නිල් අගස්ති මාලය

126

කෘතිය – නිල් අගස්තිමාලය
කර්තෘ – සීතා මහේන්ද්‍ර
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සමාගම

උත්තම වූ මවක සමාජයට ගෙන ආ සාරගර්භ පණිවිඩයකි. කෘතියේ අන්තර්ගතය සැකෙවින් නම් දැක්විය හැකි නොවේ. ශ්‍රේෂ්ඨ මවක පිළිබඳ අපදානයක්ද පිළිතුර විය හැක්කේ විකල්ප වර්ගයේ කෘතියක් බවයි. යහපත් ගුණාංග රැගත් සංසිද්ධීන් පෙරදැරි කරගත් චමත්කාර ජනක කතා පෙළකි. අනුස්මරණීය කෘති (Memories)යනුවෙන් හඳුන්වාදිය හැකි මේ කෘතිය සංවාදශීලි කතා සංග්‍රහයකි. සත්‍ය සිදුවීම් පෙළකින් නිවැරදි සමාජ ව්‍යුහයක් ගොඩනැඟීමට අවශ්‍ය චින්තනයක් ගොඩනඟා තිබෙනු දැකිය හැකි ය. කලක් තිස්සේ විශ්ව සාහිත්‍ය කෘතීන් රැසක් සිංහල බසට පරිවර්තනය කර ඔබ අතට පත් කළ ස්වතන්ත්‍ර නිර්මාණ රැසක් ද සමාජයට දායාද කළ එතුමිය සම්මානනීය ලේඛිකා සීතා මේහ්න්ද්‍ර නම් වේ.

ස්වභාව ධර්මයට ආදරය කරමින් එම පරිසරයට ම අනුගත වී ඇය ඉදිරිපත් කළ ලේඛනය අසිරිමත් ය. ගල් තලාවයක හිඳ ආවර්ජනය කළ මවකගේ කාරුණික ක්‍රියා කලාපයන් පෙළක් ලෙස මෙම ලේඛනය මම දකිමි. එමගින් ප්‍රායෝගික ගුරුහරුකම් රැසක් සමාජයට දායාද කෙරේ.

මෙහි ඇතුළත් කතා කියවීම සුන්දර ලොවකි. ජීවන අත්දැකීම් මත ගොඩ නැඟුණු ඥාන දායාදයකි. මෙහි ඇතුළත් යහපත් ගුණාංග අප උරුම කරගත යුතුය. මෙහි කතා නායිකාව වන මවුතුමිය ගුරුවරියකව සිට රුවන්වැල්ල බාලිකා විiාලයෙහි ද පියන්විල කඩවත මහාමායා බාලිකා විiාලයේ ද සේවය කළ විදුහල්පතිනිය යි. නිට්ටඹුවට ආසන්න මීවල නම් ග්‍රාමයෙහි වැදගත් පවුල් පසුබිමක ඇය ජීවත් වූවා ය. වරක් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා විදුහල්පතිනියක ලෙස ඇයගේ සමාජ ක්‍රියාකාරිත්වය ඇගයීමට ලක් කළේ ය. නිවෙසට ද පාසලට ද සීමා නොවූ ඇය 1950 දශකයේ බස්නාහිර පළාත් මහිලා සමිති සභාපතිනියව ද කටයුතු කළා ය. තමනුත් සතුටු වී අන්‍යයනුත් සතුටින් තැබීමේ නියාම ධර්මය ඇගේ පිළිවෙත විය.

නොනවත්වා කියවිය හැකි රස කතාගුලක් සේම අප විසින් ඉටු කළ යුතු කාර්යන්හි සිත ගිල්වා තබන කෘතියකි මෙය. ගෘහණියක සේ ද දියණියකසේ ද මවකසේ ද එමතු නොව, පුරුෂයකුගේ ද දිවිය ආලෝකමත් කරන ග්‍රන්ථයකි නිල් අගස්ති මාලය. වත්මන් සමාජයේ දරුවන් නවදෙනෙකුගේ චර්යාමය සුබ සිද්ධිය කෙසේ ඇති කළ හැකි ද එය ඉතා දුෂ්කර ක්‍රියාවකි. කෘතියෙහි මෙවන් සඳහනකි.

හරියට ඉගෙන ගත්තේ නැත්නම් ගොලැ පුවක් කාරයින්ට තමයි දෙන්න වෙන්නේ මව නිතර කියයි ඉතිං අපි ඒකට බය නිසා හොඳට ඉගෙන ගත්තා දරුවෝ පවසති.

පාන්දරින් භාවනානුයෝගී වන මව දරුවන් උදෑසන 4.00 ට පොත් කියවීමෙහි නිතර කරවයි.

කතුවරිය තම මව පිළිබඳව මෙසේ සඳහන් කරයි. මෙය ග්‍රීක කියමනකි. ග්‍රීක පවුලක පියා සිතන්නේ තමා පවුලේ හිස බව ය. එහෙත් සෑම පියෙක්ම විශ්වාස කරන්නේ මව පවුලේ ගෙල බව ය. හිස ඔබ මොබ සෙලවීමට හැකියාව ඇත්තේ ගෙලකට ය. යහපත් පවුලක් ගොඩ නැඟීමට මෙවන් පදනමක් ඉවහල් වූ බව කතුවරිය සඳහන් කරයි.

බෞද්ධාගමික යහපත් පරිසරයක දිවි ගෙවූ එතුමියගේ ස්වාමි පුරුෂයාගේ අභාවයෙන් පසු නිවසේ විටින් විට පතිත වූ දේවතා එළිය ඔවුන්ට භාග්‍ය ළගා කර දුන්නේය. මෙවන් ප්‍රාතිහාර්ය ලක්‍ෂණ අපගේ සාම්ප්‍රදායික චින්තනය හා බැඳුණු අප සංස්කෘතියේ දැකිය හැකි පවුල සුරක්‍ෂිත කරවන අංගයන්ය.

දෑසින් දකින්නේ යමක්ද යහපත්මය
දෑතින් පුදන්නේ යමක්ද යහපතක්මය
විහිදුවන්නේ කුමක්ද ගුණ සුවඳක්මය

මෙවන් මාතාවක් ඔබ හඳුනාගත යුතුමය. එපමණක් නොව යමකු මියගිය පසු කම්පා නොවීම පිළිබඳ අර්ථ කථනයක් ද මෙහි ගැබ් වේ. ඒ ආගමික දර්ශනයන්ට විරුද්ධව නම් නොවේ. ඒ ජීවිත සංධ්වනියක නිමාවකි. ඉන් ලැබිය යුත්තේ ප්‍රශාන්තියකි.

තමාගේ එකම දරුවාට දක්වන හැඟීම අන් දරුවන් වෙත ද දැක්විය යුතුය. මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්තා මනුරක්ඛෙ බුදු දහමේ සඳහන් වේ.

මේ උදාර වූ මවට කිසිදු පැනයකට පිළිතුරක් නොතිබුණේ නොවේ, පිරිත යොදාගත් හාස්කම් වූ නිරෝගි භාවය වැනි අධ්‍යාත්මික උසස් මගක්ද කෘතියේ දිව යයි.

සඳ අම්මා වී අහස තලේ
ලොවම මගෙයි කියා සිතා
ලොව සනසන සඳ අම්මා සේ

සුනිල් දයානන්ද කෝනාර සංගීතවේදියා විසින් සංගීතවත් කරනු ලැබ මා ගැයු මා ලියු ගීතයකි මේ

ඇත්තට ම මේ අම්මා එවන් මාතාවකි. මේ ජීවන සාධක සලකා බලනවිට නිල් අගස්ති මාලය මෙකල දිවි ගෙවන හැම කාන්තාවක් විසින්ම සිය ගෙලෙහි පැළඳ ගත යුතු මාලයක් යැයි මට සිතේ.

● ශාස්ත්‍රපති නයනා ශ්‍යාමලි රාජපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment