නිර්දෙස් හා නිර්දොස් කතාව

183

ඉක්බිති මඤ්ඤංලන්ත රජ්ජුරුවෝ රජ මැඳුරෙහි දක්ෂිණ ද්වාරයෙන් පිටව මඟුල් උයනට වැදැ එහි රෝපිත නේක පුෂ්ප ශාකයන් සැරසූ හා සුපුෂ්පිත පුෂ්පයන්ගෙන් හමනා වූ සුගන්ධය ආඝ‍්‍රාණය කෙරෙමින් අහස් කුස පිසිනා තෙක්මැ වැඩුනා වූ නේක කුලයේ මහා වනස්පතියන්ගේ සතර අත විහිද ගිය ශාඛා මණ්ඩලයන්ගෙන් සැදුනා වූ සෙවනෙන් වෑහෙනා සිහිල විඳිමින් ඇවිදැ යමින් දෙවස් පූර්ණ වූ රාජ්‍ය පාලනය කෙරෙහි හට ගත්තා වූ විවිධ වූ පැන අර්බුද සිහි කෙරෙමින් තුමුනට පෙර රජ කළ වැඩුමල් බෑයා කෙසේ මෙකී පැන පිණිසැ මුහුණ දුන් දැයි සිහි කොට උනට මෙකල්හි මෙන් අභිවාතක වසංගතාදිය කිසිත් නොමැති නියාවෙන් ආලාපාළුවක් නොවී යැයි මතකයට නැගුනද එතෙකුදු වුව පබකරණයා නම් මස් වැදියාගේ පීඩනයෙන් සකළ ජනයා මරණ බියෙන් ඇළැලී ගොස් ජන දිවිය බිම පතිතව ගොස් තිබියදී වුව උහු මඤ්ඤංලන්තය රාජ්‍ය කෙළේ නොවේදැයි සිහිවැ එකී කල්පනායෙන් ඇවිද යනුයේ උයන් මායිමෙන් පිට මහමෙඟහි ඇසුනා වූ ඝෝෂාව නිසා දිසාපාමොක් ඇදුරන් අදදැ වීදි බැස උද්ගොසුන් කෙරේ යැයි සිහිවැ එකී කල්පනායෙන්මැ රාජකීය උයනෙහි උත්තර ද්වාරයෙන් මෑත්වැ මෑත පෙනෙනා රාජ සභාව දෙසට නෙත් යොමනාහ. එසේ බැලූ කල්හි රාජසභා පියගැටපෙලෙහිදැ දෙපස වූ නූස් වූ මිටි බිත්ති පවුරු මත්තෙහිදැ අසල වූ තුරු සෙවනෙහිදැ තන්හි තන්හි සිටගෙනදැ උක්කුටිකයෙන් හිඳිමින්ද අල්ලාප සල්ලාපයෙන් යුක්තවැ හිඳිනාවූ මැටි ඇමැටි කැළ හා කෙහෙවට්ටයන් රැළ දුටු කල්හි, ‘මුනට නම් රටෙහි ප‍්‍රශ්න කෙරෙහි වගේ වගකුදු නොවන්නේයැ. එකත් එකටමැ මුන් රංචු ගැසී රහස් මන්ත‍්‍රණ කෙරෙනුයේ නිලරිය ඉල්වනු පිණිස වන්නේයැ’යි නිගමන කොට මුවින් නොබැණ, ”එම්බල, තොපගේ සල්ලාපය කවරක්දැ? දිසාපාමොක් ඇදුරන්ගේ පැනයට යම් පිළියමක් පිණිසදැ?’යි අසනාහ.

එබස් ඇසූ මැටි ඇමැටි හා කෙහෙවැටි රැළ, ”ස්වාමීනී, මෙකී ජෝසුවා නම් අපතයා මෙසේ ගුරුන් හඳවා අපගෙන් ගේම ඉල්වනුයේ මෙකී ඉල්වුම් ඉටු කළ නොහැක්කේයැයි නොදැන නොවන්නේයැ. මුහු ඉෂ්ට සිද්ධ කරනුයේ වෙනයම් වූ නියාය පතක් වන්නේයැ. මෙකල්හි පුටීනියානු දේශය එකල්හි ලෙනීනියානු දේශයව පැවැති කල්හි එකී දේශයට වින කැටුයේද මූ නාමයමැ ඇති එකකු වග නුඹ වහන්සේට නොමතකදැ? මෙවන් වූ අර්බුදයක, සිව් විසි වසක් පැරණි වූ කමිටු තල්පතක නිර්දෙස් වූ දෑ වත්මන් අර්බුද සමයේ ඉල්වනා මුනට ඇවැසි වන්නේ තවත් අර්බුද ඇතිකෙරුමයැ. වසංගත ඇවිළුමයැ. ඇදුරු පොකුරක් තැනුමයැ. ස්වාමීනී බුරුලක් දිය නොහැක්කේයැ. කළයුත්තේ හුදී ජනයා මුනට විරුදුව දැනුවත් කෙරුම වන්නේයැ. තෙල කිංඉසිලයා වැනියවුන් කහවනු ලක් ගණනින් හා රාජ වර ලාස් ගණනින් භුක්ති විඳිමින් කුමක් කෙරේදැ? ගිනි තපිනේදැ?’යි අසනායැ. රජ්ජුරුවෝද, ‘මුන් කියනා බස්හි යම් සැබෑවෙක් නැත්තේමත් නැත්තේයැ’යි කල්පනායෙන් පියගැටපෙළ තරණ කරනාහ.

නිර්දෙස් හා නිර්දොස් කතාව

පියගැටපෙළ නැග යන රජ්ජුරුවන් වහන්සේ හඹා යන්නා වූ කේවට්ටයන් බානක් එතුමන් පසුපස දැවැටෙමින් යනුයේ, ”ස්වාමීනී, නුඹ වහන්සේට නොමතක වූ කාරණාවෙක් සිහිගනුවනු පිණිසැ පැමිණියෙමියැ’යි කී කල්හි රජ්ජුරුවෝ, ”ඒ කිමෙක්දැ’යි පැන නගමින්මැ රහස් මන්ත‍්‍රණ කුටියට ඇතුළු වන්නාහ. ඇතුල්වැ ද්වාරය වැසූ කල්හි ශබ්දාරෝධක වන්නා වූ එකී කුටියෙහි වූ මුලසුනෙහි හිඳගත්තා වූ මහරජතුමාණෝ කේවට්ටයන් බාන දෙස විමැසුම් බැලූමක් හෙලා, ”ඉදින් කියව්’ යනුයෙන් දුන් විධානයෙන් දිරිගන්නා උන් බාන, ”ස්වාමීනී, අද සබත් දිනයයි’ කියනුයේ රජ්ජුරුවෝ ඒ අසා කිසිදු වික‍්‍රියාවක් නොදැක්වූ හෙයින්, ”නොහොත් චූදිතයන්හට ක්ෂමා භජනය කරන්නාවූ දිනයයි’ යනුයෙන් ඌණ පූරණ කරනාහ. රජ්ජුරුවන් ද මවිතව උන් දෙස බලනුයේ, ‘අපගේ බල පැවැත්ම පිණිසැ මෙකියනා දෑ කළයුත්තේමයැ’යි වන් බැල්මක් හෙලැමින් කේවට්ටයෝ් උන් අත වූ තල්පත් ගොනුවෙහි බැමි මුදා තල්පත් එකිනෙක රජ්ජුරුවන් වෙත පානාහ.

පළමු තල්පත දිගු කරමින්,”ස්වාමීනී, මේ වනාහී ලාලිතයා හා පිටපොටයා පිළිබඳ කාරණාවයැ. මුන් සීල පාරමිතා පිණිසැ වස්ත‍්‍ර පූජා කළාහුයැයි චෝදනා ලැබ සිටින්නාහුයැ’යි පවසනේ නිර්දෙස් තල්පත් එකිනෙක පාමින් මෙසේ අර්ථ පහදනායැ. ”මෙකී කාරණාව වනාහී කිහිළිඇලියා අරබයායැ. මුහු රූ පෙට්ටගමේ තුබූ යපස් ලෝ නල දඬු ගොන්නක් ධජ පතාක රැඳවුම් පිණිස රැගෙන ගොස් ඇත්තේයැ. තෙල තල්පත ජොන්ටුවා පිණිසැ වන්නේයැ. ස්වාමීනී, මුහු මිල නොගෙවා පරිභෝග භාණ්ඩ තොගයක් මහත් සතොසින් රැගෙන ඇත්තේයැ. මේ වනාහී නැඩ ධූම සිළුවා යැ. මුහු නොමතකවීමෙන් සිව් දෙනෙකු වැලිගම්පිටි යවා ඇත්තේයැ’යි මඳ ඉසිඹුවක් ගෙනැ,”අහෝ ස්වාමීනී, මෙකී තල්පත්ලාභියා වනාහී සියනෑපත්තුවේ අසරණයායැ. ලොතරැයිපතියාව සිටි කල්හි රථගායක් වැලැඳී ඊට ඔසු පිණිසැ රථ ගාස්තු කල්කයක් ගිලැ ධර්මාධිකරණ හමුවේ වමාරන්නට වී තිබේයැ. ස්වාමීනී, මූ ඉන්තේරුවෙන්මැ අසරණයායැ. කප්පමක් දෙකක් කමින් බෝ දුකසේ දිවි ගෙවනා එකායැ. ක්ෂමා කොට ගලවාගත මැනව’යි කියා, ”තවදැ පිල්ලියායැ, නවග‍්‍රාමයායැ, රත්තරනායැ, මෝහන පීරායැ, සේනාපතියායැ, උදේඅංගයායැ’යි සබත් ක්ෂමා පිණිසැ නිර්දෙස් තල්පත් නහුතයක්මැ රජ්ජුරුවන් සුරත මත තබනාහ. රජ්ජුරුවෝද එදැක තුෂ්ණිම්භූතගතව ගිය කල්හි, ”ස්වාමීනී, විශ්ම ගන්නට කාරණා නොමැත්තේයැ. නුඹ වහන්සේගේ සොහොන් පැනයද, බෑයා වහන්සේගේ සෙවිලි පත් හා අරාජිකා මැදුරු පැන තල්පත්ද මෙහි ඇත්තේයැ. මේ වනාහී පොරණ පටන් පැවැතෙනා සිරිත් චාලිත්තරයැ. පිලාත් රජාණන්ගේ සිට මෙත්පල් රජු දක්වාමැ අඛණ්ඩවැ පැවැත එන්නා වූ පිළිවෙත්යැ. බරබ්බාස්ගේ සිට ගොනාවලෙහි සුනීලයා, ජුද සාමාන්තයා දක්වා පැවැත විත් ඇත්තේයැ’යි ක්ෂමා පුරාණය සිහි කෙරෙනාහ. ”ඉදින් කෙහෙවට්ටයනි, නැඩ සිළුවා හැර අනෙකුන් විනිශ්චය පිණිසැ ධර්මාධිකරණය හමුවේ සිටින්නවුන්යැ. යුක්තියට බලපෑම් නොකෙරෙමියි මගේ පිළිවෙත් පුස්තකය වූ සවුබාග දැකුමෙහි කොටා ඇත්තේයැ. ඉදින් කෙසේ මුනට ක්ෂමා කෙරෙනේදැ?’යි රජ්ජුරුවෝ උකටලීවැ කියනාහ. ”ස්වාමීනී, නුඹ වහන්සේ රාජ්‍ය පාලන පිණිසැ දුහුනෙක් සේ හැෙඟනායැ. සිම්පලයැ. තාක්සන දොස් යැයි මෙකී චෝදනා තල්පත් වැනිෂ් කොට දමන්නැයි එකී රාජ නිලදරුවනට අණ කළ මැනව. සිම්පලයැ’යි උවදෙස් සපයනායැ. රජ්ජුරුවෝද අන්ද මන්දවැ කෙහෙවට්ටයන් බාන දෙසමැ බලා සිටින්නේ උන් අතැ තවත් තල්පත් සමූහයක් දැකැ, ”තවත් ඇත්දැ’යි නැගැ එන කොවින් අසනාහ. ”කලබල නොවනු මැනැව. මතු පිටින්මැ ඇත්තේ රනජන තල්පතයැ. දැන්මැ නොවේයැ. ඊ ළඟ සබත් දිනයේයැ. අනෙක්වා වනාහී රිවි කරුණයායැ, බඩඋඩිනයායැ. තවදැ…’ ආදී ලෙසින් උන් බාන තල්පත් පෙරැලෙමින් කියවාගෙන යන කල්හි රජ්ජුරුවන්ගේ නේත‍්‍රා යුගලය ලලාටය තෙක් දිවෙන්නේ, ”ස්වාමීනී, ඇවැසි වුවහොත් පමණයැ”යි කී කල්හි රජ්ජුරුවෝ අවසිහිවැ යන්නාහ.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment