ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පසුගිය සඳුදා (12දා) පස්වරුවේ කොළඹ බලා පැමිණීමට මෙල්බර්න් ගුවන් තොටුපළින් පිටත්ව සුළු වෙලාවකින් ආපසු හරවා එම ගුවන් තොටුපළටම පැමිණ ඇත්තේ එහි නියමු කුටියේ දුමාරයක් මතුවීම නිසා ඇති වූ හදිසි තත්ත්වය නිසාය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 605 ගුවන් යානය 12 වැනිදා පස්වරු 6.30 ට මෙල්බර්න් ගුවන් තොටුපළෙන් පිටත් වූ නමුත් ඉක්මනින්ම හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර නැවත ආපසු පැමිණ තිබෙන්නේ රාත්‍රී 7.24 ටය. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඔස්ට්‍රේලියානු මාධ්‍ය වෙත පවසා තිබුණේ සියලුම මගීන් ආරක්ෂිතව ගොඩබැස ඇති බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවන් කණ්ඩායමක් මේ වන විට යානය පරික්ෂා කරමින් සිටින බවත් නැවත ගුවන් ගතකරන තෙක් සියලුම මගීන්ට හෝටල් නවාතැන් පහසුකම් සපයා ඇති බවත් එම ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
චතුර පමුණුව