මැතිවරණයකදී ජයග්‍රහණය තීරණය වන්නේ පක්ෂයක මූල්‍ය ශක්තිය මත පමණක්ම නොවේ

විදේශීය ‘අත පෙවීම්’ මැතිවරණ වියදම් නියාමන පනතට හසු වෙනවාද?

මැතිවරණ කොමිසමේ සහ ඡන්ද නිරීක්ෂණ කණ්ඩායම් අවධානය යොමු කළ යුතු කාරණා

ශ්‍රී ලංකාවේ පළමු වරට ක්‍රියාත්මක කළ 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත අනුව ජනාධිපතිවරණයට තරග කළ සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ රුපියල් මිලියන 3,035 වියදම් කර ඇත.

එම තීරණාත්මක මැතිවරණයේ ජයග්‍රාහකයා වූ ජාතික ජන බලවේගය (ජාජබ) පක්ෂයේ නායක දිසානායක වියදම් කළ රු.මි. 527 මෙන් දෙගුණයකටත් වඩා වියදම් කළ සමගි ජන බලවේගය (සජබ) පක්ෂයේ නායක ප්‍රේමදාස පරාජය විය. එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හිටපු නියෝජ්‍ය නායක වියදම් කළ මුදල රු.මි.1,130 කි.

අටවන විධායක ජනාධිපතිවරයා ලෙස තරග කළ රනිල් වික්‍රමසිංහ (ස්වාධීන අපේක්ෂක) රු.මි.990 වියදම් කළ බවට මැතිවරණ කොමිසමට අදාළ වාර්තා භාර දුන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) අපේක්ෂක නාමල් රාජපක්ෂ කළ වියදම රු.මි. 388 කි.

එජාප නායක වික්‍රමසිංහ තම ආදායම් වාර්තා ලබා දී නොමැති අතර නාමල් රාජපක්ෂගේ ආදායම රු. මි. 105,250,000 කි. ඔහු රු.මි. 199 ණය වූ බවත් පෙන්වා දී ඇත. ජාජබ සහ සජබ නායකයින් වාර්තාගත රු. මි. 1,669 ආදායම් ලෙස සඳහන් කර ඇත. ප්‍රේමදාසගේ ආදායම රු.මි. 1,130 කි. එම මුදල දිසානායකගේ ආදායම මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

ආදායම් සහ වියදම් තත්ත්වය වෙනත් ආකාරයකින් කිවහොත් ජයග්‍රාහකයා රු.මි. 527 වියදම් කර ඇති අතර පරාජිතයින් තිදෙනා රු. මි. 2,319 වැය කර ඇත. නමුත් අරගලයෙන් පසුව ඇතිවූ තත්ත්වය අනුව පරාජිතයින් කළ වියදම මෙන් හතර පස් ගුණයක් වැය කළත් ජනතා තීරණයේ වෙනසක් වන්නේ නැත. ඒ එම දේශපාලන ප්‍රවාහයන් තුනම සැලකිය යුතු ඡන්දය දෙන ජනතාවක් ප්‍රතික්ෂේප කළ නිසාය.

මෙම ආදායම් සහ වියදම් වාර්තාවල සත්‍ය අසත්‍යතාවය සෙවීමට උත්සහ කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. සජබ සහ එජාපය ජනාධිපතිවරණයට ප්‍රේමදාස හෝ වික්‍රමසිංහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමට හැකි වූවා නම් එම කණ්ඩායමට ලබා ගත හැකිව තිබූ මූල්‍ය ශක්තිය රු. මි. 2,000 කට වැඩ වැඩිය. නමුත් මූල්‍ය ශක්තිය මත ජයග්‍රහණය තීරණය නොවන බව ජනතාව අවධාරණය කර ඇත.

ප්‍රේමදාස සහ වික්‍රමසිංහ වෙන වෙනම පිළිවෙළින් ලබා ගත් ඡන්ද මිලියන 4.3 සහ 2.2 කි. එම දෙදෙනාගෙන් එක් අයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවා නම් ජාජබ නායකයාව පරාජය කිරීමට අවස්ථාවක් තිබුණාද? එසේ විය හැකිව තිබිණි. ඒ ප්‍රේමදාස සහ වික්‍රමසිංහ එකතුව ඡන්ද මිලියන 6.5 (ගෝඨාභය රාජපක්ෂ 2019 දී ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 5 ක් පමණ අඩුවෙන්) පහසුවෙන්ම දිසානායක ලබා ගනු ලැබූ ඡන්ද මිලියන 5.7 ට වඩා වැඩි බැවිනි.

නමුත් ජනාධිපතිවරණයක සහ මහ මැතිවරණයක ජයග්‍රහණය යම්කිසි පක්ෂයක මූල්‍ය ශක්තිය මත පමණක් තීරණය නොවේ. මැතිවරණ කොමිසමේ ලියාපදිංචි පක්ෂ ‘මිලදී’ ගැනීමට අවස්ථාව ඇති තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වන මූල්‍ය විනිවිදභාවය ලබා ගත නොහැක. යහපත් දේශපාලන සංස්කෘතියක් සැබෑවට ස්ථාපිත වනතුරු පක්ෂ ඉදිරිපත් කරන ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කර ගත හැකිද?

ශ්‍රී ලංකාවට අවශ්‍ය සමස්ත දේශපාලන ක්‍රමයම නියාමනය වන පුළුල් පනතකි. එය වියදම් නියාමනයට පමණක් සීමා විය යුතු නැත. එම පනත දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම, ජාතික ලැයිස්තුව හරහා පත් කිරීම ඇතුළු ගැටලුකාරී තත්ත්වයන් සියල්ල අවධානයට ලක් කරමින් සම්මත කර ගත යුතු නොවේද?

සමස්ත මැතිවරණ ක්‍රියාදාමය තුළ පක්ෂ ලියාපදිංචියට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. ඇත්තවශයෙන්ම මැතිවරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මෙන්ම ඒ පිළිබඳව විශ්වාසය ඇති කිරීමට පක්ෂ පිළිගත් ප්‍රතිපත්ති රාමුවක් තුළ ක්‍රියාත්මක වීම අනිවාර්ය විය යුතුමය. ජනාධිපතිවරණය අවසන් වී සති 7 ක් තුළ පැවැත්වෙන මහ මැතිවරණයට පෙර පක්ෂ වෙනස් වන ආකාරය ඇත්ත වශයෙන්ම අදහාගත නොහැක. අප එක්සත් ලංකා පොදුජන පක්ෂය සම්බන්ධ සිද්ධිය විමසා බලමු. මෙය මෙවැනි සිද්ධීන් ගොන්නක් අතර එක සිද්ධියක් පමණි.

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ලබා දීමට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ (ලාංඡනය ‘කෝප්පය’. ඊට පෙර එම පක්ෂය තම ලාංඡනය ලෙස ‘හෙලිකොප්ටරය’ පාවිච්චි කර ඇත.) නායකත්වය රු.මි. 30 අල්ලසක් ලබා ගැනීමට කළ උත්සාහය අගෝස්තු 14 වැනි දින හෙළිදරව් විය. එම සිද්ධියට කිහිප දෙනකු අත්අඩංගුවට පත්වූ අතර රත්නායක එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ මෙන්ම වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ප්‍රවෘත්ති මැවූ අතිශය ආන්දෝලනාත්මක චරිතයක් වූ රත්නායකට ජනාධිපතිවරණයට තරග කළ 38 දෙනා ලබා ගත් ඡන්ද ප්‍රමාණය අනුව 35 වැනි ස්ථානය හිමිවිය. ඔහු ලබා ගත් ඡන්ද ප්‍රමාණය 2,405 කි. එය සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව වූ 13,319,616 න් 0.02% කි.

මහ මැතිවරණයට අරුණළු ජනතා පෙරමුණෙන් (ලාංඡනය ‘කිරි ඉතිරෙන කළය’) රත්නායක ඉදිරිපත් වී ඇත. එම පක්ෂය ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පක්ෂයකි. එම පක්ෂයේ නායක සහ මහ ලේකම් කේ. ආර්. ක්‍රිෂාන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඡන්ද 13,595 (0.10%) ලබා ගැනීමට සමත් විය. මැතිවරණ කොමිසමට එම පක්ෂය භාර දුන් නිල දැනුම්දීමකට අනුව කේ. ආර්. ක්‍රිෂාන් දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇති ආචාර්ය සහ මහාචාර්යවරයෙකි. එලෙසම සිංහ සමාජයේ සාමාජිකයෙකි.

මාස දෙකක් තුළ ජාතික මැතිවරණ දෙකකට පක්ෂ දෙකකින් ඉදිරිපත් වීම අතිශය ගැටලුකාරී තත්ත්වයකි. පක්ෂ ලියාපදිංචිය සඳහා පක්ෂ ව්‍යවස්ථාව අනුමත වීම අනිවාර්යය. එවැනි තත්ත්වයක් තුළ කඩිමුඩියේ පක්ෂය මාරු කිරීම සාධාරණීකරණය කළ හැකිද? ජනක රත්නායකගේ කණ්ඩායම කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල සහ යාපනය ඇතුළුව දිස්ත්‍රික්ක 12 කට ‘කිරි ඉතිරෙන කළය’ ලාංඡනය යටතේ තරග කරයි. ජනක රත්නායක පවතින නීතියට පිටින් කිසිවක් කර නැත. එසේ කළ පළමුවැනියා ඔහු නොවේ. දැනට ක්‍රියාත්මක ක්‍රම සහ විධි වෙනස් නොකරන්නේ නම් මෙම තත්ත්වය කිසිදා වෙනස් නොවනු ඇත. දේශපාලනය සදාකාලිකයි නමුත් බලය තාවකාලිකයි යන තත්ත්වය අප තේරුම් ගන්නා තෙක් පෙර වැරදි ඉදිරියටත් කරනු ඇත.

ප්‍රමිතිගත දේශපාලනයක් ඇති රටක කිසිදා පක්ෂ 100 ක් පමණ ලියාපදිංචි විය නොහැක. දැනට මැතිවරණ කොමිසමට අනුව ක්‍රියාත්මක පක්ෂ සංඛාව 83 කි.

මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීම තුළින් පමණක් දේශපාලනය පිරිසිදු කළ නොහැක. ඇත්ත වශයෙන්ම මෙවැනි පනත් සාමුහිකව ජනතාව මුලා කිරීමකි. ව්‍යවස්ථාව තමන්ට රිසි පරිදි උල්ලංඝනය කරන දේශපාලන පක්ෂවලට මැතිවරණ වියදම් පනතින් රිංගා යෑම කිසිසේත්ම අභියෝගයක් නොවේ. ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය එක්තරා ආකාරයක විකාර ස්වරූපයක් ගෙන ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට එක දිනක් හෝ පාර්ලිමේන්තුව නියෝජනය කර තිබීම සුදුසුකම් ලෙස ප්‍රකාශ කර ඇති දේශපාලන අධිකාරිය ලජ්ජා විය යුතුය. මෙම විකාර තත්ත්වය තුළ දුසිම් ගණන් හිටපු මන්ත්‍රීවරු ස්වාධීන අපේක්ෂකයින් ලෙස තරග කරති. මෙවර එවැනි මහජනතාව ප්‍රතික්ෂේප කළ මහජන නියෝජිතයන් 20 පමණ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.

මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කළ යුතුය.

මහ මැතිවරණ ක්‍රියාදාමය තුළ අතිශය දූෂිත පක්ෂ ක්‍රමය ක්‍රියාත්මක ආකාරය සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හරහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවන වරට තරග කරන ජීවන්ත හේරත් චමුදිත සමරවික්‍රම සමග මෑතකදී කළ ‘ට්රුත් විත් චමුදිත’ (Truth with Chamuditha) වැඩසටහනේදී දැඩි කරුණු දැක්වීමක් කළේය. අන්තර්ජාලයේ ඇති එම වැඩසටහන දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ජනතාව බැලිය යුතුමය. ජාඇල ආසනය නියෝජනය කරන එම එජාප නියෝජිතයා අවධාරණය කළේ ඡන්දය දෙන ජනතාව මෙන්ම පක්ෂ නියෝජිතයින් මුදල් හරහා ‘නවන’ ආකාරය හිරිකිත බවයි. කාලයක් දේශපාලනයේ නියැළුන අපේක්ෂකයා අවධාරණය කළේ මැතිවරණ වියදම් පනත ක්‍රියාත්මක තත්ත්වය තුළ වුවද කිසිදු පක්ෂයක භූමියේ හැසිරීම වෙනස් වී නොමැති බවයි.

(නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලාංඡනය ‘ගෑස් සිලින්ඩරයයි.’ ඊට ප්‍රථම එම පක්ෂයේ ලාංඡනය වූයේ ‘හංසයා’ බව සඳහන් කළ යුතුය. එම පක්ෂය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ‘හංසයා’ ලාංඡනය යටතේය. ඒ 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට එම පක්ෂය හරහා පිළිවෙළින් එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා, මෛත්‍රිපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ බැවිනි).

‘හංසයා’ හදිසියේම ‘ගෑස් සිලින්ඩරය’ වූ ආකාරය තේරුම් ගැනීම අපහසු නැත. ඒ එම පක්ෂයේ ලේකම් ශර්මිලා පෙරේරා (කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ අයෙකි.) අදාළ ජාතික ලැයිස්තුවේ හිටපු අග්‍රාමාත්‍ය සහ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනට පහළින් අංක දෙක ස්ථානයේ සිටින බැවිනි. මෙම ලියුම්කරු මෑතකදී එජාප ජාතික සංවිධායක සාගල රත්නායක සමග කළ සාකච්ඡාවකදී මෙවරත් එම පක්ෂය හරහා තරග කිරීමට එජාපය ගත් තීරණය සම්බන්ධයෙන් ඔහු පැහැදිලි කළේය.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජාජබ, සජබ, ස්වාධීන අපේක්ෂක සහ පොහොට්ටු අපේක්ෂක රු.මි. 3,035 වියදම් කිරීමෙන් අත්කර ගත් පක්ෂ ප්‍රවර්ධනය ඇස්තමේන්තු කළ හැකිද? ජනාධිපතිවරණයට දැවැන්ත ආයෝජනයක් කළ දේශපාලන පක්ෂවලට මහ මැතිවරණයට යට කළ හැකි මුදල් ප්‍රමාණය කොපමණද? ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ-පොහොට්ටු කණ්ඩායම ලැබූ පරාජය පසුබිමේ එජාපයට දේශපාලන ආයෝජකයින්ගේ සහයෝගය නැත්තටම නැතිවීම සම්බන්ධයෙන් ජයතිස්ස හේරත් අපූරුවට පැහැදිලි කළේය. නමුත් එම සාකච්ඡාවේදී හේරත් ඉතාමත් නිවැරදිව අවධාරණය කළේ කොපමණ වියදම් කළත් ඒ මත මැතිවරණයක ජයග්‍රහණය රඳා නොපවතින බවයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් නිවැරදි කියවීමක් අවශ්‍යය. ජනාධිපතිවරණ වේදිකාවේදී ජාජබ අපේක්ෂක අනුර කුමාර දිසානායක පක්ෂ අතර ගනුදෙනු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට 2005 ජනාධිපතිවරණයෙන් උදාහරණයක් දුන්නේය. ඒ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ අවසාන අදියරේ ජවිපෙ ගැසූ පෝස්ටර්වලට එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ තවමත් මුදල් නොගෙවූ බවයි.

දේශපාලන පක්ෂ ආණ්ඩුව හෝ විපක්ෂය ලෙස තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු කරනවා නම් වියදම් නියාමන පනත් අවශ්‍ය නැත. බංකොලොත් රටේ ජනාධිපතිවරයාට රු. මි. 990 වැය කිරීමට සිදුවන්නේ නැත. විපක්ෂ නායකට රු. මි. 1,130 කාබාසිනියා කිරීමට සිදු වන්නේද නැත. එලෙසම ‘අරගලය’ දේශපාලන උඩු යටි කිරීම තුළ ජාජබ නායකයට ජනාධිපතිවරණයේ වාසිය සම්පූර්ණයෙන්ම හිමි වූ අතර රු. මි. 527 වැය කිරීමේ අවශ්‍යතාවක් තිබුණා ද යන පැනය විමසා බැලිය යුතුය? නාමල් රාජපක්ෂ රු. මි. 388 වියදම් කර, රු. මි. 199 ණය වී ජනාධිපතිවරණයේදී හතරවන ස්ථානය ලබා ගත්තේ ඡන්ද 342,781 (2.57 %) ලබා ගනිමිනි. ඒ ‘හපන්කම’ විමසා බැලිය යුතු වන්නේ 2019 ජනාධිපතිවරණයේදී එම පක්ෂය ඡන්ද මිලියන 6.9 ක් සහ 2020 මහ මැතිවරණයේදී ආසන 145 ලබා ගැනීම ද සැලකිල්ලට ගනිමිනි.

වියදම් නියාමනය කරන පනත යටතේ විදේශීය රාජ්‍යයන් බලයේ සිටින පක්ෂය මෙන්ම විපක්ෂය නියෝජනය කරන පක්ෂවලට කරන ‘ආයෝජන’ නිසි අවධානයකට ලක් කරනවාද? මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විදේශීය රටවල් සහ ආයතනවලින් ලබා ගනු ලබන මුදල් ද යෙදවෙන ආකාරය සම්බන්ධයෙන් විමසා බැලිය යුතුය. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එම සිවිල් සමාජ ආයතන ලබා ගන්නා මුදල් සම්බන්ධයෙන් විමසීමට ඕනෑම පුද්ගලයකුට අයිතිය ඇත.

‘අරගලයේදී’ මෙන්ම ආණ්ඩු වෙනස් කිරීමට ද එලෙසම යම් පක්ෂයක් බලයට ගෙන ඒමට ද විදේශීය බලවේග ‘ආයෝජන’ කරති. එම තත්ත්වය මෑතකදී ඇති වූවක් නොවේ. යහපාලන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙන ඒමට එජාප-ජවිපෙ-ද්‍රවිඩ ජාතික සන්ධානය ක්‍රියාත්මක කළ සාර්ථක මෙහෙයුමෙන් පසුව එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ආණ්ඩුව වෙනස් කිරීමට ඇමෙරිකාව කළ ආයෝජනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේය.

රාජ්‍ය දෙපාර්තමේන්තුව 2016 දී නිල වශයෙන් ප්‍රකාශ කළ ආකාරයට මියන්මාරයේ, නයිජීරියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 585 වැය කර ඇත. පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ෂෙහාන් සේමසිංහ සහ කාංචන විජේසේකර මෙම කරුණ මතු කළත් පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් කිසිදු විමසීමක් කළේ නැත. ඇමෙරිකාව එම රටවල් තුන අතර ආසන්න වශයෙන් සම සමව ඇ.ඩො. මි. 585 බෙදුවා නම් ශ්‍රී ලංකාවේ කළ ආයෝජනය ඇ.ඩො. මි. 195 ක් පමණ වේ. මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් දේශපාලන බලවේගයටවත් ඇමෙරිකාව කළ ඍජු මැදිහත්වීම පිළිබඳව නිසි විමර්ශනයක් කිරීමට අවශ්‍ය වූයේ නැත.

හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වූ මහින්ද දේශප්‍රියගෙන් සහ ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණයක් නිරීක්ෂණය කිරීමට මෙහි පැමිණි යුරෝපීය සංගමයේ කණ්ඩායමකින් ද ඇමෙරිකානු ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණේ නැත. කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමට ද පිළිතුරක් ලැබුණේ නැත.

හිටපු ඉහළම ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයකු ශිවශංකර් මෙනන් මීට වසර ගණනාවකට පෙර පළ කළ ‘Choices( Inside the Making of Indian Foreign Policy’ චීනය එක්සත් ජනතා නිදහස් සන්ධානයට මුදල් ආයෝජනය කළ බවට චෝදනා කර ඇත.

ලියාපදිංචි කළ පක්ෂ නැවත නැවත ලියාපදිංචි කිරීම එක්තරා ආකාරයක මෝස්තරයක් වී තිබේ. ඊට දිය හැකි එක හොඳ උදාහරණයක් වන්නේ 2016 දී ලියාපදිංචි කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි (පොහොට්ටු පක්ෂයයි). එම පක්ෂය ශ්‍රී ලංකා ජාතික පෙරමුණ ලෙස පළමුවෙන්ම ලියාපදිංචි කර තිබිණි. එය මුළුමනින්ම අසාර්ථක පක්ෂයක් විය. 2001, 2004 සහ 2010 මහ මැතිවරණ තරග කළ එම පක්ෂයට කිසිදු අවස්ථාවක 1% ඡන්දය දිනා ගැනීමට නොහැකි විය. එම පක්ෂයේ නායකයා වූ විමල් ගීගනගේ 2005 සහ 2015 ජනාධිපතිවරණ දෙකටම ඉදිරිපත් විය. ඔහුට ද 1% සීමාව පසු කිරීමට නොහැකි විය. 2015 දී ශ්‍රී ලංකා ජාතික පෙරමුණ අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ලෙස නම් ලියාපදිංචි කරන ලදි. ක්‍රිකට් පිත්ත වූ පක්ෂයේ ලාංජනය මල් පොහොට්ටුව ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය. 2016 නොවැම්බර් මාසයේදී එම පක්ෂය තුන්වන වරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ලියාපදිංචි කරන ලදී. මල් පොහොට්ටුව නෙලුම් පොහොට්ටුව විය.

සමගි ජන බලවේගය ද ඒ ආකාරයටම බිහිවූ පක්ෂයකි. තීරණාත්මක 2020 මහ මැතිවරණය අභියස එජාපයෙන් වෙන්වූ සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට තරග කිරීමට පක්ෂයක් නොවීය. නව පක්ෂයක් ලියාපදිංචි කිරීමට ද අවස්ථාවක් නොතිබිණි. කැරලිකාර එජාප කණ්ඩායමට පිහිටවූයේ ඩයනා ගමගේ සහ ඇයගේ ස්වාමි පුරුෂයා වූ සේනක ද සිල්වා ය. ඔවුන් දෙදෙනාට හිමිකාරිත්වය තිබූ අපේ ජාතික පෙරමුණ එජාප කැරලිකාර කණ්ඩායමට භාර දුන් අතර එම පක්ෂය වහාම සමගි ජන බලවේගය ලෙස ලියාපදිංචි කරන ලදි. දෙපාර්ශ්වය අතර ඇතිකර ගනු ලැබූ ගිවිසුම අනුව ඩයනා ගමගේ නව පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මැතිසබයට පත් කරන ලදි. ඇය බ්‍රිතාන්‍ය පුරවැසියකු වීම සජබට ඒ අවස්ථාවේ ප්‍රශ්නයක් නොවීය. අපේ ජාතික පෙරමුණ ඩයනා සහ සේනක යුවලට හිමිවීමට පෙර එම පක්ෂයේ අයිතිය මංගල සමරවීරට සහ ශ්‍රීපති සූරියආරච්චිට හිමිවිය.

එකම පුද්ගලයකුට එක අවස්ථාවක පක්ෂ දෙකක තනතුරු දැරිය හැකිද යන ප්‍රශ්නය ද පැන නැගේ. ජනාධිපති දිසානායක ජාජබ සහ ජවිපෙ යන පක්ෂ දෙකේම නායකයා ය. මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට අනුව ලියාපදිංචි පක්ෂ 83 ක් ඇත. බොහෝ පක්ෂ ජනතාව නොදනී. නමුත් අතින් අතට මාරු වීම සිදුවේ.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා 80 දශකයේ දී අවි දරන ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම් සියල්ලටම පාහේ දේශපාලන පක්ෂ ස්ථාපිත කිරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කරන ලදි. එය සුවිශේෂ තත්ත්වයක් මත ක්‍රියාත්මක කළ විධායකයේ නියෝගයකි. ප්‍රේමදාස ජනාධිපතිවරයා එම අවස්ථාව බෙදුම්වාදී එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදී කණ්ඩායමට ද ලබා දීමට පසුබට නොවීය. කොටි ත්‍රස්තවාදීන්ගේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජාතික සන්ධානය 2004 සිට දේශපාලන භූමියේ හැසිරීම මෙවර මහ මැතිවරණයේදී විමසා බැලීමට වන්නේ එම සන්ධානයට නායකත්වය දුන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය යාපනය, වන්නිය, මඩකලපුව සහ දිගාමඩුල්ලට වෙනමම තරග කිරීමත් අනෙකුත් පක්ෂ හක්ගෙඩිය ලාංඡනය යටතේ එම මැතිවරණ දිස්ත්‍රික්කවලට ඉදිරිපත් වීමත් සැලකිල්ලට ගනිමිනි. නමුත් ත්‍රිකුණාමලයට එම කණ්ඩායම් දෙක ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ‘නිවාසය’ ලාංඡනය යටතේ තරග කරයි. මෙවැනි තත්ත්වයක් නැවත නැවතත් අවධාරණය කරන්නේ දේශපාලනයේ අවස්ථාවාදී බව නොවේද?

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment