධාරීන්ට, ප්‍රභූන් යයි කියාගන්නා පිරිසකට හා ව්‍යාපාරික හිතවතුන්ට ලබාදී ඇතැයි කියන්නේ විහාරයේ විහාරාධිපති හිමි විසින් හා ඒ හිමියන්ගේ ඥාති හිමිනමක විසිනි.

කොයි කා අතින් සිදු වුණත් මෙතැන සිදුවන්නේ අකටයුත්තක් නම් එය බරපතළ වරදකි. හොඳයි අප මෙය අදාළ විහාරයට අයත් නින්දගමක් යයිම උපකල්පනය කරමු. එහෙත්, මෙසේ අලි-ඇතුන්ගේ නිජ භූමි බඳු, වන සතුන් නිතර ගැවසෙන කාලාන්තරයක් වන වැදුණු ඉඩම් මෙසේ කිසිදු වග විභාගයක් නැතිව හෙළි-පෙහෙළි කරන්නට හෝ කවරකුට පවරන්නට හෝ හැකියාවක් ඇත්ද? අප දන්නා පරිසර නීතිය අනුව නම් හෙක්ටයාරයකට වැඩි කැලෑ ඉඩමක් හෙළි කරන්නට වුවත් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් (ඊ අයි ඒ) කැඳවිය යුතුව තිබේ.

එසේම, රටේ වර්තමාන වන ගහන තත්ත්වය අනුව මෙසේ නින්දගම් ඉඩම් හිතූ හිතූ පරිදි භාවිතයට ඉඩ නොලැබෙන පරිදි විහාර හා දේවාලගම් පනත වහා සංශෝධනය විය යුතු බව අපගේ අදහසයි. කොටින්ම, දැනට පවතින සත්‍ය නින්දගම් තුළ පවා හොඳින් කැලෑ වැවී ඇත්නම්, වහාම මෙම නින්දගම් රජයට පවරාගෙන වන හෝ වනජීවී සංරක්ෂණයට යොදාගත යුතු යයි අපි යෝජනා කරන්නෙමු. මන්ද, මේ නින්දගම් දැන් තනිකරම රටට හෙණයක් වී ගෙන එන නිසාය. ඒවා හිතූ හිතූ පරිදි විහාරවල ඇතැම් තක්කඩි චීවරධාරීන්ගේ සහ තක්කඩි කපුවන්ගේ හා තක්කඩි නිලමේවරුන්ගේ පුද්ගලික සුඛවිහරණයට මේ අගනා ඉඩම් ගොදුරු වන නිසාය.

එවන් කතාවක් මේ ඊයේ -පෙරේදා ද අපි කීවෙමු. ඒ බලංගොඩ සොරගුණේ දේවාලයට අයත් යයි කියන නින්දගම ගැනය. අක්කර 6000 ක් පමණ වනවා යයි කියන මේ නින්දගම ද අද ලෝක ලෙඩක් වී ඇත. සොරගුහාවක් බවට පත්ව ඇති මෙම සොරගුණේ නින්දගමද මේ වන විට අයථා භාවිතයට ලක්වී ඇතිවා පමණක් නොව, හල්දුම්මුල්ල පහළ බෑවුමේ ඇති වනාන්තර සියල්ල කපා හෙළීම දක්වා මේ නින්දගම හෙණයක් බවට පත්ව ඇත. නාකොලගනේ මෙන්ම, තනිකරම ජාවාරමක් බවට පත්කරගෙන ඇති මෙම ඉඩම් අක්කර 6000 මේ වන විට තම ගජ මිතුරන්ට හා සල්ලිකාරයින්ට, ජාවාරම්කාර දේශපාලකයින්ට දී ඇති දේවාලයේ කපුවන් හා නිලමේවරු මේ වන විට වේලි ඔය ජල පෝෂිතය විනාශ කරමින් සිටිති. උඩවලව දක්වා ගොවි පවුල් 30,000 ක් පමණ අනාථ කරන, අලි-ඇතුන්ගේ නිජබිම් අකා මකා දමන කපටි කපුවන්ට මේ පව් කවදා ගෙවා දමන්නට හැකිවේදැයි අප දන්නේ නැත.

නාකොලගනේද එසේමය. විශේෂත්වය වන්නේ මෙහි නින්දගමක් තවදුරටත් නොමැති වීමය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා ඩී. එස්. තැනූ පැරණි මීඔය (අතරගල්ල) වාරි යෝජනා ක්‍රමයට අයත් වනාන්තර ඉඩම් මෙසේ බලහත්කාරයෙන් අල්ලාගෙන ඇතැයි කියන ජාවාරම්කාර චීවරධාරීන් දෙදෙනකු එකතුව මෙසේ ව්‍යාජ සන්නසක් නිර්මාණය කර මෙම ඉඩම් ජාවාරම සිදුකරගෙන යනු ලබන බව කියයි.

ඒ අනුව නාකොලගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි අලි-ඇතුන් වසන කැලෑ සහ වැව් පෝෂක ප්‍රදේශ මෙසේ බලෙන් අත් පත් කරගෙන දේශපාලකයින්ට, නිලධාරීන්ට හා හිතවතුන්ට ලබා දී ඇති බව අනාවරණය වී ඇත. මෙම ඉඩම් වනසා දැමීමේ ජාතික අපරාධය පිටුපස කුරුණෑගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරන හිටපු කැබිනට් ඇමැතිවරු දෙදෙනකුද සිටින බව අදාළ මාධ්‍ය හමුවේදී පරිසරවේදීන් ප්‍රකාශ කර ඇත.

මෙම ඉඩම් ජාවාරම පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬ ඇයි…? මීඔය වාරි යෝජනා ක්‍රමයට අයත් නම් වාරිමාර්ග අංශවලට හා වැඩිමනත් මධ්‍යම පරිසර අධිකාරියට හා වයඹ පළාතේ පරිසරය ගැන මහා බලයක් අත්පත් කරගෙන සිටින වයඹ පළාත් පරිසර අධිකාරිය මේ පිළිබඳව පියවර නොගන්නේ ඇයි…? අපට ප්‍රශ්නයක් ඇතිවේ. පෙර කී පරිදි ඇත්තම නින්දගමක් නම් හෝ මෙසේ පරිසර විනාශයක් ඇතිවන විට රජයේ වගකිවයුතු කවර අංශයක හෝ නිලධාරියකු අවදිව ඒ ගැන සොයා බලා කටයුතු කළ යුතු වේ. නමුත් අද මේ සියලු නිලධාරීන් කසාය බීපු ගොළුවන් ගාණට ඉන්නේ මේ පිටුපස බලවත් හස්තයක් ක්‍රියාත්මක වීම නිසා විය යුතුය. එසේ නම් ඒ බලගතු හස්තය කුමක්ද..? ඒ අර කියන ලද කුරුණෑගල හා හම්බන්තොට නියෝජනය කරන ලද දේශපාලක අම්බරුවන් යුගලද…?

නාකොලගනේ විහාරයේ කපටි, කයිරාටික, ඉඩම් මේනියාවකින් පෙළෙන චීවරධාරීන් සඳහා ව්‍යාජ සන්නස හදා දී ඇත්තේ ඇහැටුවැව හිටපු ප්‍රාදේශීය ලේකම්වරියක යයි කියනු ලැබේ. එසේම, මෙහි ඉඩම් ගත්තවුන් අතර ප්‍රකට වෛද්‍යවරයකු ද සිටින බවට හාහූවක් පැතිර යයි. අප ඒ ගැන කියන්නට දන්නේ නැත. නමුත් කියන්නට ඇත්තේ රටේ කොතැනක හෝ දූෂිත ක්‍රියාවක්, ජාවාරමක් සිදුවන තැනක නිලධාරියකු හෝ නිලධාරීන් කිහිප පළක් වුව සිටින බවය. මොනරාගල ගංජා එස්.එස්.පී. ඊට නිදසුනකි. එසේම, මහවැලි ඉඩම් හා 5/2001 චක්‍රලේඛය අහෝසි කර රජයේ වෙනත් වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට දෙන්නට එපා යැයි සමාජ මතයක් ගොඩනැගෙන්නේද (බොහෝ) ප්‍රාදේශීය ලේකම්වරු පිළිබඳව සමාජයේ ඇතිවෙමින් පවතින අඳුරු මතය නිසාය. ඇහැටුවැව හිටපු ප්‍රාදේශීය ලේකම්වරිය ද එසේ නම් ඒ ගොඩට ඇතුළත් වන කළු චරිතයකි.

කෙසේ හෝ නාකොලගනේ සිදුව ඇත්තේ රජයේ ඉඩම් සම්බන්ධ බරපතළ වංචනික ක්‍රියාවක් නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ඉදිරිපත්ව සැබෑව රටට හෙළිදරව් කිරීම කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment