නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිහිට වෙත පා නගමු

448

ලක්වාසි බෞද්ධ ජනයා හට කිසිලෙසකවත් කළගුණ සලකා නිම කිරීමට නොහැකි තරම්ම, ලක්වාසීන්ට කල්‍යාණ මිත්‍රයකු වූ මිහිඳු මහ රහතන් වහන්සේව සුවහසක් සැදැහැවතුන්ගේ සිත් තුළ භක්ත්‍යාදරයෙන් සිහිපත් වන උතුම් කාලයකි මේ උදාවන්නේ. ඒ පින්බර පොසොන් පොහොයයි. පොසොන් පොහොය කී විට මහින්දාගමනය, මිහින්තලාව අනායාසයෙන් සිහිපත් වන තරමට එය ලක්වැසි බොදුනුවන්ගේ ජීවිතයට පටිබද්ධ වූ දිනයක්ය. ඒ මක් නිසා ද යත් මෙලොව – පරලොව දෙලොවටම හිතසුව පිණිස පවතින බිය රහිතව සරණ යාහැකි උතුම්ම සරණ වූ තෙරුවන් සරණ මේ ලක්දිවට ලැබුණේ පොසොන් පෝය දිනයේදී බැවිනි. එම දායාදය මෙහි රැගෙන ආවෝ අනුබුදු මිහිඳු මහ රහත් තෙරපාණෝය.

ලක්දිව මුටසීව රජු රාජ්‍ය කරන කල්හි දඹදිව රාජ්‍ය පාලනය කළේ අශෝක අධිරාජ්‍යයාය. අතිශය කෲර යුද වැදීමකින් අනතුරුව කාලිංගය ද තම රාජ්‍යයටම යටත් කොටගත් අශෝක රජු දඹදිව අධිරාජ්‍යය බලයක් පිහිටුවා ගත්තේය. එහෙත් දිග්විජය නම් වූ යුද වැදීමේදී මියගිය සුවිශාල මිනිස් ජීවිත ගැන ඔහු තුළ මහත් සන්තාපයක් විය. එය සංසිඳුවා ගනු නොහී පසුතැවිල්ලෙනි රජු කල් ගත කළේ.

මාලිගාවේ ජනේලයෙන් වීදිය දෙස බලා සිටි අශෝක රජු කැලඹුණු මිනිසුන් අතරේ දුටු අසිරිමත් දසුනකි, හත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ශාන්ත පියොවින් මාර්ගයේ ගමන් ගනී. දුටු පමණින් පහන් වූ රජු ඒ සාමණේරයන් වහන්සේ සිය රජ මැඳුරට වැඩම කරවා කතාබස් කළේය. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ චණ්ඩාශෝක නමින් ප්‍රකටව සිටි දෘඪ සිත් ඇති අශෝක අධිරාජ්‍යයා හට ධම්මපදයේ අප්පමාද වර්ගයේ ගාථාවලින් දහම් දෙසූ සේක. ඒ ධර්මාශෝක රජු බිහිවීමේ ආරම්භයයි.

අතිශයින්ම බුදු සසුන කෙරෙහි පැහැදුණු අශෝක අධිරාජ්‍යයා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා බුදු සසුනට පූජා කළේය. තම ලෙයින් උපන් මිහිඳු කුමාරයාත්, සංඝමිත්තා කුමරියත් සසුන්ගත කරවූයේය. මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ හා එක්ව රාජ්‍ය අනුග්‍රහයෙන් තෙවැනි ධර්ම සංගායනාව කොට සසුන්කෙත පිරිසිදු කරලීමට දායක වූයේය. ධර්ම විජය යටතේ ධර්මදූත ශ්‍රාවක පිරිස් පිටත්කොට බුදුරදුන්ගේ ධර්මය ව්‍යාප්ත කරවීය.

ඒ ධර්මවිජය වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් ලෙසය, අප ලක්දිවට මේ ශ්‍රී සද්ධර්මය දායාද වූයේ. එකල මේ ලක්දෙරණ පාලනය කළ දෙවන පෑතිස් රජු පොසොන් පොහෝ දින දඩකෙළිය පිණිස මිහින්තලාවට පැමිණියේය. ඒ උතුම් පුන් පොහෝ දිනයේදී ‘අනුබුදු’ නමින් ලක්වැසියන්ගේ ගෞරවාරදයට පත් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර යන මහ රහතන් වහන්සේලාත් භණ්ඩුක නමැති උපාසකත් යන ධර්මදූත කණ්ඩායම මිහින්තලාවේදී දෙවන පෑතිස් රජු හට හමු විය.

“මහ රජ, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු”යි රජුට පැවසූ මිහිඳු මහ රහතන් වහන්සේ රජුගේ නුවණැති බව විමසීමට ප්‍රශ්න කළේය.

මහා පින්වන්ත දේවානම්පියතිස්ස රජුගේ නුවණැති බව දැනගත් උන්වහන්සේ ඒ මොහොතේ පටන් මේ ලක්වැසියන්ගේ දෙලොව අභිවෘද්ධිය තකා කටයුතු ආරම්භ කළේය. නිර්මල සම්බුද්ධ දේශනා මගින් ලක්වැසියන්ගේ සිත් තුළ ශ්‍රද්ධාව ජනිත කරවා, මාර්ගඵලලාභීන් බිහිකරවා, ගෞතම බුදු සසුන මෙ’ලක් දෙරණේ ස්ථාපිත කරවා අනුපමේය සේවයක් කරමින් තෙරුවන් සරණ මූලික කරගත් සොඳුරු සංස්කෘතියක් බිහිකර වූවෝ, දෙලොව යහපත පිණිස කටයුතු කරනා උතුම් මිනිස් පරපුරක් මෙ’ලක් දෙරණේ බිහිකරවූවෝ ද අප ලංකාද්වීපයට උතුම්ම කලණ මිතුරාණන් වූ මිහිඳු මහ රහතන් වහන්සේය.

වත්මන් අපටත් තෙරුවන් පිහිට, ධර්මයේ පිහිට ලැබීමට අවස්ථාව ලැබුණේ ද උන්වහන්සේ නිසාවෙන්මය. එනිසා මෙම 21 වැනි දිනට යෙදෙන පින්බර පොසොන් පොහෝ දිනයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිහි කරමින් අපිත් උන්වහන්සේ මේ ලක්දිවට දායාද කළ අකාලික වූ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ සලසා ගන්නට මහන්සි ගනිමු.

දඩල්ල වාලුකාරාම වෙහෙරවැසි ශාස්ත්‍රපති රත්ගම සුනීත හිමි

සංස්කරණය – සුසිල් ජයකොඩි

නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිහිට වෙත පා නගමු


0722081522

advertistmentadvertistment
advertistmentadvertistment