දිවංගත ආචාර්ය නලින් ද සිල්වානන්ගේ දාර්ශනික ඉදිරිපත් කිරීමක් වන ‘නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය’ යනු කුමක්දැයි කෙටියෙන් හඳුන්වාදීම මේ කෙටි ලිපියේ අරමුණයි. සිංහල බෞද්ධයකු ලෙස උපත ලද එතුමා පසු කලෙක මාක්ස් – ට්‍රොට්ස්කිවාදයේ අනුගාමිකයකු විය. වෘත්තියෙන් බටහිර ගණිතය, තාරකා විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳව ඉගැන්වූ සරසවි ඇදුරකු වූ එතුමා පසු කලෙක බටහිර විද්‍යාව සහ මාක්ස්වාදය ඇතුළු සමස්ත දැනුමෙහි වාස්තවිකත්වය ප්‍රශ්න කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස එතුමා අතින් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය නම් දාර්ශනික වාදය සූත්‍රගත විය.

නව සමසමාජ පක්ෂයෙන් ඉවත් වන විට ඔහුගේ ස්ථාවරය වූයේ විද්‍යාව වාස්තවික වුවත් මාක්ස්වාදය විද්‍යාත්මක නොවන බවයි. එහෙත් පසුව ඔහු බටහිර විද්‍යාව ද වාස්තවික නොවන බව ප්‍රකාශ කළේය. මේ ස්ථාවරය ප්‍රකට කළ ඔහුගේ ප්‍රධාන දාර්ශනික කෘතිය වන්නේ ‘මගේ ලෝකය’ නම් කෘතියයි. මගේ ලෝකය කෘතියට පාදක වී ඇත්තේ මහාවිහාරයීය ථෙරවාද බුදුසමයයි. මාක්ස්වාදය, බටහිර විද්‍යාව වැනි දැනුම් ප්‍රතික්ෂේප කර නැවත බුදුසමයේ දාර්ශනික ස්ථාවරය වෙත නැඹුරුවීමට ඔහුට බලපෑවේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව විද්‍යාත්මක විධික්‍රමය පිළිබඳ සාපේක්ෂතාවාදී විවරණයයි.

පාරභෞතිකවාදය ඥානවිභාගයෙන් වෙන්කර සාකච්ඡා කළ නොහැකිය. පාරභෞතිකවාදයේ, උප විෂයයක් වන සද්භාවවේදයෙන් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කෙරෙන අතර ඥානවිභාගයෙන් පවතින දේ පිළිබඳ දැනුම ලබා ගන්නේ කෙසේද යන්න විමසා බැලේ. එබැවින් මහාවිහාරයීය ථෙරවාදය මත පදනම්ව ඉදිරිපත් කර ඇති ඥානවිභාගයක් වන නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය සහ මහාවිහාරයීය ථෙරවාද සද්භාවවේදය අතර සමීප සබඳතාවක් පවතී.

මහාවිහාරයීය ථෙරවාද සත්භාවවේදය භෞතිකවාදයෙන් හා විඥානවාදයෙන් මූලික වශයෙන්ම වෙනස් වේ. එහි පරමාර්ථ වශයෙන් පවතින ද්‍රව්‍යමය ලෝකයක් හෝ මනසක් නොපිළිගනියි. බුදුසමයේ පිළිගැනෙන්නේ සම්මුති වශයෙන් පවතින මතයක් සහ බාහිර ලෝකයක් පමණි. ඒ බව මගේ ලෝකයේ සඳහන් වන පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ. “සිංහල බෞද්ධ මතයට අනුව, මනස ද නොපවතී. මනස ද නිර්මාණයක් වෙයි. එහෙත් එම නිර්මාණය කෙරෙන්නේ මනස විසින්මය. මනස හා අනෙක් ධර්ම අතර ඇති ප්‍රධානම වෙනස එය වෙයි. මනස ද නිර්මාණයක් ලෙස ගැනෙන බැවින් සිංහල බෞද්ධයෝ බටහිර හෝ වෙනත් කිසිම අර්ථයකින් හෝ විඥානවාදීහු නොවෙති.” නිර්මාණාත්මක සාපේක්ෂතවාදය යනු කුමක් දැයි වටහා ගැනීමේදී ‘චින්තනය’ නම් සංකල්පය වැදගත් වේ. දැනුම නිර්මාණය කෙරෙන්නේ චින්තනයක් මත පදනම්ව යැයි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ ඉගැන්වේ. අඛණ්ඩ සංස්කෘතියක් ඇති ඕනෑම ජාතියකට චින්තනයක් ඇත.

ඕනෑම චින්තනයක එකිනෙකට බැඳුණු අංග තුනක් ඇතැයි ආචාර්ය නලින් ද සිල්වා මහතා පැවසීය. ඒ ඥානවිභාගය, දාර්ශනික පසුබිම හා ආකල්ප යන තුනයි. චින්තනය යනු මූලහේතුවක් නොවේ. සංගීතය, චිත්‍ර කලාව, නර්තනය, දැනුම නිර්මාණය යන කටයුතු යම් සංස්කෘතියක් තුළ සමස්තයක් ලෙස බැඳ තබන්නේ චින්තනය විසින් බව නලින් ද සිල්වා ඇදුරුතුමන්ගේ අදහස විය.

ආචාර්ය නලින් ද සිල්වාට අනුව දැනුම ලබාගැනීමේ ප්‍රධානතම මාර්ගය වන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයයි. එහෙත් එය බටහිර දර්ශනයේ එන ප්‍රත්‍යක්ෂය මෙන් සාමාන්‍ය මිනිසා ලබන ප්‍රත්‍යක්ෂයට පමණක් සීමා නොවේ. එනම් අභිඥාලාභීන්ගේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය ද එහිදී පිළිගැනේ. අනුමානය ද එහි ඥානමාර්ගයක් ලෙස පිළිගැනී ඇත. තව ද ආචාර්ය නලින් ද සිල්වාට අනුව විශ්වාසය ද ඥාන මාර්ගයකි. විශ්වාසය නොමැතිව අපට දැනුමක් ගොඩනඟාගත නොහැකි බව කී ඒ මහතා, සංසාරය වැනි දෑ සාමාන්‍ය මිනිසාට ප්‍රත්‍යක්ෂ නොවුණ ද අභිඥාලාභීන්ට ප්‍රත්‍යක්ෂ වන බව පෙන්වා දුන්නේය. එබැවින් අභිඥා නොලබා ඇති සාමාන්‍ය මිනිසාට අභිඥා ලබාගන්නා තුරු විශ්වාස කිරීමට සිදුවෙයි.

දැනුම, සංයුක්ත දැනුම හා වියුක්ත දැනුම ලෙස ඔහු විසින් දෙකොටසකට බෙදා ඇත. පසිඳුරන්, මනස නම් ඉන්ද්‍රියේ ද සහයෝගයෙන් නිර්මාණය කෙරෙන දැනුම සංයුක්ත දැනුම වේ. මේ අනුව බටහිර දර්ශනයේ සඳහන් වන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය හරහා ලැබෙන ඥානය, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයට අනුව මනසේ මූලිකත්වයෙන් අවශේෂ ඉන්ද්‍රියන් හරහා ලැබෙන දත්තවලින් සිදුකෙරෙන, නිර්මාණය කෙරෙන ඒවා වේ. එසේ නිර්මාණය කෙරෙන දැනුම මනසට, ඉන්ද්‍රිය පද්ධතියට සහ සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කෙරෙන හෙවත් අභිසංස්කරණය කෙරෙන හෙයින් ඒ දැනුම වාස්තවික නොවේ. සංයුක්ත දැනුමට මෙන්ම වියුක්ත දැනුම නිර්මාණය කිරීමේදී මනසට අවශේෂ පසිඳුරන්ගේ සහයෝගය අවශ්‍ය නොවේ. සරල රේඛාව, දෙවියන් වහන්සේ, ගුරුත්වාකර්ෂණය වැනි සංකල්ප වියුක්ත සංකල්ප කීපයක් වන අතර ඒවා හුදු මනසේ නිර්මාණය වෙයි.

එක් සංස්කෘතියක ඇති තවත් සංස්කෘතියකට ලැබෙන ආකාර තුනකි. ඒවා වන්නේ අනුකරණය, ආරෝපණය හා අවශෝෂණයයි. ආචාර්ය නලින් ද සිල්වාට අනුව මෙරට අධ්‍යාපනය බටහිර අනුකාරක අධ්‍යාපනයකි. නිදසුනක් ලෙස ඔහුට අනුව මෙරට සරසවි අධ්‍යාපනය බටහිර සරසවි අධ්‍යාපනයේම පිටපතකි. ආරෝපණයේදී සිදු කෙරෙන්නේ වෙනත් සංස්කෘතියක ඇති හරය ලබාගෙන තම සංස්කෘතියේ යම් යම් දෑ පිට පොත්ත වශයෙන් එකතු කර ගැනීමයි. අවශෝෂණයේදී සිදුකෙරෙන්නේ මෙහි අනෙක් පැත්තයි. එනම් තම සංස්කෘතියේ හරයට බාහිර සංස්කෘතිකාංග එකතු කර ගැනීමක් එහිදී සිදුවේ. මෙලෙස නිර්මාණය කෙරෙන සියලු දැනුම් වාස්තවික ඒවා නොවන අතර සාපේක්ෂක දැනුම් මේ බටහිර චින්තනය මත පදනම්ව නිර්මාණය කර ඇති දැනුම ද වාස්තවික නොවන නමුත් ඒවා වාස්තවික දැනුම් ලෙස බලහත්කාරයෙන් අප මත පටවා තිබේ. බටහිර දේශපාලන ආධිපත්‍ය මත පදනම්ව සිදු කෙරෙන මේ වැඩපිළිවෙළ පරාජය කළ යුතුය. ඒ සඳහා අපේ සංස්කෘතිය මත පදනම්ව සංකල්ප, වාද, නියමවලින් සමන්විත දැනුම නිර්මාණය කළ යුතු බව ආචාර්ය සිල්වාගේ අදහස විය. විවිධ ක්ෂේත්‍රවල ඔහු ඊට මුලපුරා ඇති අතර මෙරට තරුණ පරපුර ඒ සඳහා උනන්දු කරවීම ද ඔහුගේ මූලික අභිලාෂයක් විය. ඔහුගේ පහත ප්‍රකාශයෙන් ද ඒ බව පැහැදිලි වේ. “අද බටහිරයන් අප පාලනය කරන්නේ ප්‍රධාන වශයෙන්ම සංස්කෘතික යටත්විජිතවාදයේ වැදගත්ම කොටස වූ දැනුම හරහාය. බටහිර දැනුම ඔස්සේ සිතන අපි බටහිරයන්ට අවශ්‍ය පරිදි කටයුතු කරමු” එබැවින් බටහිරයන්ගේ ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගැනීම සඳහා අප අපගේ චින්තනය හා සංස්කෘතිය මත පදනම්ව නව දැනුමක් නිර්මාණය කළ යුතු බව ඔහු පැවසීය.

සිංහල බෞද්ධයාගේ පරම නිෂ්ටාව වන්නේ නිවන් අවබෝධය වන අතර සසර වසන තුරු නිවහල් ජාතියක් ලෙස කටයුතු කිරීමටත්, විජාතික ආධිපත්‍යයෙන් මිදීමටත් මිස, දැනුම නිර්මාණය කිරීම නිවන් අවබෝධය සඳහා අවශ්‍ය නොවේ. නිවන් අවබෝධය සඳහා අවශ්‍ය වන දැනුම පාලි ත්‍රිපිටකය තුළ අන්තර්ගත වන බව පිළිගත් ආචාර්ය ද සිල්වා මහතා ජාතියේ ලෞකික විමුක්තිය සඳහා අවශ්‍ය දැනුම නිර්මාණ කර ගැනීමේ වැදගත්කම ජාතියට පෙන්වා දුන් අපේ යුගයේ දාර්ශනිකයා ලෙස සැලකිය හැකිය.

සුමේධ වීරවර්ධන
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
දර්ශන අධ්‍යයනාංශය, ශාස්ත්‍රපීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය.

advertistmentadvertistment
advertistmentadvertistment