ජනප්‍රිය හින්දී සිනමා නළු සෙයිෆ් අලි ඛාන් ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි සිය නිවසේ දී ඊයේ (16දා) අලුයම ඔහුගේ නිවස කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුගේ පිහි ඇනුම් ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබේ. ඊයේ අලුයම 2.30ට පමණ මුම්බායි නගරයේ බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි නළු සෙයිෆ් අලි ඛාන්ගේ නිවස කොල්ලකෑම සඳහා එම නිවසට කඩාවැදී ඇති නාදුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ පිහි ඇනුම් ප්‍රහාරයන් හයක් සෙයිෆ්ගේ කොඳු ඇට පේළියේ ආසන්නයන්ට එල්ල කර තිබීම නිසා ඔහු ඊයේ හදිසි සැත්කමකට භාජනය කර ඇති අතර ඔහුට තවත් සැත්කමක් සිදු කිරීමට නියමිත බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සෙයිෆ් ප්‍රතිකාර ලබමින් සිටින ලීලාවතී රෝහලේ බලධාරිහු පවසා තිබේ. කොඳුඇට පේළියට ආසන්නයන් පිහි ඇනුම් ප්‍රහාරයන් එල්ල වී තිබුණ ද සෙයිෆ්ගේ කොඳුඇට පේළියට මෙන්ම ඔහුගේ ඉන්ද්‍රියයන් කිසිවකට හානි සිදුව නොමැති බවද රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. කෙසේ වුවද සෙයිෆ්ගේ කොඳුඇට පේළිය ආසන්නයේ තිබී ඔහුට පිහි ඇනුම් එල්ල කළ පිහියෙහි කොටසක් ශල්‍ය වෛද්‍යවරුන් විසින් ඉවත් කර එය පොලිසියට භාර දී ඇති අතර සැත්කමෙන් පසු සෙයිෆ්ව අධීක්ෂණය සඳහා දිනක කාලයකට දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ.
මෙම පිහි ඇනුම් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සෙයිෆ්ගේ නිවසෙහි සෙසු පවුලේ සාමාජිකයන් සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණීමත් සමග ම පලා ගොස් ඇති බව අනාවරණය වී තිබේ. පිහි ඇනුම් ප්‍රහාරයෙන් තුවාල ලැබූ සෙයිෆ් අලි ඛාන්ගේ එක් තුවාලයක් සඳහා මැහුම් 10ක් යොදා ඇති බවද වාර්තා වී තිබේ. මෙම පිහි ඇනුම් ප්‍රහාරයෙන් සෙයිෆ්ගේ පවුලේ සෙසු සාමාජිකයන්ට හානි සිදු වී නොමැති අතර මුම්බායි පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබේ. ඉව අල්ලන සුනඛයෙකු ද යොදා ගෙන විමර්ශන කටයුතු අරඹා තිබෙන පොලිස් නිලධාරීන් සෙයිෆ්ගේ නිවස අවට පිහිටි අසල්වැසියන්ගේ නිවෙස් ද පරීක්ෂා කර ඇති බව වාර්තා වේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ