පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන
වසර දෙකකට පෙර අරගලකරුවන් විසින් තමන්ගේ නිවාස ගිනි තැබීම සාධාරණ බව කියන නාමල් රාජපක්ෂ වැනි අය සමග දේශපාලනය කරනවාට වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ බොහෝ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තෝරා ගත් මඟ හොඳ බව එම පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
“2005 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය නොදී සිටීමට කටයුතු කළ අවස්ථාවේ එතුමාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදිය යුතු බවට මුලින්ම යෝජනා කළේ මමයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉතිහාසය දන්නෙ නෑ.
එතැන් සිට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති සෑම මැතිවරණයකදීම කැපවීමෙන් උදව් කර ජයග්‍රහණය කිරීමට කටයුතු කළා.
අනුරාධපුර මගේ නායකත්වයට එරෙහිව කටයුතු කිරීමට පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් මහත්තයා ඇවිත් රැස්වීමක් පවත්වා තිබෙනව. එම රැස්වීමට අඩුම වශයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පහළොවක් ඉන්න ඇති. පාරෙ යන අයත් සමග එහෙන් මෙහෙන් පිරිසක් එකතු කරගෙන රැස්වීම තියල ගිහින් තිබුණා.
එමනිසා සැබෑ දේශපාලනය දැන්වත් දැන ගන්න. ඔය ගමන ඔය විදිහට යන්න බෑ. එමනිසා නැවතත් කල්පනා කර බලා ජනාධිපතිවරණයේ දී වෙනත් අපේක්ෂකයකු නම් කිරීමට ගෙන තිබෙන තීරණය වෙනස් කොට කකුල ආ පස්සට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා.
ඊළග මහ මැතිවරණය පොහොට්ටුවෙන් තරග කොට ජයග්‍රහණය කිරීමට හැකිවෙයි. ඒ ගැන කිසිවකුගෙන් විරෝධතාවක් නෑ. ඒ වගේම මම දැක්කා නාමල් රාජපක්ෂ මහතා කියා තිබුණා ශෙහාන් සේමසිංහ සහ එස්. එම්. චන්ද්‍රසේනලගෙ නිවාස ගිනි තියපු එක හොඳයි කියල. එතුමන්ලගෙ වැරැදි ක්‍රියා කලාපයන් නිසා තමයි එදා අපට එවැනි තත්ත්වයන්ට මුහුණපෑමට සිදු වුණේ කියා මම කියනව. එදා අරගලකරුවන්ට පහර දීමට කටයුතු කිරීම නිසයි අපට එවැනි සිදුවීම්වලට මුහුණ දීමට සිදු වුණේ… මේ වගේ මිනිස්සු එක්ක දේශපාලනය කරනවාට වඩා අපි තෝරාගත් මග හොදයි කියා දැන් හිතෙනව.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු