නිවැරදිව පලාපල බැලුවහොත් අසුබ කාල ද සුබ කරගත හැකිය

257

ජ්‍යොතිෂයට අනුව තම කේන්ද්‍ර සටහන පරීක්‍ෂා කිරීමේදී තම අනාගතය පිළිබඳව නිවැරදි අනාවැකි දැනගැනීම කාගේත් අපේක්ෂාව වේ. නමුත් තම කේන්ද්‍ර සටහනට අනුව කියන පලාපල සිදුනොවීමටත්, යම් කේන්ද්‍ර සටහනකට අනුව කිසිම දිනෙක සඳහන් නොවූ අනාවැකියක් නොසිතූ දිනක, සිදුවීමත් බොහෝ දෙනෙකුට පවතින ගැටලූවක් බවට පත්වී ඇත. මෙම හේතුකාරණා නිසා බොහෝ දෙනාට ජ්‍යොතිෂය පිළිබඳව පවතින විශ්වාසය ද බිඳවැටී ඇත. ජ්‍යොතිෂ ගත්කල පලාපල කියන ක‍්‍රම කීපයක් වේ. එනම් සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂය, නාඩි ජ්‍යොතිෂය, ක‍්‍රිෂ්ණමූර්ති, තක්කාල සහ භාව කේන්ද්‍ර සංකල්පය ආදී ක‍්‍රම කිහිපයක් ඇත. මෙහිදී නොවරදින පලාපල කථනය පිළිබඳව සඳහන් කිරීමේදී ‘‘භාව කේන්ද්‍ර සංකල්පය’’ ප‍්‍රථමයෙන් මතක් කළ යුතුය.

මෙම භාව කේන්ද්‍ර සංකල්පය තුළදී ග‍්‍රහයාගේ ශඞ් වර්ගයම පරීක්‍ෂාවට ලක්වන අතර, සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂයේදී සිදුවන්නේ රාශි හා නවාංශකය පමණක් පරීක්‍ෂාවට ලක්කිරීමයි. මෙහිදී ග‍්‍රහයන්ට අදාළ ශඞ් වර්ගය යනු රාශිය, හෝරාව, දෙර්කාණය, නවාංශකය, ද්වදසාංශක, ත‍්‍රිමංශාංශකය වේ. මීට අමතරව ග‍්‍රහයන්ගේ අවස්ථාවන්, නැකත්, යන කරුණු 2 ද මෙහිදී සැලකිල්ලටගත යුතුය.

මෙහිදී කේන්ද්‍රයක ලග්න ස්ඵුටකය, මිථුනයේ අංශක 20 යි. උපකල්පනය කරමු. එනම් එහි ලග්නය මිථුන වේ. නවාංශකය තුලා වේ. මෙම කේන්ද්‍ර හිමියාගේ පළමුවන භාවය නියෝජනය වන්නේ ලග්න ස්ඵුටකයේ සිට 15 ක් ඉදිරියට හා පසුපසට වේ. එනම් වෘෂභයේ අංශක 17 සිට මිථුනයේ අංශක 17 දක්වා ප‍්‍රදේශය වේ. මෙහි බුධ වෘෂභයේ අංශක 25 සිටියහොත්, සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂයට අනුව එය සටහන් වන්නේ කේන්ද්‍රයක 12වන භාවයේය. නමුත් භාව කේන්ද්‍ර සංකල්පය අනුව බුධ පිහිටන්නේ පළමු භාවයේය. එනම් ලග්නයේය. මෙහිදී බුධ දිග්බල වේ. එම බලය සාම්ප‍්‍රදායික ජ්‍යෙතිෂයට අනුව බැලූ බැල්මට නොපෙනේ. මෙය එක් උදාහරණයක් පමණි. මෙහිදී අනෙකුත් භාවයන් ඒ ආකාරයට ම තීරණය වේ. ඒ භාවයන්වලට අදාළ පලාපල ද නිශ්චිත ආකාරයට ප‍්‍රකාශ කිරීම මෙහිදී සිදුවේ. මෙම ක‍්‍රමය තුළදී භාවය හා ෂඞ් වර්ගය පටලවා ගැනීමක් සිදුනොවේ.

තවත් උදාහරණයක් නම්, කේන්ද්‍ර හිමියෙකුගේ සෙනසුරු ඒරාෂ්ටක සම්බන්ධ ඉහත ආකාරයෙන් ලග්න භාවයත්, අෂ්ටක භාවයත්, චන්ද්‍රභාවයත් ගත යුතුවේ. වෘශ්චික රාශියේ 12 වන අංශකයේ චන්ද්‍රයා පිහිටි අයෙකුගේ ජන්ම ඒරාෂ්ටකය උදාවීම සිදුවන්නේ තුලා රාශියේ අංශක 27 ට ශනි පැමිණි විටය. මෙහිදී ශනි ගෝචර වන්නා වූ නවාංශකය අනුව සෙනසුරු ඒරාෂ්ටකයේ ප‍්‍රතිඵල වෙනස්වේ. එය අවසන් වන්නේ ශනි වෘශ්චික රාශියේ අංශක 27ට ගිය අවස්ථාවේදීය. මෙම සංකල්පය මගින් කේන්ද්‍රයක් පරීක්‍ෂා කිරීමට ගතවන කාලය දීර්ඝ නමුත්, නොවරදින අනාවැකි ප‍්‍රකාශ කළ හැක. තවද සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂයේදී සැලකෙන ග‍්‍රහයෝග, භාව කේන්ද්‍ර සංකල්පයේදී නිශ්චිතවම සිදුවී ඇත්දැයි පරීක්‍ෂණයකට භාජනය වේ. මෙහිදී ඇස රවටන යෝග, පෙන්නුම් කරන දළ කේන්ද්‍ර සටහන භාව කේන්ද්‍රය තුළදී නාම මාත‍්‍ර යෝග බවට පත්වේ. එසේ දළ කේන්ද්‍රයක මහත් අනිටුඵල විපාක දෙන යෝග පෙන්නුම් කරන අවස්ථාවක භාව කේන්ද්‍ර සංකල්පයට අනුව එම කේන්ද්‍රය පරීක්‍ෂා කිරීමේ දී එවැනි යෝගවල කිසිදු බලයක් නොමැති ,ඵලවිපාක නොදෙන යෝග බවට පත්වන අවස්ථාවන් මා දැක ඇත. එයට හේතුව භාව කේන්ද්‍ර සංකල්පයේදී සූක්‍ෂම පරීක්‍ෂාවකට ලක්වීමයි. මෙහිදී විෂය සරලවන තරමට අනාවැකි ප‍්‍රකාශ කිරීම සරලවන අතර, නිරවiතාවය අඩුවේ. නමුත් විෂය සංකීර්ණවන තරම අනාවැකි ප‍්‍රකාශ කිරීමට විශාල කාලයක් ගතවනවා මෙන්ම අසීරු කාරණයක්වන අතර නොවරදින පලාපල නියම ආකාරයට ප‍්‍රකාශ කළ හැකිය.

තවද උදාහරණයක් ලෙස පරිවර්තන යෝගවලදී සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂයේදී, රාශි පරිවර්තන ගැන පමණක් විශේෂ අවධානයක් යොමු කරයි. නමුත් ඉහත සඳහන් කළ ෂඞ් වර්ගයට ම පරිවර්තන ඇත. එසේ ම නැකත් පරිවර්තන ද මහා ධනයෝග නැකත් පරිවර්තනය තුළින් ඇතිවේ. සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂයේදී කිසිදු සුබ කටයුත්තක් සිදු නොවේය යැයි පවසා ඇති කේන්ද්‍ර හිමියන් විශාල වශයෙන් ජයග‍්‍රහණ ලැබූ අවස්ථාවන් කොතෙකුත් ඇත. තවද සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂයට අනුව යම් යම් කාලවලදී ශුභඵල උදාවන බව පැවසූ නමුත් කිසිදු යහපතක් සිදුනොවූ කේන්ද්‍ර හිමියන් ද සිටිති. මෙවැනි දේ සිදුවීමට හේතුවී ඇත්තේ නිවැරදි ආකාරයට හෝ සූක්ෂම ආකාරයට කේන්ද්‍ර පරීක්‍ෂාව සිදු නොවීමයි. තවද විවාහ වීම සඳහා දෙදෙනෙකුගේ කේන්ද්‍ර පරීක්‍ෂා කිරීමේදී මෙය විශේෂයෙන් මතක් කළ යුතුය. එයට හේතුවන්නේ විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින දෙදෙනකුගේ කේන්ද්‍ර සටහන් පරීක්‍ෂාකර බැලූ බැල්මට ‘මෙම කේන්ද්‍ර දෙක නොගැළපේ’ යැයි කියා ඉවත දැමූ අවස්ථාවන්වල නැවත වරක් මෙය නිවැරදි හා සූක්‍ෂම ආකාරයට පරීක්‍ෂාකර බැලීමේදී පවතින දෝෂ භංගවී නොසිතන ආකාරයට එම දෙපළගේ කේන්ද්‍ර ගැළපෙන අවස්ථාවන් කොතෙකුත් දක්නට ලැබේ.

විද්‍යාවේදී ජ්‍යොතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
අංක 85ත්‍ 1/1
දෙහිවල පාර,බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment