නිර්වින්දනය නොකර කළ විස්මිත සැත්කමක්… සැත්කම අතරතුර රෝගීන් සමග කතා බහෙත් යෙදිලා

145

කාන්තාවකගේ මොළයේ හටගත් ගෙඩියක් විස්මිත සැත්කමක් මගින් ඉවත් කිරීමට බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් පසුගියදා සමත්වූහ. එහි විශේෂත්වය වන්නේ සාමාන්‍ය සැත්කමකදී මෙන් නොව රෝගියා පූර්ණ වශයෙන් නිර්වින්දනය නොකර එම සැත්කම සිදු කිරීමයි. එම ශල්‍යකර්මය පැය 04කට ආසන්න කාලයක් තිස්සේ සිදුකර ඇති අතර එම කාලසීමාවේදී වෛද්‍යවරුන් වරින් වර රෝගියා සමඟ කථාබහ කරමින් එය සිදුකිරීම තවත් විශේෂත්වයක් බවද කියති.

එම සුවිශේෂී සැත්කම සිදුකර ඇත්තේ බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලක්මාල් හේවගේ මහතා ප‍්‍රමුඛ වෛද්‍ය, හෙද හෙදි කාර්ය මණ්ඩලයක් විසිනි. මෙවැනි සැත්කමක් ශ‍්‍රී ලංකාවේදී සිදුකර තිබෙන දෙවන අවස්ථාව මෙය බවද කියති. සැත්කමින් පසුව රෝගියා මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා සිටින බවද අපට දැන ගන්නට ලැබිණි. මීට පෙර මෙවැනි සැත්කමක් සිදුකර ඇත්තේ අනුරාධපුර මහ රෝහලේදී බව අනාවරණය වෙයි. එනිසාම අපේ රටේ රජයේ රෝහලකදී සිදුකරනු ලැබූ මෙම විස්මිත සැත්කම පිළිබඳව මෙරට ජනයා බොහෝ දෙනෙකු දැඩි උන්නදුවක් දක්වන බව අපි දනිමු. එහෙයින් බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය ලක්මාල් හේවගේ මහතාගෙන් ඒ පිළිබඳව තොරතුරු විමසන්නට අප අවස්ථාව උදාකර ගත්තෙමු.

‘‘මේ රෝගියා අපට යොමුකර තිබුණේ නුවරඑළිය රෝහලෙන්. ඇය එම රෝහලේ පිළිකා ප‍්‍රතිකාර ඒකකයෙන් දැනට වසර කිහිපයක් තිස්සේ ප‍්‍රතිකාර ලබමින් ඉන්න කෙනෙක්. මෙවර ඇය බදුල්ල මහ රෝහලට යොමුකර ඇත්තේ ඇයගේ දිගින් දිගට පවතින හිසේ කැක්කුමක් සම්බන්‍ධයෙන් අවශ්‍ය වැඩිදුර වෛද්‍ය ප‍්‍රතිකාර සඳහායි. ඒ මීට සති දෙකකට පමණ ඉහතදීයි. අපි රෝගියා සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ කිහිපයක් සිදු කළා. ඒ අනුව සිදු කරන ලද එම්.ආර්.අයි. පරීක්‍ෂණයේදී අනාවරණය වුණා මේ රෝගියාගේ මොළයේ හටගෙන ඇති ගෙඩියක් නිසා ඇය ස්නායු ආබාධයකින් පෙළෙන බව. සෙන්ටි මීටර් 3-4 පමණ විශාලව පැවැති එම ගෙඩිය මොළයේ දකුණුු අත පාලනය කරන කොටස සහ කථනය පාලනය කරන කොටසේ එනම් වම් පැත්තේ මැද හරියේ වන්නට පිහිටා තිබීම නිසා එමගින් ඉදිරි කාලයේදී රෝගියාට පත්විය හැකි අවදානම අපි තේරුම් ගත්තා. එම ගෙඩිය තවදුරටත් එසේ පැවතුණහොත් රෝගියාට ඇතිවිය හැකි අංශභාගය වැනි රෝගී තත්ත්වයෙන් වළක්වා ගැනීම සඳහා ඉක්මනින්ම එය ඉවත් කිරීමට අපි තීරණය කළා. ඒ අනුවයි මේ සැත්කම සිදු කළේ. මෙහි විශේෂත්වය වන්නේ රෝගියා නිර්වින්දනය කරනු ලබන්නේ එක්තරා අවස්ථාවක් දක්වා පමණයි. ඒ ගැන පැහැදිලි කළොත් සැත්කම සඳහා හිස් කබල විවෘත කර ගැනීම දක්වා වගේ. ඉන්පසුව මොළයේ සැත්කම සිදුකරන අවස්ථාව වනවිට නැවත රෝගියා නිර්වින්දන තත්ත්වයෙන් පියවි තත්ත්වයට පත්කර

ගන්නවා. එතැන් පටන් රෝගියා සමඟ කතා බහ කරමින්, තොරතුරු විමසමින් තමයි සැත්කම සිදුකරන්නේ. මෙවැනි සැත්කමක් ලංකාවේ වෛද්‍ය කණ්ඩායමක් සමඟ මම සිදුකළ පළමු අවස්ථාව. එම නිසා මටත් මෙය අලූත් අත්දැකීමක්. ඒ වගේම මගේ නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාටත් මෙවැනි සැත්කමක් පිළිබඳ අත්දැකීම් මීට පෙර තිබුණේ නෑ. ඒ නිසා අපි ඒ සම්බන්‍ධයෙන් පියවරෙන් පියවර සැලසුම් කළා මේ සැත්කම සිදුකරන ආකාරය පිළිබඳව. අපි සැත්කමට කළින් දවසේ උදේ රෝගියා සැත්කමට සූදානම් කරන විදියට සූදානම් කරලා ශල්‍යාගාරයට ගෙනැල්ලා සැත්කම සිදුකරන අන්දම පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. එයින් බලාපොරොත්තු වුණේ සැත්කම සම්බන්‍ධයෙන් රෝගියා තුළ ඇතිවිය හැකි බිය, චකිතය නැති කිරීම. ඒ අනුව අපට මෙහිදී රෝගියාගෙන් විශාල සහයෝගයක් ලබුණා. අපි අපේක්‍ෂා කළ පරිදි එම සැත්කම ඉතාමත් සාර්ථකව සිදු කිරීමට හැකි වුණා. ඒ සඳහා මගේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලූම දෙනා මහත් කැපවීමකින් කටයුතු කළා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ කාර්යයේදී බදුල්ල මහ රෝහලේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය උපුල් කරුණාරත්න මහතාගේ මඟ පෙන්වීම සහ දක්වන ලද සහයෝගය ඉතාමත්ම අගය කළ යුතුයි. ඒ වගේම නිර්වින්දන වෛද්‍ය විශේෂඥ හර්ෂිකා හැන්නැදිගේ මහත්මිය සහ වෛද්‍ය නිශාන්ත ලියදිපිට මහතා ඇතුළු වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ කැපවීම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ වගේම ඉතාමත් අගය කළ යුතුයි.’’යැයිද විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ කීවේය. මෙවන් සුවිශේෂී සැත්කමක් මෙරටදී සිදුකර එහි සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීම ගැන ඊට කැපවූ සියල්ලන් තුළ ඇත්තේ අපරිමිත සතුටක් සහ මහත් අභිමානයක් බව අපි දනිමු. එහිදී සැවොම එකාමෙන් හා කණ්ඩායම් හැඟීමකින් කටයුතු කිරීම මනාව ඉස්මතුවූ අවස්ථාවක් ලෙසද එය හැඳින්විය හැක. මෙම සුවිශේෂී සැත්කමේදී විසල් වගකීමක් උසුලනු ලැබූ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ භූමිකාව ගැන විමසන්නටද අපි අමතක නොකළෙමු. එහිදී අපට අදහස් දැක්වූ බදුල්ල මහ රෝහලේ නිර්වින්දන වෛද්‍ය විශේෂඥ හර්ෂිකා හැන්නැදිගේ මහත්මිය මෙසේ පැවැසුවාය.

නිර්වින්දනය නොකර කළ විස්මිත සැත්කමක්… සැත්කම අතරතුර රෝගීන් සමග කතා බහෙත් යෙදිලා

‘‘නිර්වින්දන විශේෂඥ වෛදවරියක් ලෙස මටත් මේ අවස්ථාව අලූත් අත්දැකීමක්. සැත්කම් සඳහා රෝගීන් නිර්වින්දනය කිරීම් කොතෙකුත් කර තිබුණත් මේක මගේ පළමු අවස්ථාව. ඒ කියන්නේ වෙනත් සැත්කම්වලදී අපි කරන්නේ සැත්කම සඳහා ගතවෙන මුළු කාලසීමාව සඳහා රෝගියා නිර්වින්දනය කර තැබීමයි. ඉන් පසුව සැත්කම අවසන්වීමෙන් පසුව නැවත සිහි ගැන්වීම සිදුකරනවා.

නමුත් මෙතැනදී විශේෂත්වය තමයි මේ රෝගියා මුළු සැත්කම් කාලය සඳහා නිර්වින්දනය කරන්නේ නෑ. එය අවස්ථා තුනක් හැටියට බෙදා දක්වන්න පුළුවන්. මුල් අවස්ථාවේ අපි කලේ මේ රෝගියාගේ හිසේ හිස් කබල වෙන්කිරීම තෙක් අවශ්‍ය නිර්වින්දනය කිරීම කළා. ඊට පසු මොළයේ සැත්කම සිදුකරන අවස්ථාව වනවිට රෝගියා සමඟ අදහස් හුවමාරු කර ගැනීමට පියවි තත්ත්වයට පත්කර ගන්නවා.

එහෙම කළාට රෝගියාට සැත්කමේ කිසිම වේදනාවක් දැනෙන්නේ නෑ. ඉන්පසුව මොළයේ සැත්කම අවසන් වූවාට පසුව නැවත රෝගියා නිර්වින්දනය කරනවා. ඒ හිස් කබල සහ සම නැවත සකස් කිරීම සඳහා. ඒ නිසා මෙවැනි කටයුත්තකදී අපගේ කාර්ය භාරය වෙනත් ශල්‍යකර්මයකදී රෝගියෙකු නිර්වින්දනය කිරීමට වඩා වෙනස්. මෙහිදී මුහුණ පාන්නට සිදුවූ අභියෝගත් තිබෙනවා. සාමාන්‍යයෙන් වෙනත් සැත්කමකදී බොහෝවිට රෝගියා පැත්තකට හරවා තැබීමක් කරන්නේ නෑ. උඩුබැලි අතටයි තබන්නේ. නමුත් මේ රෝගියාව එහෙම නැතිව අංශක 30ක් පමණ ඇල කරලා තියන්න සිදුවුණා. ඒකට හේතුව මේ ගෙඩිය පිහිටලා තිබුණේ මොළයේ කථනය පාලනය කරන කොටසේ නිසා එහි ක‍්‍රියාකාරීත්වය නිසිලෙස සිදුවෙනවාද කියන එක පරීක්‍ෂා කරමින් තමයි මේ සැත්කම කලේ. එහිදී රෝගියාට අවශ්‍ය ඔක්සිජන් ලබාදීමේදී එක් පැත්තකට ඇලකර සිටීමේදී තරමක් අපහසුවනවා. එසේ නමුත් නිර්වින්දන කාර්යය අපි සාර්ථකව කළා. ඒ වගේම අලූත් අත්දැකීමක් කියලා කිව්වේ ඒ නිසයි. කොහොම නමුත් ලොකු සතුටක් දැනෙනවා අපි අපේ අත්දැකීම් හුවමාරු කරගෙන රෝගියෙක් සුවපත් කරන්න ලැබීම සම්බන්‍ධයෙන්.’’

ශ‍්‍රී ලාංකීය සෞඛ්‍ය ඉතිහාසයේ එක්තරා සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මොළයේ හටගත් ගෙඩියක් සුවිශේෂී සැත්කමක් මගින් ඉවත් කිරීමට භාජනය කරනු ලැබූ කාන්තාව 44 හැවිරිදි අනුලා නිකවත්ත මහත්මියයි. ඇයගේ ස්ථිර පදිංචිය නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කලාපුර, ශාන්තිපුර ප‍්‍රදේශය බවද අපට දැන ගන්නට ලැබිණි. සැත්කම සිදු කිරීමෙන් පසුව ඇය බදුල්ල මහ රෝහලෙන් නික්ම ගොස් ඇත්තේ පසුගිය බදාදා පෙරවරුවේය. සිය ගම්පියස කරා ගොස් සතුටින් කාලය ගත කරන බව අනුලා මහත්මිය අප සමඟ පැවැසුවාය. තමන්ගේ රෝගී තත්ත්වය සුවපත් කර තවදුරටත් මෙලොව ජීවත්වීමට අවස්ථාව සලසා දුන් වෛද්‍යවරුන් මෙළොව දෙවිවරුන් ලෙස හඳුන්වන බවද ඇය කීවාය.

නිර්වින්දනය නොකර කළ විස්මිත සැත්කමක්… සැත්කම අතරතුර රෝගීන් සමග කතා බහෙත් යෙදිලා

‘‘මමයි මගේ මහත්යයි අපි දෙන්නම රැකියාව කරන්නේ නුවරඑළියේ තිබෙන සංචාරක හෝටලයක. මම එහි ගෘහ පාලන අංශයේ වැඩ කරන්නේ. 2018 අවුරුද්දේ මට මුලින්ම පියයුරු පිළිකා රෝගය වැලඳීම නිසා නුවරඑළිය රෝහලේ පිළිකා ප‍්‍රතිකාර අංශයෙන් දිගටම ප‍්‍රතිකාර ගන්නවා. ඒ අතරතුර තමයි මට තදබල හිසේ කැක්කුමක් හැදිලා මුලින්ම නුවරඑළිය රෝහලට ගියේ එයට ප‍්‍රතිකාර ගන්න. එහිදී වෛද්‍යවරුන් මාව පරීක්‍ෂා කරල බලලා ඔලූවේ ස්කෑන් පරීක්‍ෂාවක් කළා. එහි වෛද්‍යවරුන් මගේ ඔලූවේ ගෙඩියක් තිබෙනවා කියලා තමයි වැඩිදුර ප‍්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට එව්වේ. එහිදී විශේෂඥ වෛද්‍යවරුන් මාව පරීක්‍ෂණ ගණනාවකට යොමු කළා. ඒ පරීක්‍ෂණවලින් තහවුරු කරගෙන තිබුණා මගේ මොළයේ ගෙඩියක් තිබෙනවා කියලා. ඒ වගේම ඉක්මනින් ඒ ගෙඩිය ඉවත් කරන්න ඔපරේෂන් එකක් කරන්න ඕන කියලත් කිව්වා. එහෙම කියලා තමයි මගේ මේ ඔපරේෂන් එක ඉක්මනින්ම කලේ. ඊට කළින් මේ ඔපරේෂන් කරන විදිය ගැන දොස්තර මහත්තුරු මට පැහැදිලි කළා. ඔපරේෂන් තියටර් එකට කළින් දවසේ එක්කරගෙන ගිහිල්ලා තමයි ඒ ගැන විස්තර කලේ. කිසිම දේකට බය වෙන්න එපා කියලා කිව්වා. මට කිසිම බයක් ඇති වුුණේ නෑ. ඒ වගේම මොකුත් වේදනාවක් දැනුණෙත් නෑ. මගේ ඔලූවෙ ඔපරේෂන් එකක් කළාද කියල හොයන්නවත් බෑ. මට දැන් හොඳටම සනීපයි. මම කියන්නේ මේ ලෝකෙ ඉන්න අපිට පේන දෙවිවරු තමයි මේ දොස්තර මහත්තුරු, දොස්තර නෝනලා. මම ඒ අයට උදේ හවස පින් දෙනවා. මට මේ ලෝකේ තවදුරටත් ජීවත් වෙන්න අවස්ථාව සලසලා දුන්නාට.’’යැයිද ඇය කීවාය.

මෙවන් සුවිශේෂී සැත්කමක් අප රටේ මීට පෙර සිදුකර ඇත්තේ එක් වතාවක් පමණක් බව අසන්නට ලැබීමෙන්ම එය කෙතරම් දුලබ කාරණයක්ද යන්න පැහැදිලිය. එයද අගනුවරින් බැහැර ඈත දුෂ්කර රජරට පළාතේ අනුරාධපුර රෝහලේදී බව කියැවුණි. දෙවැනි අවස්ථාව වන මෙය ඊට නොදෙවෙනි තවත් දුෂ්කර කලාපයක එනම් ඌව පළාතේ පිහිිටි බදුල්ල මහ රෝහලේය. පරිසරය කෙතරම් කටුක කර්කෂ වුවද එහි රෝහල්වල මෙවැනි සැබෑ හපන්කම් ඇති වෛද්‍යවරුන් සිටීම යනු ගම්බද වෙසෙන ජනතාවට එක්තරා අන්දමක ආස්වාදජනක ආරංචියක් වනු නොඅනුමානය. එමෙන්ම මෙරට සුව සේවාවේ සාඩම්බර ජයග‍්‍රහණයක් ලෙස හැඳින්වීමද නිවැරදිය. එපමණක් නොව එවන් ජයග‍්‍රහණයන් මෙරට සුවහසක් ජනයාගේ සොම්නසට හේතුවන බවද විවාදයකින් තොරය. බදුල්ල මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය වන හර්ෂිකා හැන්නැදිගේ මහත්මිය වෙතින් පළවූ අදහස් තුළින් මෙය තමන්ටද එක්තරා නවමු අත්දැකීමක් බව අපට අසන්නට ලැබුණි. එමඟින් හැෙඟන කාරණයද වන්නේ මෙවැනි සැත්කම් ක‍්‍රම අප රටට කොතරම් ආගන්තුකද යන්නය. කෙසේ නමුත් මෙවැනි සැත්කමක් විදේශ රටකදී හෝ පෞද්ගලික රෝහලකදී සිදු කරන්නට යෙදුනේ නම් විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්නට සිදුවනු නොඅනුමානය. අපේ රටේ එවැනි ආර්ථික හැකියාවන් ඇති පිරිස්ද සිටින නමුත් ඒ අතළොස්සක් පමණක් යැයි කීම අතිශෝක්තියක් නොවේ. එම නිසා අපේ රටේ රජයේ රෝහලකදී කිසිදු පෞද්ගලික මුදලක් වැය නොකර එවැනි සැත්කමක් සිදුකර ගැනීමට අවස්ථාවක් උදාවීම යනු එක්තරා භාග්‍යයක් ලෙස හැඳින්වීම නිවැරදිය. අනෙක් අතින් ලක්මව දිනූ ඉසිවර පරපුරේ දූ පුතුන් දක්වන විශිෂ්ට හැකියාවන් නොවන්නට අපට මෙලෙස උදම් අනන්නට හැකියාවක් නොලැබෙන බවද සඳහන් කළ යුතුය. එහෙයින් ඒ විශිෂ්ටයින් සැම වෙත ජාතියේ උත්තමාචාරය පුද කරන්නට අපි මෙය අවස්ථාවක් කරගනිමු.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment