බලහත්කාරයෙන් පැහැර ගනු ලැබූ මාලබේ තොරතුරු තාක්ෂණ විiා ආයතනයේ සිසුවකුව සිටි නිපුන රාමනායක නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයේ අයුතු ලෙස රඳවා තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ එවකට එම කොට්ඨාසය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා රවිඳු ගුණවර්ධනට හා විත්තිකාර පොලිස් නිලධාරීන් සිවු දෙනකුට ද බරපතළ වැඩ සහිත වසර හතර බැගින් වූ සිර දඬුවම් නියම කළේය.
එම නඩුවේ සෙසු විත්තිකරුවන් වූ වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මෙන්ම සෙසු විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ද සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කළේය. 2009 වසරේ අගෝස්තු 4 වැනිදා මාලබේදී ධනුෂ්ක නිපුන රාමනායක නමැත්තා බලහත්කාරයෙන් පැහැර
ගැනීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා හතකට වරදකරු කරනු ලැබූ ඉන්දික පුෂ්පකුමාර, දමිත් ප්‍රියංකර, රවිඳු ගුණවර්ධන, වාස් ගුණවර්ධන හා ශාන්ත ලලිත් විතාන යන පස් දෙනාට එලෙස සිරදඬුවම් නියම කළ අතර ශ්‍යාමලී පෙරේරා නමැත්තිය මෙන්ම ලක්ෂ්මන් තිලකරත්න හා සමන්ත සඳුන් දිසානායක යන දෙදෙනා නිදොස් කොට නිදහස් කරනු ලැබූහ. රටේ සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබූ වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකාර පොලිස් නිලධාරීන් සිවු දෙනා එලෙස අනීතික ලෙස කටයුතු කිරීමෙන් ඔවුන් වෙත ජනතාව තබා තිබූ විශ්වාසය බිඳ දමා තිබීම ඉතා බරපතළ කරුණක් බවත් ඔවුන් අතින් සිදුවූ වැරදි සම්බන්ධයෙන් පශ්චාත්තාප වීමක් අධිකරණය හමුවේ සිදු නොකිරීම දඬුවම් නියම කිරීමේදී තම අධිකරණය අවධානය යොමු කළ බවත් විනිසුරුවරයා සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය.
ඉන්දික පුෂ්පකුමාර, දමිත් ප්‍රියංකර ද සිල්වා යන පොලිස් නිලධාරීන් දෙදෙනා පළමු, සිවුවන, හත්වන, අටවන චෝදනාවලට වරදකරුවන් බවට නිගමනය කළ විනිසුරුවරයා එකී චෝදනාවලට වෙන් වෙන්ව බරපතළ වැඩ සහිත වසර හත බැගින් සිරදඬුවම් නියම කොට එකී සිරදඬුවම් කාලය එකවර එනම් වසර හතරක කාලයකින් ලබාදීමට නියම කළේය. එයට අමතරව එම විත්තිකරුවන් තිදෙනාම රුපියල් 42,000 බැගින් වූ දඩ ගෙවීමට ද විනිසුරුවරයා නියෝග කළේය. හත්වන විත්තිකාර වාස් ගුණවර්ධන මහතාට ඔහු වරදකරු කරනු ලැබූ නවවන චෝදනාවට නියම කළ බරපතළ වැඩසහිත සිරදඬුවමට අමතරව රුපියල් 30,000ක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා 12 සහ 13 යන චෝදනාවලට වරදකරු කරනු ලැබූ අටවන විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් විතාන නමැත්තාට වසර අටක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර එම සිරදඬුවම වසර හතරකට එකවර ගෙවී යන ලෙසට ලබාදීමට නියම කළ අතර රුපියල් 40,000ක දඩයක් ද නියම කළේය.
එම ලලිත් විතාන නමැති විත්තිකරු මේ වනවිට පාදයක් කපා නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනා බැවින් සක්‍රිය සිරදඬුවම් නොව අත්හිටුවූ සිරදඬුවම් නියම කරන ලෙස ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එසේ නමුත් එම විත්තිකරු ඇතුළු විත්තිකරුවන් පස් දෙනා සිදුකර ඇත්තේ සිවිල් පුරවැසියකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම වැනි බරපතළ වරදක් වන බැවින් එවැනි වැරදි සිදු කිරීමට අපේක්ෂා කරන සෙසු පොලිස් නිලධාරීන්ට ද පාඩමක් ඉගෙන ගත හැකි පරිදි සක්‍රිය සිරදඬුවම් නියම කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර වහාම තම අධිකරණය නියම කළ සිරදඬුවම ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු ප්‍රතිකාර ලබන ස්ථානයේදී ඔහුව භාරයට ගන්නා ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. මෙහි 7 වැනි විත්තිකරු වන වාස් ගුණවර්ධන වෙනත් නඩුවකට මේ වනවිටත් මරණීය දණ්ඩය නියමව සිටින්නෙකි.
ඒ. ජේ. ඒ. අබේනායක