නිරාගමික රැල්ල සහ බුදු දහම

563

වර්තමාන ශ්‍රී ලාංකීය බොහෝ පිරිස් විසින් උග්‍ර ලෙස වර්ධනයට ලක් කරමින් පවතින සංකල්පයක් ලෙස නිරාගමික සංකල්පය පැහැදිලි කළ හැකිය. තමා සිටින්නා වූ සමාජයීය වපසරිය තුළින් තමා ‘පොරක්’ යැයි කියාගැනීමට උත්සහ දරන්නා වූ, කැපී පෙනීම වෙනුවෙන් බුදු දහම එකහෙලා විවේචනය කරන්නා වූ, කිසිදු ආගමකට අප අයත් නැත යැයි පුරසාරම් දොඩන්නා වූ නිරාගමිකයන් යැයි කියාගන්නා කොටස සැබැවින්ම නිරාගමිකද නැතිනම් එක්තරා අන්තවාදී ස්වරූපයකින් යුක්ත වූවන් නොවේද යන්න වෙසෙසින්ම නැගිය යුතු ප්‍රශ්නයකි. ආගමකට අයත් නොවී සිටීම, සියලු ආගම් සමසේ සැලකීම, ආගම් ප්‍රතික්ෂේප කිරීම සහ කිසිදු ආගමක් කෙරෙහි විශේෂ සැලකිල්ලක් හෝ විශේෂ පහත් කිරීමක් නොමැති බව පොදුවේ නිරාගමික සංකල්පයනට අයත් කතිකාවත් ලෙස සැළකිය හැකිය. එනමුත් වචනාර්ථයෙන් ආගමකින් විනිර්මුක්ත වූවෝ නිරාගමිකයෝ ලෙසින් ද මෙය නිර්වචනය කළ හැකිය. එසේනම් වර්තමාන නිරාගමික උන්මාදය තුළ පරිභව හා අපහාස කිරීමේ ප්‍රධාන හා එකම එදිරිවාදියා බුදුදහම පමණක් වී අනෙකුත් සම්ප්‍රදායන් සහ ආගම් විවේචනයෙන් තොරවීමේ අසම්මත නිරාගමිකත්වය කුමක්දැයි විමසා බැලිය යුතුය.

සෑම පුද්ගලයකුටම බුදු දහමට අනුව ස්වාධීන වූ චින්තනයක් සහ ස්වාධීන වූ අයිතියක් ඇත. ඒ අනුව සියලුම පුද්ගලයන් පාහේ නිරාගමිකයන් වුවද බුදු දහමේ හර පද්ධතියට අනුව එය ගැටලුවක් නොවන්නේය. නිරාගමිකත්වය යනු තවත් ආගමක් නොවන අතර, එය චින්තනවාදයන් ආගම් ලෙස ලේබල් ගසමින් බෙදා දැක්වූවා වූ සමාජය තුළින්ම නිර්මාණය කරගත් කාණ්ඩයක් පමණකි. නිරාගමික සංකල්පය ආගම් හෙළා නොදැකීම, ආගම් බිහිවීම හා ඒවායෙහි ඓතිහාසිකත්වය හා විෂය මූලිකත්වය හෝ අධ්‍යයනය කර තිබීම, මරණින් මතු ජීවිත විශ්වාස නොකිරීම, නිවන, ස්වර්ගය හෝ පරලොව විශ්වාසයන්ගෙන් තොරව සියල්ල මෙලොව බව දැක්වීමට උත්සාහ කිරීම, නවීන විද්‍යාව හා සබැඳිව ඔප්පු කිරීමට හෝ ඔප්පු කර ඇති තාර්කිකත්වයෙන් ගම්‍ය වන කරුණ පිළිබඳ පමණක් විශ්වාස කිරීම, කර්මය හෝ දෙවියන් ප්‍රතික්ෂේප කොට එදිනෙදා ජීවිතයේ චින්තනය හා ශ්‍රමය උසස්කොට දැකීම, මැවුම්වාදය ප්‍රතික්ෂේප කරමින් සියල්ල මෙලොවින් අවසන් වන බව පෙන්වීම හා සියල්ලෝම කෙරෙහි උසස් පහත් භේදයක් නොමැතිව එකසේ සමාන මනුෂ්‍යයන් බව සැලකීම වැනි ලක්ෂණයන්ගෙන් පිළිබිඹු සංකල්පයක් බව මුලින්ම නිරාගමිකයන් අවබෝධ කරගත යුතුය. කෙසේ වුවද තමන්ගේ මඩිය තරකර ගැනීමේ පටු අරමුණු වෙනුවෙන් ආගමිකත්වය භාවිතා කරන්නා වූ පූජකයන් හෝ එවැනි ස්ථානයන් සම්බන්ධ විවේචනයන්ට නිරාගමිකයන්ට පූර්ණ අයිතියක් ඇත. නමුත් එයද කරුණු සහිතව සිදුකළ යුතුය. එනමුත් වර්තමාන සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් බුදුදහම තුළ ඇති වෙහෙර විහාර දාගැබ් ගොඩනැංවීම් වැනි විවිධාකාර වූ ආමිස පූජාවන් කෙරෙහි හා සංඝ සමාජය එල්ල කර ගනිමින් දැඩි ලෙස අනවැසි වූ කරුණු රහිත චෝදනා කිරීම් නිරාගමිකයන් යැයි කියා ගන්නා පටු මානසිකත්වයක් ඇති කටමැත දොඩන්නවුන්ගෙන් ඉතා පහත් ක්‍රියාවන් ලෙස දැඩි සේ හෙළා දැකිය යුතුය. මන්ද යත් ඔවුන්ගේ එකම එදිරිවාදියා බුදු දහම පමණක් වී අනෙකුත් ආගම් සියල්ලම ද, ඒවායෙහි සිදු කරන්නාවූ දුටුපමණින් හාස්‍ය දනවන්නා වූ ක්‍රියාවන්ද පිළිගෙන මුව අයාගෙන මුනිවත රකින්නා වූ නියාලු අමුතු නිරාගමික ක්‍රියාවලිය නිසාවෙනි.

“ධම්ම කාමා භවං හෝති, ධම්මදෙස්සී පරාභවෝ

“බුදු දහමට කැමැති වන්නා ගුණයෙන් වැඩෙන අතර බුදු දහමට ද්වේශ කරන්නා පිරිහෙන බව බුදුරජාණන් වහන්සේ විසින් පරාභව සූත්‍රයේ දී දේශනා කරන ලද පරිදි, මෙලෙස බුදුදහමට ද්වේශ කරමින් බුදුදහම පහත් කිරීමට අසාර්ථක උත්සාහයක යෙදෙන නිරාගමිකයන් ඔවුන්ටත් නොදැනීම ඔවුන්ගේ සංකල්පයන් මගින්ම ඔවුන් පරාදීන වී අවසන් බව ඔවුන් ද නොදන්නා සේය. ඒ සඳහා උදාහරණ ලෙස ඔවුන්ගේ තර්ක තුළින්ම ඔවුන් බිඳී ගොස් ඇති අයුරු බුද්ධ දේශනා ඇසුරින් පෙන්වා දිය හැකිය. එහිදී මරණින් මතු ජීවිතයක් නැති බවත් තාර්කිකත්වය මත පදනම් ඔප්පු කර දැක්වීමට හැකිදේ පමණක් පිළිගන්නා වූ ඔවුන් එසේ පවසන්නේ බුදුදහමේ ඉගැන්වීම පිළිබඳ අල්පමාත්‍ර දැනුමකින් තොරව ය. සත්වයෙකු උපත ලබන විට මවගේ ඍතුවීම, මව්පිය සහවාසය හා ගන්ධබ්බයාගේ පැමිණීම යන කරුණු තුන සපිරීමෙන් සත්වයාගේ උප්පත්තිය සිදුවන බව බුදුදහමේ ඉගැන්වීමයි. මෙහිදී ගන්ධබ්බයාගේ පැමිණීම යනු විඤ්ඤාණයේ බැසගැනීමයි. එහිදී එලෙස ක්‍රියාත්මක වන විඤ්ඤාණය අඛණ්ඩ පැවැත්මක් නොවන අතර සත්වයා යම්කිසි භවයක ආයුෂය ගතකර මරණයට පත්ව, නැවත භවයක ප්‍රතිසන්ධි ගැනීම ලෙසින් හේතුඵල දහමට අනුව සිදුවන ක්‍රියාවලියක් බව සිහිතබා ගත යුතුය. චුති පටිසන්ධි නමින් හඳුන්වන්නේ එයයි. මෙය කිසිවිටෙකත් කර්මයෙන් තොරව සිදු නොවන අතර ආත්මවාදීව අඛණ්ඩව පැමිණීමක්ද නොව එය හේතුඵල සංසිද්ධියකි. එනම් පටිච්චසමුප්පාදයට අයත් වේ යන අර්ථය යි. “ඉමස්මිං සති ඉදං හෝති – ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ඣති – ඉමස්මිං අසති ඉදං න හෝති – ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති” මෙය ඇති කල්හි මෙය පවතින අතර මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නැති අතර මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ, යනුවෙන් බුදුදහම තුළ විග්‍රහ කොට ඇත්තේද මෙය වේ.

මෙම පුනර්භවය සම්බන්ධයෙන් මිලිඳු නාගසේන ප්‍රශ්නය ගැන බැලීමේදී මිලිඳු රජු විසින් නාගසේන හිමිගෙන් ඊළඟ භවයක් කරා ඇදෙන්නේ මේ ආත්මයමද? යැයි අසන පැනයේදී “මහාරාජ, ධම්ම සන්තති සන්දහති… අඤ්ඤෝ උප්පජ්ජති අඤ්ඤෝ නිරුජ්ඣති. අපුබ්බං අචරිමං විය සන්දහති. තේන නච සො න අඤ්ඤො…” යැයි උන්වහන්සේ පිළිතුරු දෙන ලද අතර එහිදී පැවසූ අයුරින්, මහා රාජ්‍ය, “ධර්මය පවතින්නේ… කෙනෙක් උපදිනවා වෙන කෙනෙක් විනාශ වෙනවා පෙර නොවූ විරූ අපූරු දෙයක් සිදුවෙනවා. එනම් මතු උපදින්නේ ඔහුද නොවේ අනෙකෙකු ද නොවේ…: යන්නයි. උදාහරණ ලෙස කැඩපතකින් අපට පෙනෙන රුව ඇතුළතින් සැබවින්ම අප නොවන අතර වෙනකෙකුදු නොවන්නාක් මෙන් සරලව පහදවා ගත හැකිය. ඒ අනුව පුනර්භවය ප්‍රතික්ෂේප කරන නිරාගමිකයන්ගෙන්, යම් සත්වයෙකු උපතේ සිට මරණය දක්වා සියලු හැසිරීම් සිදු කර එම සත්වයා මියගිය පසු ඔහු තුළ ඒ තාක් එම හැසිරීම් සිදු කළේ කවුරුන්ද, ඔහු දැන් කොහෙද යන ප්‍රශ්නය නැගූ විට නිරුත්තර වන ඔවුන් විද්‍යාව ඈඳා ගනිමින් පුහු තර්ක ඉදිරිපත් කොට එයින් පලා යෑම මතම නිරාගමිකයා තවත් ආගමික විරෝධී අන්තවාදී ස්වරූපයකින් යුක්ත වූවෙක්ම පමණක් වනු ඇත.

එසේම නිරාගමිකයන් සමාජ මාධ්‍ය ජාලා මගින් දිගින් දිගටම වාග් ප්‍රහාර එල්ල කරන්නා වූ තවත් කරුණක් නම් බුදු දහම තුළ සිදුකරනු ලබන වෙහෙර විහාර තැනීම් හා අනිකුත් පූජාවන්ය. මෙහිදී ඔවුන්ගේ තර්කය වනුයේ එය අපරාධයක් හෝ නාස්ති කිරීමක් බවත් දුප්පත් දරුවන්ට හෝ පිළිකා රෝහල් වැනි ස්ථාන සඳහා දන් දිය යුතු බවත්ය. බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් හට ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා යන පූජා විධි ක්‍රම දෙකම අනුදැන වදාළ සේක. ඒ අනුව ආමිස පූජා ලෙස ශාරීරික, පාරිභෝගික, උද්දේසික ලෙසින් ඇති බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා, බුදු පින්තූර, බුදුපිළිම, බුද්ධාදී උතුමන් විසින්ම භාවිතා කරන ලද උපකරණ පිදීම ද, එසේම පරිභෝග කළ ස්ථානයන් පිදීම වැනි පූජා විධි සහ එසේම ප්‍රතිපත්ති පූජාවන් ලෙස උන්වහන්සේ විසින් දෙසා වදාරන ලද ධාර්මික ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කිරීම ශ්‍රාවකයා විසින් සිදු කළ යුතු බවට අනුදැන වදාරන ලද්දේය.

එසේම, “තුන් සිත පහදාගෙන දුන් දානය – උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය” ලෙසින් ආදි බෞද්ධයන් පුරාණයේ සිටම පිං තකා ත්‍රිවිධරත්නයට උපහාර පිණිස දන් පැන් දෙනු ලැබූ අතර එසේ සිදුකරනු ලැබුවේ ද ඉහත සඳහන් කළා වූ පින් කැමති ආමිස පූජාවෙහි හා ප්‍රතිපත්ති පූජාවෙහි නියුතු පුණ්‍යවන්තයෝමය. එසේම මෙහිදී ඉදිරිපත්වෙන වැදගත්ම කාරණාව නම් යමෙකු හට නිර්ලෝභීව දන් දීමක් කුසල සිතකින් තොරව සිදු කළ නොහැකි වීමය. එනමුදු හාස්‍යජනක කරුණ වනුයේ නිරාගමිකයන් දැඩි ලෙස වාග් ප්‍රහාර එල්ල කරද්දී පවා දරුවන්ට, ජනතාවට, රෝහල් වැනි ස්ථානයන්ට දන් පැන් දෙනු ලබන්නේද ඉහත කී පින් කැමති පුණ්‍යවන්තයෝම වීමය. පුද්ගලිකව අධ්‍යයනය කරනු ලැබ බැලුවහොත් පෙනී යන කරුණක්නම් නිරාගමිකයන් යැයි කියාගන්නා වූ පිරිස් පව් පින් විශ්වාස නොකරන්නාවූ දශ වස්තුක මිත්‍යා දෘෂ්ඨින්ගෙන් හෙබි අදමිටු මඟක ගමන් ගන්නා පිරිසක් බවය. එනිසා පින්තකා හෝ කරුණා මෛත්‍රී සිතුවිලි පෙරදැරි කරගෙන හෝ ලෝභය අත්හැර දන්දීමක් ඔවුන් තුළ විරල වීම අප කාටත් නොරහසකි.

කෙසේ වෙතදු තුන් ලොවක් සනසා වදාළ වූ අප අමාමෑණී සිද්ධාර්ථ ගෞතම සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් අවබෝධ කොට දෙසා වදාරන්නට යෙදුණාවූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ට ද්වේශ කරමින් මෙලෙස නිර්ලජ්ජි අසාර්ථක පරිභවයන් දියත් කරන නිරාගමිකයන් යනු හුදු ස්වකීය ලබ්ධිය තකා පව් පින් නොමැත, දීමෙහි විපාක නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්ත්වයෝ නැත, ලෙසින් මිත්‍යාදෘෂ්ටීන්ගෙන් ගහන ගත් පිරිසක් බව මෙයින් පැහැදිලිය. ඒ අනුව කෙතරම් තර්ක කළද ආගමකට අයත් නැතිය යන රාමුවෙන් පිටතට පැමිණි විවෘතව ලොව අවබෝධයෙන් බැලූ විට උච්ඡේදවාදී දෘෂ්ඨියෙන් සහ ශාස්වතවාදී දෘෂ්ටි ග්‍රහණයට ඔවුන් නතු වී තිබෙන බව දැකගත හැකිවනු ඇත. කාලානුරූපීව රැල්ලට නොගොස් අධ්‍යයනයෙන් බුදුදහම හදාරා, අධ්‍යයන විරහිතව ආක්‍රෝශ පරිභව කොට ස්වකීය හේතු සම්පත් නොනසා ගන්නේ නම් මැනවි.

කර්මය සහ කර්මඵල විශ්වාස නොකිරීම, තම තමන්ගේ පහසු විවරණය තකා පමණක් සිදු කරන නිරාගමිකයන්ගෙන් කර්මය කර්මඵල කියා යමක් ලොව නොමැති නම් පුද්ගලයන් තුළ වේමත්තතාවයක් ගොඩනැඟී ඇත්තේ මන්දැයි ප්‍රශ්න නැඟීමෙන්ම නිරුත්තර වී යන අයුරු බොහෝ විට දැකගත හැකි වන්නේ සැබැවින්ම “…කම්මස්සකා මානව සත්තා, කම්ම දායාදා කම්ම යෝනී කම්ම බන්ධු කම්ම පටිසරණෝ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතාය…” යන ලෙසට බුදුරදුන් වදාළ ලෙස සියලු සත්වයෝ කර්මය උරුම කොට කර්මය උත්පත්තිය කොට කර්මය ඥාතියා කොට කර්මය පිළිසරණ කොට ඇති අතර කර්මය විසින් සත්වයාගේ හීන ප්‍රණීත බව බෙදනු ලබන නිසාවෙනි. මෙම හීන ප්‍රණීතතාවය යනු දුප්පත් පොහොසත් බව පමණක් නොව සියලු කරුණෙහි හීනප්‍රණීතතාවය වන්නේය. මෙලෙස හීන ප්‍රණීතතාවයක් ඇත්තේ ඇයිද?, ඒ සඳහා බලපාන හේතුව කුමක් ද යැයි දැක්වීමටද නොහැකි නිරාගමික යැයි කියාගන්නා අන්තවාදී මතවාද දරන්නවුන් සැබැවින්ම බුදු දහමට අනුව මෝඝ පුරුෂයන් ලෙස හැඳින්වීමේ වරදක් නැති බව හැඟී යයි.

මෙම කරුණු අනුව සලකා බලන විට නිරාගමිකයා බුදු දහමට ගරහා කිරීම යන කාරණාව අනධ්‍යනයෙන් කරළියට නැගී ආවක් බවත්, ස්වකීය පටු අරමුණු හා නින්දිත චින්තනයන් ඉටු කර ගැනීමේ චේතනා පූර්වකව බුදු දහම කෙරෙහි ද්වේෂ මූලිකව කටයුතු කිරීමක් බවත්, ඔවුන්ගේ කතිකාවත හරසුන් පිළිවෙතකින් යුක්ත වූවක් බවත් මෙයින් පැහැදිලිය. එමෙන්ම අවසන කරුණු සහිතව බුදු දහම අධ්‍යයනය කරනු ලබන්නා වූ ලොව කවරෙක් වුවද ඉන් මතු නිරාගමිකයෙකු හෝ අන්‍යාගමිකයකු නොවෙනු ඇත. මන්දයත් ලොව ඇති එකම සත්‍ය ගැබ් වී ඇත්තේ නිර්මල බුදුදහම තුළ බැවිනි. එසේම එලොව නොව මෙලොවදීම පසක් කළ හැකි දහමක් වන බුදු දහම අකාලික දහමක් හා තමා තුළට පමුණුවාගෙන අවබෝධය කරා පියමැනිය හැකි දහමක් වන බව සිහි තබාගත යුතුය. ඒ අනුව අවසානයේ නිරාගමිකයන් අතාර්කිකව අනවබෝධයෙන් සිදු කරනු ලබන මෙවැනි විවේචන හමුවේ සැබෑම බෞද්ධයන් ලෙස උපේක්ෂාවෙන් ඔවුන්ට අනුකම්පා කිරීම හැර අන් කිසිවක් නොකළ යුතු බව මෙයින් පැහැදිළි වන්නේය.

ඩබ්. වී. ධනංජය ලක්මාල් වටපොත

advertistmentadvertistment
advertistmentadvertistment