නිවැරදි කාබනික වගාවක් රට තුළ ඇතිකරන්නට

226

හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායෙන් මග පෙන්වීමක්

 කාබනික වගාව සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය තීරණය කර ඇත.

 දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය යටතේ ක‍්‍රියාත්මක කාබනික පොහොර නිෂ්පාදනය, තත්ත්ව පාලන හා සැපයුම් ජාල කළමනාකරණ අනු කමිටුව (23 දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී රැුස්වී මෙම තීරණය ගෙන ඇත. එම අනුකම්ටුවේ සභාපතිත්වය රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් දරනු ලබයි.

 මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය හා ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති මහින්ද අමරවීර හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරු මෙන්ම එම අනු කමිටුවේ නියෝජිතයෝ රැුසක් සහභාගි වූහ.

 කාබනික වගාව සඳහා හඳුන්වා දුන් ජෛව දියර පොහොර මෙන්ම අනෙකුත් පොහොර සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය ගිලිහී යෑම සම්බන්ධව හා ඉදිරි වගා කටයුතුවලදී කාබනික වගාවට ගොවි ජනතාව යොමු කරවා ගැනීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධව මෙහිදී සාකච්ඡුා කළ බව පරිසර අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

 වගාවේ දී මූලික පොහොරක් සේ නොසලකන කොම්පෝස්ට් පොහොර හා ජෛව දියර පොහොර කාබනික පොහොර ලෙස වරදවා අවබෝධ කර ගැනීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් කාබනික වගාව සඳහා ගොවීන් පොළඹවා ගැනීම අසාර්ථක වීමට හේතු වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ප‍්‍රකාශ කර ඇත.

 එමෙන්ම කාබනික වගාවේදී අවශ්‍ය කාබනික පොහොර ගොවි ජනතාවට සැපයීම මෙන්ම වී වගාවේ වල් මර්දනය හා කෘමි පාලනය සඳහා මෙතෙක් යොදා ගත හැකි විකල්පයක් හඳුන්වා දී නොමැතිවීමත් බරපතළ ගැටලූවකි. ගොවීන් වී වගා කළ ද ඒවාට බලපාන වල් මර්දනයට හා කෘමි මර්දනයට මෙතෙක් වැඩපිළිවෙළක් හඳුන්වා නොදීම නිසා ද ගොවි ජනතාව කාබනික වගාව කෙරෙහි ආකර්ෂණය නොවීමට හේතුවක් බව පරිසර අමාත්‍යවරයා පෙන්වා දුන් බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

 එමෙන්ම කාබනික වගාව එක්වර මුළු රටේම ක‍්‍රියාත්මක නොකර අදියර කිහිපයක් යටතේ ක‍්‍රියාත්මක කිරීමට පියවර ගත්තා නම් කාබනික වගා ප‍්‍රවේශය වඩාත් සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. කෙසේ වුවද කාබනික වගාව සඳහා රජය ගත් පියවර සෞඛ්‍යමය හා පාරිසරික වශයෙන් හොඳ තීරණයක් වුවද, කාබනික වගාව කෙරෙහි ගොවි ජනතාව තුළ වර්තමානයේ උද්ගතව ඇති කළකිරීම නිසා එම වගාව ඉදිරියේ දී ක‍්‍රියාත්මක කිරීම පහසු නොවනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

 මෙහිදී අදහස් පළ කළ කමිටුවේ විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ කාබනික වගාව සාර්ථක වීමට නම් ඝන පොහොර හා කාබනික පොහොර මෙන්ම ජෛව දියර පොහොර යන වර්ග තුනම නිවැරදිව භාවිත කළ යුතු බවයි. නමුත් බොහෝ දෙනෙක් එක් රැුස් කර තිබෙන කුණු කසළ ද පොහොර ලෙස සලකා තිබේ. කොම්පෝස්ට් පොහොර යනු මූලික පොහොරක් නොවේ. කාබනික වගාවේ දී මෙම වරදවා වටහා ගැනීම බරපතළ අත්වැරැුද්දක් බව ද ඔවුහු පෙන්වා දී ඇත.

 එමෙන්ම ජෛව දියර පොහොර ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා දැනට ප‍්‍රමාණවත් තරම් රසායනාගාර පහසුකම් නොමැති නිසා එම පහසුකම් ශක්තිමත් කළ යුතු බව ද අවධාරණය විය. කෙසේ වුවද පුළුල් දැනුවත් කිරීම් හා කාබනික වගාවට ගොවීන් නැවත පොළඹවා ගැනීම සඳහා විදිමත් වැඩපිළිවෙළක් ඇරඹීමට අනු කමිටුව ඊයේ තීරණය කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment