නිර්පාක්‍ෂික අරගලයට විසඳුම මහජන කවුන්සිලය

199

අරගලය අවසන් වෙයි ද? නැතිනම් රට තවත් අරාජිකත්වයට යාවි ද? යන්න රටේ පොදු ජනතාවගේ සැකයට තුඩු දෙන ගැටලුවක් බවට පත්ව ඇති මේ මොහොතේ අරගලය සාමකාමී බවෙන් මිදී ප්‍රචණ්ඩත්වය කරා ගෙන ගියේ කවර බලවේගද යන්න විමසීම ද අතිශයින් වැදගත්ය.

2022 අප්‍රේල් 09 වනවිට නිර්පාක්‍ෂික අරගලය, රටේ දැවුණු ප්‍රශ්න කීපය මුල්කරගෙන පාලක පන්තිය දැක්වූ ඇල් මැරුණු ප්‍රතිපත්ති ඉදිරියේ රජයේ දූෂණය වංචාව හේතුවෙන් ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති මොහොතක ආරම්භ වූයේ ජනාධිපති, අගමැති ඉවත්විය යුතු බව ප්‍රකාශ කරමිනි.

එහි ආරම්භයේ දීම නිර්පාක්‍ෂික බව සද්භාවයෙන්ම විශ්වාස කිරීමට රටේ ජනතාව පෙළඹවූ අතර අරගලයට නායකත්වයක් නොමැත්තේය යන්න මත විවිධ මතවාද ඇතිවිණි. නායකත්වයක් නැති අරගලය කවර දිශානතියකට ඇදී යාවි ද යන සැකය මතුවූ අතර එය තවත් අරාබි වසන්තයක් වී රට තවත් අරාජික කරනු ඇතැයි ද මත ප්‍රකාශ විණි.

සුවිසල් ජනබල මෙහෙයුමකින්, මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාටත් හැටනව ලක්‍ෂයක් මනාප ලැබූ විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් සිය ධුර අත්හැර යෑමට බලපෑම් කළ අරගලකරුවන් මේ වනවිට නිර්පාක්‍ෂික බවින් වියුක්ත වී ඇති බවත් ඒ සමග අරගලකරුවන් පිරිසක් කැරලිකරුවන් වී ඇති බවත් පෙනී යයි. අරගල භූමි තුළදී අන් මත නොඉවසන පිරිසක් සිටින බව කැපුම් කෙටුම් තුවාල සහිතව අරගලකරුවන් රෝහල්ගත කිරීමෙනුත්, පොල්දූව මංසන්ධියේදී හමුදා භටයන්ට පහරදී ආයුධ පැහැර ගැනීම් තුළින් ප්‍රචණ්ඩ කැරලිකරුවන් ද අරගලය තුළ සිටින බවත් පැහැදිලි විය. ඇතැම්විට එය කුමන්ත්‍රණයක් බවට ද මත පළ විය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වුවත් ඩලස් අලහප්පෙරුම පත්වුවත් අරගලය අවසන් වේ යැයි මේ අනුව සිතිය හැකි නොවේ. මන්ද යත් ඒ රනිල් වික්‍රමසිංහ මහතා අරගලකරුවන් පලවාහැර, ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අනුප්‍රාප්තික අගමැති තනතුරට පත් කළ අය නිසාත් ඩලස් අලහප්පෙරුම මහතා මහින්ද රාජපක්‍ෂ රජයේත් ගෝඨාභය රාජපක්‍ෂ රජයේත් ප්‍රබල ඇමැතිවරයකු බැවින් ඩලස් මහතා ද රට ආර්ථික පරිහානියට ගෙන යෑමට හේතු වූ සාමූහික වගකීමක් දැරූ අයකු බවට රහසක් නොවන බැවිනි.

අරගලකරුවන් මෙන්ම මහා සංඝරත්නය පුන පුනා කියන සර්ව පාක්‍ෂික රජයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම කිසිදා කළ නොහැක්කකි. මන්ද ද්‍රවිඩ සන්ධානය මෙන්ම ජවිපෙ ද රජයට එක් නොවීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. අඩු තරමින් සභාග හෝ භාරකාර රජයක් පත්කර ගැනීමට ඉඩකඩ තිබේ. අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරගලකරුවන්ගේ මහජන කවුන්සිලය අගය කළත්, ව්‍යවස්ථාව සමග බද්ධ කරන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් නොකරයි. ඒ වෙනුවට හෙතෙම සාමකාමී අරගලකරුවන්ට යුක්තිය ඉටුකිරීම සඳහා වෙනම කාර්යාංශයක් පිහිටුවීමට යයි.

නමුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට VII ‘අ’ පරිච්ඡේදය පරිදි තැනැත්තන් 13 දෙනකුගෙන් සැදුම් ලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් තිබිණි. (17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය) මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ නිත්‍ය කොමිෂන් සභාව, මුදල් කොමිසම, සීමා නිර්ණ කොමිසම යන කොමිෂන් 7ක සභාපති සහ සාමාජිකයන් පත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදුකරන ලදී.

නමුත් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිදුකළ සංශෝධන හේතුවෙන් එකී කොමිෂන්වල ස්වාධීනතාව හීන විය. (එපමණක් නොව 17 වන ව්‍යවස්ථාවෙන් ඇතිකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරු සහ නීතිපතිගේ උපදෙස් ලබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ විනිසුරුවන් සහ එහි සභාපති පත් කරන ලදී.) දැනට ඇතිවී තිබෙන දුර්වලතා මගහැර ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීමට නම් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රකාශ කරන 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම සුදුසු බව පෙනී යයි. එසේ වුවද මහජන කවුන්සිලය අදටත්, මතයක් පමණි. වගකිවයුතු කිසිවකු හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෝ මහජන කවුන්සිලයක් හරහා කැබිනට් මණ්ඩලය හා අදහස් හුවමාරු කරගන්නේ කෙසේද යන්න පහදා නැත.

එබැවින් 19 වන සංශෝධනය නැවත බලාත්මක කිරීමකදී ව්‍යවස්ථා සභාවට අනුබද්ධව, අරගලකරුවන් අතුරින් කීපදෙනකු ද ඇතුළත් වන මහජන කවුන්සිලයක් නිර්මාණය කිරීම හරහා ව්‍යවස්ථාදායක සභාවට උපදෙස් දිය හැකිවනු ඇති. එහෙත් අරගලය ඉදිරියට ගලා ගියහොත් රට නැවත ගොඩගැනීම සිහිනයක් පමණක් වනු නොඅනුමානය.

නීතිඥ කුමාරසිරි වීරවර්ණ

advertistmentadvertistment
advertistmentadvertistment