නිල්ගල ඖෂධ වනය අනතුරේ

232

වනාන්තර විනාශයන් පිළිබඳ පුවත් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ. ඒ සෑම පුවතකම ඇති තතු කිරා මැන බැලීමකින් තොරව පරිසරය රැුක ගැනීමට මුල පිරිය නොහැකිය. වැඩිවෙන විරෝධතා හෝ සමාජ මාධ්‍ය කැළඹීම් ආදී කිසිවකින් තවමත් එක් ගසක් හෝ රැකගන්නට හැකි වී ඇත්දැයි සැක සහිතය. මහා රූස්ස ගස් පොළවට සමතලා කොට තිබෙන ආකාරය ඡායාරූපයෙන්, විද්‍යුත් මාධ්‍යයෙන් දැක ‘අනේ අපොයි’ කියා කම්පා වීමෙන් පමණක් පරිසරය ආරක්ෂා කළ නොහැකිය. ඊට එරෙහිව නැගී සිටින්නට, ක‍්‍රියාකාරී වන්නට සේම නිර්මාණාත්මක ආකාරයෙන් විසඳුම් සොයන්නට ද ඉදිරියේ දී අපට සිදුවනු ඇත.

නිල්ගල ඖෂධ වනය අනතුරේ

නිල්ගල වනාන්තරය යනු ඌව පළාතේ මොනරාගල දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති විශාලතම සහ වැදගත්ම වනාන්තරයකි. එබැවින්ම එය නිරන්තරයෙන් ම මිනිසුන්ගේ හානි කිරීම්වලට සහ පොරෝපහරට බඳුන්වන්නකි. 2014 වර්ෂයේ නිල්ගල වනාන්තරයේ වටිනා රූස්ස ගස් දැව ජාවාරම්කරුවන්ගෙන් බේරා  ගැනීමට දැරූ සියලූ උත්සාහයන් ව්‍යර්ථ වූ තැන පරිසරයට හිතැති ගම්වැසියන්ට හා පරිසර සංවිධානවලට ද වෙනස් මගක් අනුගමනය කිරීමට සිදුවේ. ගස් දහසක් පැවිදි කිරීමේ අදහසට පරිසර සංවිධාන ඇතුළු ප‍්‍රදේශවාසීන් එළඹෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසයි. 2014 වර්ෂයේ ජනවාරි 11 වන දින නිල්ගල වනාන්තරයේ අක්කර අනූව හා දිඹුල්දෙන  ගම්මාන ආශ‍්‍රිතව පළමු වරට ගස් පැවිදි කිරීමේ විශාල පිංකමක් සිදුවේ. මහා සංඝරත්නය, සොබාදහම පිළිබඳ ක‍්‍රියාකාරී බෞද්ධ සහයෝගීතාවය, පරිසර යුක්ති කේන්ද්‍රය, ශ‍්‍රී ලංකා පරිසර සම්මේලනය සහ ගම්වැසියන් විසින් මූලිකත්වය ගෙන සිදු කරන ලද මෙම විශාල කර්තව්‍ය සඳහා අවට වෙහෙර විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලාගේ පූර්ණ සහය ලැබී ඇත.

නිල්ගල ඖෂධ වනය අනතුරේ

ගස් දහසක් පැවිදි කිරීමේ කාර්යයට සක‍්‍රීය ලෙස දායක වූ අලූත්වැව හන්දිය කොටබෝව පදිංචි ඞී.එම්. ලොකු බණ්ඩා මහතා, එකී විශාල පිංකම පිළිබඳ මතකය ආවර්ජනය කරමින් සඳහන් කළේ භික්ෂූන් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයයේ සහ අවට දේවාලවල කපු මහතුන්ගේ දේව කන්නලවු මැද, ගම්වැසි පරිසර හිතකාමීන්ගේ සාධු නාද මධ්‍යයේ දහසක් රූස්ස ගස්වල බඳ වටා සිවුරු දවටා ඒවා පැවිදි කිරීමේ කර්තව්‍යය සිදු කළ බවයි. ගස් පැවිදි කිරීමේ කටයුත්තෙන් පසුව ගස් කැපීමේ ප‍්‍රවණතාව සැලකිය යුතු මට්ටමින් අඩු වූ බව ද ඔහු සිහිපත් කළේය.

නිල්ගල වනාන්තරය හෙක්ටයාර 12,432කින් සමන්විත වේ. එය පිහිටා තිබෙන්නේ ගල්ඔය ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි බිබිල ප‍්‍රදේශයේ ය. නිල්ගල යනු මෙරටට අනන්‍ය ජෛව කලාප හතරෙන් එකක් වන ඌව පතන් බිමට අයත්, ජෛව විවිධත්වයෙන් අනූන ප‍්‍රදේශයකි. ලංකාවේ දක්නට ලැබෙන විවිධ පරිසර පද්ධති හා විවිධ වනාන්තර කලාප අතරින් ඉතා පැහැදිලි සවානා වනාන්තරයක් පිහිටා ඇත්තේ නිල්ගල වනාන්තරයේය. අරළු, බුළු, නෙල්ලි, මඩු, ගම්මාලූ, තිඹිර, බිම් කොහොඹ ඇතුළු දුර්ලභ වර්ගයේ ඖෂධ සහිත ස්වභාවික ඖෂධ උයනක් වන අතරම මෙරට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ රැුසකට ද නිජභූමිය වේ. එසේම ශ‍්‍රී ලංකාවේ රුපියල් විස්සේ නෝට්ටුවේ වම්පස දක්නට ලැබෙන නිල්ගල සමනලයා දක්නට ලැබෙන්නේ මෙම නිල්ගල වනාන්තරයේ දී පමණි.

නිල්ගල වනාන්තරය ඉතිහාසයේ වරින්වර විවිධ වගාවන් සදහා ඉඩම් කොල්ලකෑමට ලක් වී ඇත. 1990 දී අන්නාසි වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් ද, 2007 වසරේ දී උක්වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් ද ඉන් පසුව බඩඉරිඟු වගාව වෙනුවෙන් ද වරින් වර දැඩි ඉඩම් කොල්ලයට ලක් වී ඇත. මේ සෑම අවස්ථාවකම බලය හිමි පිරිස් සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ උවමනාව මත වනාන්තරය හුදෙක් තම ග‍්‍රහණයට ගත්තේ නිල්ගල අවට ගම්වාසීන්ගේ හෝ අවට ප‍්‍රජාවගේ අයිතිවාසිකම් හෝ අවශ්‍යතා පිළිබඳ මදකුදු සැලකිල්ලක් නොමැතිවයි. නිල්ගල වන විනාශය පිළිබඳ පසුගිය වකවානුවේ නැවතත් කතා බහක් ඇති වී තිබේ. වනාන්තරය තුළ අක්කර ගණනක් බැලූ බැලූ අත නීති විරෝධී ලෙස බඩ ඉරිඟු වගා කොට තිබේ. වන පෙත තුළ නීති විරෝධී වගා කිරීම්වලට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන, ඔවුන්ට නෙරපීම් නියෝග නිකුත් කර තිබුණ ද ඒ කිසිවෙකු වනය හැරගොස් නොතිබුණි. කුඩුම්බේරිය හෙවත් බීඩි කොළ ලබා ගැනීම සදහා කැලෑ ගිනි තැබීම, ඖෂධීය ගස්වල අතු කපා දැමීම, ඖෂධ පැළෑටි ජාවාරම නිල්ගල වනාන්තරය තුළ මෙය ලියන මොහොතේත් සිදුවන්නකි. වනාන්තරය තුළ පිහිටා ඇති නීති විරෝධී බෝග ඉඩම්වල භාවිතා වන කෘෂිකාර්මික යෙදවුම් මඟින් වනාන්තරයෙන් ආරම්භ වන ජල උල්පත් ¥ෂණය විය හැකි අතර එමඟින් පහළ ප‍්‍රජාවන්ට ගලා යන ජලය අපවිත‍්‍ර වේ. කෘෂිකාර්මික කටයුතු සඳහා වනාන්තර කපා දැමීම වනාන්තරයේ වැඩෙන වටිනා ගස් විශේෂ අහිමි වීමට හේතු වේ.

නිල්ගල වන රක්ෂිතය සේනානායක සමුද්‍රයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස ක‍්‍රියා කරන බැවින් වනාන්තර ආක‍්‍රමණය හා විනාශයන් වනාන්තරයේ ජල මූලාශ‍්‍ර කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැකිය. ජල පෝෂක වනාන්තරයක් ලෙස එහි ඇති වැදගත්ම නිල්ගල හා ඒ අවට ප‍්‍රජාවට පමණක් නොව වනාන්තරයෙන් එපිට දුර බැහැර ප‍්‍රදේශ රැුසකට ද ඉතාමත් වැදගත් වේ. වනාන්තරය තුළ වන අලි සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවත් වන අතර වනාන්තරය තුළ මිනිස් ක‍්‍රියාකාරකම් වැඩිවීම යනු අලි මිනිස්

ගැටුමට මග පාදන්නකි. වනාන්තරය තුළ ඇති බඩඉරිඟු හේන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා තැන් තැන්වල උගුල් අටවා තිබෙනු එහි ගිය අපිට දක්නට ලැබුණි. නීති විරෝධී වැවිලිකරුවෝ වනාන්තරයට අයත් ඉඩම් හෙක්ටයාර 200කට අධික ප‍්‍රමාණයක කැලෑ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටිති. නිල්ගල වනාන්තරය අවට ඇති කොටබෝව ග‍්‍රාමීය ප‍්‍රදේශය නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වැඩිම බලපෑමට ලක්වන ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයකි. කෙසේ වෙතත් මෙම ප‍්‍රදේශයේ මුල් පදිංචිකරුවන් සඳහන් කරනුයේ වගා කටයුතු සඳහා තමුන්ට පවතින ඉඩම් සීමා සහිත බවයි. ප‍්‍රදේශයේ මුල් පදිංචිකරුවන් සමග සාකච්ඡුා කිරීමේ දී පැහැදිලි වූ විශේෂ කරුණක් වූයේ නිල්ගල පරිසර පද්ධතියේ වටිනාකම් ආරක්ෂා කර ගනිමින් ස්වකීය ජීවිකාව සිදු කර ගෙන යෑමේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් බවයි.

වැඩිවන ජනගහනය සමග මූලික අවශ්‍යතා සපුරා  ගැනීම වෙනුවෙන් මිනිසා පරිසරය සමග සිදු කරන පොර බැදීම සදාකල්හිම පවතී. පරිසරය කොපමණ මට්ටමකින් මිනිස් ප‍්‍රයෝජනයට ගත යුතුද, කුමන මට්ටමකින් පරිසර පද්ධතිය ආරක්ෂා වී තිබිය යුතුද යන එකඟතාවයකට එළැඹිය යුතුය. තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමේ දී එවැනි ප‍්‍රවේශයක් වැදගත් වනු ඇත. වනාන්තරයේ කවර ප‍්‍රදේශයක් කුමන කොන්දේසි යටතේ මිනිස් කටයුතු සඳහා නිදහස් කරන්නේ ද යන්න සේම පරිසරයේ සංවේදී කලාප ආරක්ෂා කර ගැනීම උදෙසා උපරිම ක‍්‍රියාමාර්ග ගැනීම දක්වා නිසි නියාමනයක් තිබිය යුතුය. නිල්ගල වනාන්තරය රටේ සමස්ත පරිසර පද්ධතියට දක්වන දායකත්වය සැලකීමේ දී එය ආරක්ෂා කර ගැනීම වැදගත්වන්නේ නිල්ගල අවට ජනතාවට පමණක් නොවේ.

පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම තනි පුද්ගලයකුට හෝ ආයතන පද්ධතියකට පමණක් තනිව සිදු කළ නොහැකිය. ඒ සඳහා සාමූහික ප‍්‍රයත්නයක් අවශ්‍ය වේ. නිල්ගල වන පෙත ආරක්ෂා කරගැනීමට එදා ගත් මග අදට වලංගු වේදැයි සැක සහිත නමුත් එය ආරක්ෂා කර ගන්නට අප අපොහොසත් වුවහොත් වටිනා පරිසර පද්ධතියක් විනාශ වීමට ඉඩ හැර බලා සිටීමේ විපාක පොදුවේ අප සියලූදෙනාට විඳින්නට සිදු වන බව නම් නොඅනුමානය.

නිල්ගල වනාන්තරය තුළ සිදු කළ අධ්‍යයන සංචාරයක් ඇසුරිනි.

වසන්ති රාජපක්ෂ
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment