නිවාස, බිම් කොටස් මිලට ගැනීමේදී වාස්තු ගැනත් සොයා බලන්න

45

කුමන ආකාරයට හෝ පදිංචි නිවසක් මිලට ගැනීමට අදහස් කරගෙන සිටිනවා නම් එම පදිංචි නිවසේ අතීත සිදුවීම් හා එම නිවස විකිණීමට හේතුවන කරුණු සොයා බැලිය යුතුය. මක් නිසාද මහල් නිවාසවල සමහරුන් සිය දිවිනසා ගැනීම, මිනීමැරුම්, නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකළ ස්ථාන පැවතීම ගැන සොයා බැලීම අත්‍යවශ්‍යයි. මේවා මහල් නිවාස සංකීර්ණවල පමණක් නොව අනෙකුත් නිවාසවල ද සිදුවේ. නමුත් නිවාස සංකීර්ණ හා මහල් නිවාසවල මේ තත්ත්වයන් බහුලව සිදුවීම එයට හේතුවයි. එවැනි නිවාස, දෝෂ සහිත වේ.

ඉඩම්, ගෙවල් අලෙවි කරගැනීමට බොහෝ දෙනකු පවරන්නේ තමන්ගේ හිතවත් බ්‍රෝකර් කෙනකුටය. ඒවගේම ඉඩමක්, ගෙයක් මිලයට ගන්න සොයාගැනීමට ද ගැනුම්කරු, බ්‍රෝකර් කෙනකුගේ සහාය ලබාගැනීමට උනන්දුවේ. බොහෝ බ්‍රෝකර් වෘතිය කරන අය තමන්ගේ අම්මට, තාත්තාට, සහෝදරයන්ට පවා ඉඩමක, වාහනයක, නිවසක නියම තොරතුරු දැනසිටිය ද ඒවා අහිතකර තත්ත්වයෙන් පැවතුණ ද ඒ බව සඟවා ගැනීමට උත්සාහ කරයි. විකුණුම්කරු බ්‍රෝකර්ට මෙම නිවසේ, ඉඩමේ තත්ත්වය හරියටම කීවත් බ්‍රෝකර් බලන්නේ ඒ අඩුපාඩුවට ද මිලක් තමන්ට නියම කරගෙන එය සඟවා තැබීමටයි. සියලු බ්‍රෝකර්වරු එලෙස නොවූණ ද බොහෝ අය එසේය. ඒකට හේතුව බ්‍රෝකර් වැඩ සෑම දිනකම හරියන්නේ නැත. ඉඳහිට හෝ කලාතුරකින් වැඩක් ලැබී එය සාර්ථක කරගතහොත් බ්‍රෝකර්ට සෑහෙන කාලයකට ප්‍රමාණවත්ය. ඔහු ගොඩය. මේ ආකාරයට බ්‍රෝකර්වරු විසින් ගැනුම්කරුවන්ට මිලයට ගැනීමට සැලැස් වූ බොහෝ භූමිවල දෝෂයන්ය. නිවෙස්වල දෝෂයන්ය. වාහන ද එසේමය. නමුත් අපේ වාස්තු විෂයට අදාළ වන්නේ භූමි සහ නිවාස, වෙළෙඳ ව්‍යාපාරික භූමි, ගොඩනැඟිලි පමණි. එම නිසා අපි ඒ සම්බන්ධයෙන් පමණක් කතිකා කරමු.

විශේෂයෙන් පැරණි හෝ නව නිවසක් මිලයට ගැනීමට පෙර එහි මිල, ලස්සන, අනෙකුත් පහසුකම්වලට අමතරව වාස්තු සම්බන්ධයෙන් නම් පරීක්ෂා කරගත යුතුමය. මේ සඳහා පළාතේ වාස්තු උපදේශකයකුගේ උපදෙස් මේ සඳහා ගත යුතු අතර සමහර වාස්තුවේදීන්ට පවා භූමි, නිවාස හිමියන්, බ්‍රෝකර් මෙච්චර මුදලක් දෙන්නම්, වැරදි තිබුණොත් කියන්න එපා මහත්තයා කියලා මේ අය කප්පන් දීමට සැරසේ.

ඒ බව කියන්නේ අත්දැකීමෙන් එබඳු දේවලට මම පෞද්ගලිකව මුහුණ දී ඇති නිසාය. නමුත් ඒ වගේ අවස්ථාවක කිසිම වාස්තු ශිල්පියකු තමන්ගේ තමන් උගත් දැනුම මුදලට බොරුවට පවාදෙන්න එපා. නරක දෝෂ පවතින භූමියක්, නිවසක් එලෙස හොඳයි කියා බොරු කියා තවකෙනකු අමාරුවේ දැමීම තමන්ට, තම දරුවන්ට පවා ශාප ගෙන දෙන්නක් වීමට හැකිය.

පදිංචිය සිටි නිවසක් හෝ නව නිවසක් මිලට ගැනීමට පෙර පරීක්ෂා කළ යුතු අවශ්‍යම අංග.

  1. භූමිය

නිවසක් සමහර දේ දෝෂයන්ට හසුව පවතී නම් එය නිදොස් කිරීමේ හැකියාව බොහෝදුරට පවතිනු ඇත. නමුත් භූමියක නම් එම භූමියේ නිවසක් තනා තිබේ නම් හා එම නිවස මිලයට ගැනීමට පෙර බැලිය යුතුම අංගය වන්නේ භූමියයි.

භූමියේ භෞතික හැඩය, ඒ ඒ දිශාවන්ට උස් පහත් වීම බැලීමේදී උතුර, නැඟෙනහිර, ඊශාන දිශාවන් උස්ව පැවතීම, අනෙකුත් දිශා පහත්ව පැවතීම තුළින් එම භූමිය හොඳ භූමියක් කිව නොහැක. නිවස කොතරම් හොඳට නිවැරදි වාස්තු නිගමනයන්ට අනුකූලව ඉදිකෙරී තිබුණ ද මේ ආකාරයට භූමිය, භූ ලක්ෂණ නිසා එහි පවතින සෘණාත්මක සංඛ්‍යාතයන් නිවසේ ධානාත්මක සංඛ්‍යාතයන් ආග්‍රහණය කර කල්ගතවීමේදී නිවස ද දෝෂයට හසුවනු ඇත. ස්වාභාවික භූ ලක්ෂණ මෙන්ම යම් යම් ඉදිකිරීමෙන් පවතින භූමියක් ද යන්නත් බැලීම කළ යුතුය. නිවස අසල අධිබල විදුලි සංඥා කුලුනු පවතී ද අධිබල රැහැන් සහිත විදුලි කම්බි, කණු එම භූමිය ආසන්නයේ පවතී ද ආදාහනාගාර, මිනී කනත්ත එම නිවස ආසන්නමයේ ද කර්මාන්ත ශාලාවල අහිතකර වායු පැතිරීම යන කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය.

නිවස පිහිටි භූමියේ කඩුල්ල (ගේට්ටුව) පිහිටි දිශාව ද සැලකිය යුතුය. යම් හෙයකින් නිරිත දිශාවට ගේට්ටුව පවතී නම් එය වෙනස් කළ යුතු අතර එසේ කිරීම සඳහා අනෙක් සුදුසු දිශාවල ඉඩකඩ ගැන සැලකිලිමත් විය යුතුය. භූමියේ පිහිටි ළිඳ ගැන, එම ළිදෙහි පිහිටි දිශාව, භූමියේ සුදුසු අනෙකුත් ජලමූලාශ්‍ර ඇති දිශාවන් හා ළිඳකට සුදුසු ස්ථාන පවතී ද යන්න බැලිය යුතුය. මේ ආකාරයට භූමිය ගැන පරීක්ෂා කිරීමෙන් අනතුරුව භූමියේ පවතින නොපෙනෙන දෝෂ ශල්‍ය චක්‍රය තුළින් බලා සක්‍රීය ශල්‍ය පවතී ද යන්න බැලීමෙන් ඒවා පරීක්ෂා කර තිබේ නම් ඒවා කොතරම් බලවත් ද හා ඉවත්කර ගැනීමේ හැකියාව පවතී ද නැද්ද යන්න සොයා බැලිය යුතුය.

මීළඟට මිලයට ගැනීමට අදහස් කරන නිවස පිළිබඳව අවධානය යොමු කළහොත් කුමන නිවාස වර්ගයක් ද යන්න තෝරාගත යුතුයි.

  1. නිවාස සංකීර්ණයක පවතින පදිංචි හෝ නව නිවසක්
  2. මහල් නිවාස සංකීර්ණයක පවතින පදිංචි හෝ නව නිවසක් මිලට ගැනීම
  3. නාගරික ප්‍රදේශයක පවතින නිවසක් හෝ අලුතින් ඉදිකළ නව නිවසක් මිලට ගැනීම
  4. ග්‍රාමීය ප්‍රදේශයක පවතින නිවසක් හෝ අලුතින් ඉදිකළ නිවසක් මිලට ගැනීම

කුමන ආකාරයට හෝ පදිංචි නිවසක් මිලට ගැනීමට අදහස් කරගෙන සිටිනවා නම් එම පදිංචි නිවසේ අතීත සිදුවීම් හා එම නිවස විකිණීමට හේතුවන කරුණු සොයා බැලිය යුතුය. මක් නිසාද මහල් නිවාසවල සමහරුන් සිය දිවිනසා ගැනීම, මිනීමැරුම්, නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකළ ස්ථාන පැවතීම ගැන සොයා බැලීම අත්‍යවශ්‍යයි. මේවා මහල් නිවාස සංකීර්ණවල පමණක් නොව අනෙකුත් නිවාසවල ද සිදුවේ. නමුත් නිවාස සංකීර්ණ හා මහල් නිවාසවල මේ තත්ත්වයන් බහුලව සිදුවීම එයට හේතුවයි. එවැනි නිවාස, දෝෂ සහිත වේ. අනෙක් දෙය නම් නිවාස සංකීර්ණවල නිවාස මෙන්ම මහල් නිවාස සංකීර්ණවල ද නිවසේ පවතින දෝෂ ඉවත් කරගැනීම අපහසුය. විශේෂයෙන් මහල් නිවාසවල පඩිපෙළ, සෝපාන, අපද්‍රව්‍ය නළයන් ආදී දේවල් අශුභව පවතී නම් ඒවා වෙනස් කිරීම් කර නොහැක. නාගරික නිවාස මිලයට ගැනීමේදී දකින්නට ලැබෙන දෙයකි, සම්පූර්ණ භූමිය තුළම නිවස ඉදිකර සුළු හෝ ඉඩකඩක් වෙන් නොකිරීමයි. blind walls හෙවත් අන්ද බිත්තිවලට සීමාවීම තුළින් නිවසේ මෙන්ම භූමියේ මධ්‍ය ලක්ෂ්‍යය එකමත පතිතව පැවතීම බොහෝ අශුභ දෙයකි. උතුර, නැඟෙනහිර දිශාවන්වලට පොඩි හෝ ඉඩක් පවතින නිවසක්ම මිලයට ගත යුතුයි. නැතිනම් එම නිවෙස්වලට විශ්ව ශක්තිය ගමන් කිරීම ඇනහිටිනු ඇත. ඒ වගේම ග්‍රාමීය නිවසක් හෝ මිලයට ගැනීමේදී එම නිවසේ දැනට පවතින වාස්තු දෝෂ තත්ත්වයන් නිවැරදිව පරීක්ෂා කර ඒවා නිදොස් කිරීමට වැයවන පිරිවැය ගැන ද අවධානය යොමු කළ යුතු අතර දෙමහල් නිවසක් නම් එම නිවසේ දිවෙන පඩිපෙළ යළිත් වෙනස් කිරීම අපහසුය. ඒවා ගැන අවබෝධයක් ලබාගත යුතුයි. ඒ වගේම මුළුතැන්ගෙය, නාන කාමරය ආදිය යම් නිවසක වැරදි දිශාවන්ට තනා තිබීමත් යම් යම් හේතු සාධක මත ඒවා කිසිම වෙනස් කිරීමකට භාජනය කිරීමට නොහැකිවීමත් ඇත්නම් කොපමණ අඩුවට අලෙවි කළද එම නිවාස ගැනීම අනතුරුදායක වේ. මිලයට ගන්න සූදානම් වන නිවසේ බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය පීඩාවට ලක්ව එය වෙනස් කිරීමට නොහැකි නම් එම නිවස නිකං දුන්නත් නොගත යුතුය. කෙසේ වුවද නිවසක් තමන්ගේ පදිංචියට ගැනීමට පෙර අතීත, වර්තමාන, අනාගත තත්ත්වයන් එනම් පදිංචි වුණු නිවසක් මිලට ගන්නවා නම් එම පදිංචිකරුවන්ගේ අතීතය හා වර්තමානය පිළිබඳවත් නව නිවසක් මිලට ගැනීමට සූදානම් වන විටදී එම නිවසේ වර්තමානය හා අනාගතය, අනාගතයේ මොන මොන බාධාවන්ට මුහුණ දීමට සිදුවේද ඒවාට විසඳුම් පවතීද යන්න සමාලෝචනය කළ යුතුයි.

අවසාන වශයෙන් කුමන ආකාරයක නිවාස වර්ගයක් මිලයට ගැනීමට සූදානම් වුණ ද එම නිවසේ ඉදිකිරීම්, සවිශක්තිය යොදා ඇති අමුද්‍රව්‍ය, ස්වාභාවික හා හදිසි තත්ත්වයකදී පවතින ශක්ති සම්පන්නභාවය පැවැත්ම ගැනද ඒ ආකාරයෙන්ම පරීක්ෂාවට ලක්විය යුතුය. එලෙස සලකා බලා නිවසක් ලබාගැනීමෙන් ඔබ මෙන්ම ඔබේ මතු පරපුරද සුරක්ෂිත වනු ඇත.

නිවාස, බිම් කොටස් මිලට ගැනීමේදී වාස්තු ගැනත් සොයා බලන්න

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
077 785 6649.


advertistmentadvertistment