නිවසේ භූමියේ දියුණුව සලසන බහිරව පූජාව

273

“මේ ගෙදරට කොච්චර සල්ලි ගෙනාවත් පහුවදාට එක රුපියලක්වත් ඉතුරු කරන්න විදියක් නෑනේ අනේ මන්දා හොයන සල්ලි බහිරවයා ගිලිනවාද කියලා”

මෙවැනි කියමන් අපි කොතෙක් අහලා තියෙනවාද සමහර නිවෙස්වල විශාල ධන හානි, සොරසතුරු පීඩා, දිනෙන් දින පරිහානියට පත්වීම්, නිවසේ ඉදිකරන්න භූමිය හෙළිපෙහෙළි කළ දිනයේ සිට කරදර, බාධාවන් ඇතිවේවි. නමුත් ඒවා නොසලකා මුල්ගල තබා අත්තිවාරම දැමුවද නිවස අත්තිවාරමට පමණක් සීමාවුණ භූමි කොපමණ ඇද්ද? සමහර අත්තිවාරම් සොයාගැනීමටත් නොහැකි ලෙස කැලය වැවී පවතී. සමහර නිවාස බිත්තිවලට පමණක් සීමාවී වහලයක් නැතිව පැවතීම, තවත් නිවාස වහලයක් තිබුණත් වහලයෙන් වැඩ නැවතී කැලෑ වැදී පවතී. මේවාට හේතු සාධක කරුණු අතර බහිරව පූජාවක් පවත්වා භූමියේ, නිවසේ, ආරක්‍ෂාවක් නොකර සිටීමද හේතුවන අවස්ථා ඇත. එසේ නම් කවුද මේ බහිරවයන් යන්න සොයා බලමු. වාස්තු විද්‍යාවේ ආරම්භයේ පටන්ම ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට මෙම මහපොළොවේ උරුමය, ආරක්‍ෂාව, අයිතිය, බලය ඇති එකම හිමිකරුවන් වන්නේ බහිරවයන්ටයි. බහිරව උපත ගැන කීමේදී

  1. පුරාණ රජවරුන් තම වස්තුව ගණය නිදන් කර ඒවා ආරක්‍ෂා කිරීමට කවුරු හෝ පුරවැසියකු ඝාතනය කර එම ස්ථානයේ වළ දමා බහිරවයෙක් වශයෙන් උපත ලද වස්තුව ආරක්‍ෂා කරන්නා බහිරවයෙකි.
  2. පොළව මහී කාන්තාවගේ පිරිවර වශයෙන්ද බහිරවයන් සැලකේ. නිවසක් තැනීමට භූමියේ කරන කැණීම් නිසා ඔවුන්ට හිරිහැර සිදුවන බව පැවසේ.

කෙසේ වුවද නිවසක් සෑදීමේදී අවස්ථාවන්

03 කදී මෙම බහිරවයන් උදෙසා පූජාවන් පැවැත්වීමෙන් බහිරවයන්ගෙන් මනුෂ්‍යයාට සිදුවන බාධා, කරදර විපත් වලින් ආරක්‍ෂාවීමට හැකි බව පැවසේ.

  1. නිවසේ වැඩකටයුතු ඇරඹීමට පෙර
  2. නිවසේ වැඩකටයුතු අවසන් කර පදිංචි වීමට ප්‍රථම
  3. නිවසේ පදිංචි වීමෙන් පසුව

විශ්වයේ පවතින පංච මහා ධාතූන්ගේ (ආපෝ, තේජෝ, වායෝ, පඨවි ආකාශ) පඨවි හෙවත් මහපොළොවේ උපන් ජීවත්වන මනුෂ්‍යයාට සතුටින් ජීවත්වීමටත් සෞභාග්‍ය පිරි නිවසක් ඉදිකිරීමෙන් වාසය කිරීමටත් මෙම බහිරවයන් වෙනුවෙන් බහිරව පූජාවන් පැවැත්විය යුතු යැයි වාස්තු විද්‍යාවේ සඳහන් වේ. එසේ බහිරවයන් වෙනුවෙන් පුද පූජා නොපවත්වා නිවසක ඉහත අවස්ථාවන් 03 ම නොසලකා වාසය කළද බහිරවයන්ගේ ශාප කිරීම් නිසා බොහෝ විනාශකාරී දේ වේ.

  1. නිවසක් තැනීමට ආරම්භ කළ ද එය ගෙපල කැණීමෙන් පමණක් අවසන් වන අවස්ථා ඇතිවීම. සමහර විට අත්තිවාරම දැමුවද කලකින් අත්තිවාරමට පමණක් නිවස සීමා වී කැලෑවට යෑම.
  2. අත්තිවාරමෙන් භාගයට පමණක් බිත්ති එසවීම සීමාවීම. නැතිනම් වහලේ මට්ටම පැමිණ පසු පාළුවට යෑම වල් බිහිවීම.
  3. වහලය ගසා මූලික අදියර අවසන්වීමෙන් පසුව ඉතිරි කොටස් අවසන් කරගැනීමට නොහැකිව නිවස පාළුවීම.
  4. නිවසේ වැඩ පටන් ගත් කාලය අතරතුරේ ගෘහ හිමියා ඔත්පල වීම, හදිසි අනතුරකට ලක්වීම, නිවස අතහැරයාම, සුව නොවන රෝගයක් සෑදී මියයාම, රිය අනතුරකට භාජනය වීම, මරණය.
  5. බහිරව පූජාවක් නොදී නව නිවසක පදිංචිවීමෙන් පසු නිවස හොර සතුරන් මංකොල්ල කෑම, නීතියේ රැහැනට හසුවීම, කොච්චර හෙව්වත් මුදල් නැතිවීම, ධන හානි, හදිසි විපත් ආදිය ඇතිවීම.
  6. පවුල් පිටින් හදිසි අනතුරුවලට භාජනය වී මියයෑම.
  7. හෘදබාධ නිවසේ සැමියාට, බිරිඳට වැළඳීම හදිසි මරණයට පත්වීම.

මෙවැනි අශුභ කනගාටුදායක සිද්ධීන් වලට මුහුණදීමට සිදුවේ. බහිරව පූජාවක් නොදීම ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච බලවේග කේන්තියට, වියරුවට පත්වීමක් ලෙසින් වාස්තු විද්‍යාවේ පෙන්වා දේ. මහපොළවේ මැවුම්කරු වන්නේ මහබඹාය. එය ආරක්‍ෂා කරන්නේ

රැකබලාගන්නේ විෂ්ණු දෙවියන් විසිනි. පෘථිවිය අළු බවට පත්කර විනාශ කිරීමේ හැකියාව පවතින්නේ ශිව හෙවත් ඊශ්වරටයි. පොළොව ආරක්‍ෂාකර ගනිමින් රැකබලාගන්නා බහිරවයන් පුද පූජා බලාපොරොත්තුවෙන් සිටී.

බහිරව පූජාවලදී ප්‍රථමයෙන් සමස්ත දේව මණ්ඩලයටම යහනක් ඉදිකළ යුතුවේ. ඊශ්වර, විෂ්ණු, නාථ, පත්තිනි, කතරගම, ගම්භාර දෙවිවරුන්ටත් සතරවරම් දෙවිවරුන්ටත් මල්, බුලත්, පලතුරු නිසි වේලාවට පුද කළ යුතුය. භූමිය තුළ සිට කවි, ස්ත්‍රෝත්‍ර, දැහැන් කියමින් භූමියේ නිවසේ පවතින භූමිදෝෂ ඉවත් කර දෙන්නැයි විෂ්ණු, ඊශ්වර කාලගම්භාර ඇතුළු සමස්ත දේව මණ්ඩලයෙන් ඉල්ලා සිටිය යුතුය. විශේෂයෙන්ම ගම්භාර දෙවියන් යටතේ සිටින යක්‍ෂ බහිරවයන්ට මල්ගොටුවක් දැහැත් කියමින් බහිරව දෝෂ ඉවත් කරන්න එමගින් ගෘහ හිමියාට දියුණුව සෞභාග්‍ය ලබාදෙන්නැයි කන්නලව් කළ යුතුයි. රාත්‍රී 12 න් පසු බහිරවයන් උදෙසා දොල පිදේනි දිය යුතුයි.

පිරිසිදු නැවුම් මුට්ටි, නැවම් වළංවල උයා පිහා දස බහිරවයන් උදෙසා කුකුල් ලේ ගොටු, බිත්තර, බත්, හත්මාළුව ආදී පුද වර්ග නෙළුම් කොලමත තබා බහිරව මන්ත්‍ර වලින් තටු කැප කළ යුතුය. අටකොනට කථාකර දොල දී දිෂ්ටි කර භූමියේ දිෂ්ටි ඉවත් කර අටකොන දෙහි කපා බහිරව දෝෂ ඉවත් කළ යුතුය.

ඉන්පසු මියපරලොව ගිය ඥාතීන්ට දොල පිදිය යුතුය. බොහෝ අය මිය යෑමේදී තම භූමිය, නිවස ආදී දේපල ගැන ආශාවෙන් මියයයි. යමෙක් කොතරම් පින් දහම් කළත් පුණ්‍යකර්ම සිදු කළද මරණාසන්න මොහොතේ තමාගේ හෝ ඇයගේ චුති සිත අනුව නැවත ප්‍රතිසන්ධානය ඇති කරයි. වස්තුව දේපල ගැන ඇල්මෙන්, ආශාවෙන්, වෛරයෙන් මියයන අය ප්‍රේතයන් වී උප්පත්තිය ලබයි. භූමියක නිවසක ප්‍රේත ආත්මය ලබන්නා ජීවත්ව ඉන්න අයට නොයෙක් හිරිහැර පීඩා ඇති කරයි. එම නිසා බහිරව පූජාව අවසන්වූ සැණින් ප්‍රේත ගොටුවක් නිවසේ පැය 03 ක් පමණ අඳුරු මුල්ලක තබා තුංමංසලක, හතරමංසන්ධියක, දොලක් අද්දර පාන්දර ජාමේ ප්‍රේතයන්ට පිදිය යුතුය.

මේ සියල්ලම අවසන් කර නිවසට පැමිණ නූල් 21 අළු පුහුලේ ගැට ගසා වින බන්ධන වලින් වින කපා, ජප කර භූමියේ ඇති අනවින, කොඩිවින බන්ධන, කපාදැමිය යුතුය.

ඉන් අනතුරුව භූමියේ හා නිවසේ 04 කොන් ආරක්‍ෂා මුට්ටිවල කලින් පිළියෙල කරගත් ආකාරයට ගඟේ වැලි, මුහුදේ වැලි, ගඟේ ගල්, ඉඟිනි ඇට, කුඹුරු ඇට, ඇත්රූප, පස්ලෝ කූරු, යබර ආදියට අමතරව තඹකොල වල සැකසූ දක්‍ෂිණ ස්වස්තික යන්ත්‍ර 08 ක්ද පිළියෙල කර ආරක්‍ෂක මුට්ටිවලට දමා පියන වසා ප්‍රථමයෙන්ම කපුටන් හැඬලීමට ප්‍රථම නිවසේ 04 කොන එකවරද ඉන්පසු භූමියේ එකවරද වළ දැමිය යුතුය. මුට්ටි වැලලීමට ප්‍රථම, භූමියේ නිවසේ සෑම ස්ථානයකම කලින් සකසන ලද නොපෑගුනු මුහුදු වැලි ඉසින්න.

දේශබන්දු දේශමාන්‍ය විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද ඩබ්. කේ.ඒ.එම්.චන්ද්‍රසිරි
දු.ක.-0777856649
සඳලංකාව

advertistmentadvertistment
advertistmentadvertistment