නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් අනතුරු ගැන සොයන්න විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න

149

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 21 දෙනකුගේ අත්සනින් කථානායකට ලිපියක්

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 21 දෙනකුගේ අත්සනින් යුතු ලිපියක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙනු ලැබීය.

මන්ත්‍රීවරු 15 දෙනෙකුගෙන් සමන්විත එම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කඩිනමින් පත් කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටී. ඒ අනුව ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න, යදාමිණි ගුණවර්ධන, ඩබ්ලිව්.ඩී. වීරසිංහ, රංජිත් බණ්ඩාර, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ, ගුණතිලක රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, ජගත් කුමාර, මහින්දානන්ද අලුත්ගමගේ, සම්පත් අතුකෝරාළ, නාලක කෝට්ටේගොඩ, සුදර්ෂණ දෙනිපිටිය, කේ.ඒ.යූ.කේ. ගුණතිලක, නිමල් ලාන්සා, එච්.එම්.එම්. හාරීස්, සරත් වීරසේකර, මුදිත ද සොයිසා, එස්.බී. දිසානායක, ප්‍රදීප් උඳුගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාළ ලිපිය සඳහා අත්සන් තබා ඇත. අදාළ ලිපිය මගින් මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ නෞකා අනතුරු සිදුවීම හා අනතුරුවලින් පසුව සිදුවූ මැදිහත්වීම් සහ අඩුපාඩු පිළිබඳ නැවත සමාජයේ දැඩි කතා බහකට ලක්ව ඇති බවයි. එවැනි පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සභාව තුළදී මෙන්ම පිටතදී ද මෙම අනතුරු සහ නෞකා රක්ෂණ සමාගම් අතර සිදුවූ ගනුදෙනු පිළිබඳව හෙළිදරව් කළ බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම අනතුරු සම්බන්ධ සිදුවීම්වල සත්‍ය හෙළිදරව් විය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත්කරන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයාට භාරදුන් ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment