උගන්ඩාවේ තියෙනවා කියූ සල්ලි ගෙනත් දැන් රට සුඛිත මුදිත කරන්න
සංචාරක කර්මාන්තය කඩා වැටෙන්න කියලා අපි හීනෙකින්වත් ප්‍රාර්ථනා කරන්නේ නෑ
නිර්නාමික පැමිණිල්ලක් මත පදනම්ව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පෙරේදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රශ්න කිරීම දේශපාලන පළිගැනීමක් යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (25 දා) පැවසීය.
අද දිනයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන මොහොතක ඒ ආකාරයෙන් කටයුතු කිරීම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන පළිගැනීම් නිරූපණය කරන්නක් බවත් මෙවැනි තත්ත්වයන් වැළැක්වීම ජවිපෙට සෘජුව සම්බන්ධ නැති ජාතික ජනබලවේගය නියෝජනය කරන අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය වැනි අයගේ වගකීම බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එතෙම මේ බව කීවේය.
කාරියවසම් මහතා මෙසේද පැවසීය.
අනුර කුමාර මහත්තයලා ජනාධිපතිවරණයට කලින් කිව්වේ උගන්ඩාවේ, සීසේල්ස්වල, ඩුබායිවල දේශපාලකයෝ හොරකම් කරපු සල්ලි තියෙන බවයි. ඒවා ගෙනල්ලා ලෝකෙට තියෙන ණය බේරලා ජන ජීවිත සුඛිත මුදිත කරනවා කියලත් කිව්වා. එනිසා අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා දැන් ඒක කරන්න කියලා. එහෙම නැතුව නිර්නාමික පැමිණිලිවලට නාමල් රාජපක්ෂව සීඅයිඩී ගෙන්වලා ජනතාව ඉස්සරහා හෑල්ලු කරන්න හදන එක හෝ ලියාපදිංචි නැති වාහනයක් අල්ලගෙන සිල්ලර දේශපාලනයක් කරන එක හෝ නෙමෙයි ආණ්ඩුවේ වගකීම. එනිසා කරුණාකරලා රටවල්වල තියෙනවා කියූ සල්ලි ගේන්න.
නාමල් රාජපක්ෂ මීළඟ ජනාධිපති වෙනවා කියන එක මේ රටේ ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා. ඔහුගේ චරිතය දැන්ම ඉඳන්ම ඝාතනය කරන්න තමයි බොරු පැමිණිලි මත පදනම්ව දේශපාලන සංදර්ශන දාන්නෙ. ඒක මේ රටේ ජනතාව දන්නවා.
ඒ කාලේ මාලිමාවේ අය කිව්වා පොල් හාල් බිත්තරවලින් ඇමැතිලට කොමිස් තියන නිසා ගාණ වැඩි වෙනවා කියලා. දැනුත් ඒවායෙ ගාණ වැඩිවෙනවා. දැන් ඇමැතිල තුන්දෙනෙක් විතරක් ඉන්න නිසා හරි ලේසියි ඒගොල්ලන්ට පරීක්ෂණ කරන්න. එනිසා ඒගොල්ලෝ ගැනම ඒගොල්ලන්ට පරීක්ෂණ කරන්න පුළුවන්.
ආරුගම්බේ සංචාරක කලාපය ආශ්‍රිත තත්ත්වය අපිට පේනවා. අපි හීනෙකින්වත් ප්‍රාර්ථනා කරන්නේ නෑ සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා රට අරාජික වෙන්න කියලා. මොකද අපි රටට ආදරේ කරන පක්ෂයක්. මේ ප්‍රශ්නය කළමනාකරණය කරගන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕන. අපි ආයෙත් කියනවා කරුණාකරලා පිට රටවල තියනව කියපු දේශපාලකයෝ හොරකම් කරපු සල්ලි ගේන්න කියලා.
අනුරාධ හිරිපිටියගේ