නිවසකට පැන මුදල් කොල්ලකෑම හා පාරේ ගිය ත්‍රිරෝදයක් ඉස්සීම: හරක් කටාට එරෙහි නඩු විභාගය ඇරඹේ

34

තවත් පුද්ගලයකු සමග බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවී ගිනි අවියක් පෙන්වා එම නිවසේ අල්මාරියක තිබූ රුපියල් 20,000 ක මුදලක් පැහැරගෙන යෑම හා මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් පැහැරගෙන යෑමේ චෝදනා එල්ලවී ඇති මේ වනවිට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදී ආරම්භ කළේය.

එම නඩුවේ පැමිණිල්ලේ පළමු වන සාක්‍ෂිකරු ලෙස නම් කර සිටින මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලික බස් රථ හිමිකරුවකු වන අනුර පාලිත පෙරේරා නමැත්තා පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි ලබා දුන්නේය. 2015.06.10 වන දින තමා සිය නිවසේ පිටුපස පිහිටි ළිඳ අසල මුහුණ සෝදමින් සිටින විට ගේට්ටුව දෙසින් ශබ්දයක් ඇසුණු බවත් ඒ පිළිබඳව විපරම් කරන විට ගෙවත්තට පුද්ගලයන් දෙදෙනකු පැමිණ තිබූ බවත් පැවැසූ සාක්‍ෂිකරු ගිනි අවියක් අතැතිව සිටි පුද්ගලයා තම හිසට එම ගිනි අවිය එල්ල කර තමා නිවස තුළට රැගෙන ගොස් අල්මාරිය ඇද එහි තිබූ රුපියල් 20,000ක මුදල ගත් බවත් පැවැසීය.

ගිනි අවිය අතැතිව සිටි පුද්ගලයා අද දින මෙම අධිකරණය හමුවේ නොමැති බවත් අධිකරණය හමුවේ සිටින පුද්ගලයා එදින තම නිවසට පැමිණි පුද්ගලයන් දෙදෙනා අතරින් එක් අයකු බවත් සාක්‍ෂිකරු ප්‍රකාශ කළේය. පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම පුද්ගලයන් දෙදෙනාම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේ දී තමන් හඳුනාගත් බව පැවැසූ සාක්‍ෂිකරු අධිකරණයේ විත්ති කූඩුවේ සිටිනුයේ ඉන් අයකු වන බවත් මේ වනවිට ඔහු රැවුල වවාගෙන සිටින නමුත් එකල ඔහු තරුණ අයකු බවත් පැවැසීය.

මා ළිඳ ළඟ මුහුණ සෝදමින් සිටියා. බිරිඳත් ඒ එක්කම රෙදි සෝදමින් සිටියා කියා පොලිසියට ලබාදුන් මුල් ප්‍රකාශයේ සටහන් වී ඇති නම් එය පිළිගන්නේදැයි විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේය. මුල් තොරතුරු සටහන් පොතේ සටහන් වී ඇති වචන හතරක් පොලිසිය විසින් තම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ උද්ධෘතවල සටහන් වී නොමැති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වාදුන්නේය. පොලිස් සටහන් පොතේ ඡායාස්ථ පිටපත් විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙසට පොලිසියට නියෝග කළ විනිසුරුවරයා එම සටහන් උපයෝගී කර ගනිමින් විත්තියට සාක්‍ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවසර ලබා දුන්නේය. විත්තියේ වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම සඳහා එම නඩුව ලබන පෙබරවාරි 13 වැනිදා යළි කැඳවීමට දින නියම කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තියේ නීතිඥ අරුණ මධුශංක මහතාට මෙම නඩුකරය සඳහා උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය අවසරය ලබාදෙන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළේය. ඉදිරි නඩු දිනයේදී එම විත්තිකරුව විධිමත් ආරක්ෂාවක් සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

ඉදිරි නඩු දිනයේ දී අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට ද විනිසුරුවරයා පැමිණිල්ලේ පළමු හා දෙවන සාක්‍ෂිකරුවන්ට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment