අදෘෂ්‍යමාන වූ දෙවියන්ට පුද පූජා පවත්වා ගරුකොට ඇදහීමටත්, පිහිට පැතීමටත් මනුෂ්‍යයන් වන අප අනාදිමත් කාලයක සිට හුරු පුරුදු වී සිටිමු. මේ නිසාම අප කා හටත් දිවිගමනේ විවිධ අවස්ථාවන්හි ඇතිවන අනපේක්ෂිත ලෙඩදුක්, බාධක, කරදර මඟහරවා ගැනීමට හැකිවනවා මෙන්ම යම් යම් සුවිශේෂී ලෞකික ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධකර මුදුන්පමුණුවා ගැනීමට ද හැකිවේ. ඒ නිවැරැදිව අචල වූ භක්තියෙන් යුතුව දෙවියන් ඇදහීම තුළ දේව ආශිර්වාදය, රැකවරණය නිබඳව අප හට හිමිවන බැවිනි. දේව ආශිර්වාදය රැකවරණය අප වෙත නොඅඩුව ලබා ගැනීමට නම් අප කවුරුත් අනිවාර්යයෙන්ම සත්‍යවාදී විය යුතුය. ඉවසිලිවන්ත විය යුතුය. ගුණ යහපත් විය යුතුය. යමකුට කිරීමට අපහසුම දෙය වන, තමා සතු දෙය නිර්ලෝභීව දානය මැනවින් ප්‍රගුණ කළ යුතුය.
ගිහියාගේ නිත්‍ය ශීලය වන පංචශීලය රක්ෂා කළ යුතුය. උක්ත කරුණු කාරණා උපරිමයෙන් ඉටුකිරීම තුළ දේව ආරක්ෂාව, බැල්ම, පිහිට නිබඳව හිමිවේ.
සාමාන්‍යයෙන් අප කවුරුත් අපට යම් කරදරයක්, රෝගයක්, උපද්‍රවයක් සිදුවූ කල තම තමාගේ විශ්වාසය, ඇදහීම පරිදි ඒ ඒ දෙවියන්ට කපු මහතකු ලවා කන්නලව් කර බාරවීම සිදුවේ. එහිදි බොහෝ විට කාසියක් දෙහි බෑයක අතුල්ලා පිරිසිදුකොට හෝ කහ වතුරෙන් සෝදා ඉතාම පිරිසිදු සුදු රෙදි කැබැල්ලක ගැටගැසීම සිදු කරයි. එසේ ගැටගැසූ බාරයක් අදාළ කාරණය ඉෂ්ට සිද්ධ වූ පසු දෙවියන්ට වූ පොරොන්දුව රකිනු වස් කඩනොකර නිදහස් කළ යුතුය. ඉඩමක් මිලදී ගැනීම, නිවසක් සාර්ථකව තනා ගැනීම, යාන වාහන මිලදී ගැනීම, දරුවකු පිළිසිඳගන්වා ගැනීම, පිළිසිඳගත් දරුවා මෙලොවට බිහිවන තුරු රැක ගැනීම, අතීත අකුසලකර්ම ප්රවෘත්ති විපාක ලෙස අපහට ඇතිවන්නාවූ නවග්‍රහ අපල දුරුකර ගැනීම ආදී කොට ඇති මෙකී නොකී බොහෝ දේ සඳහා දෙවියන්ට බාරවීම සිදුවේ. මෙහිදී සාමාන්‍යයෙන් සිදුවන, පඬුරක් ගැටගැසීමට අතිරේකව වාහනයක් සඳහා වන බාරයකදී තහඩුවලින් කුඩාවට වාහනයක අනුරුවක් සකසා බාරවීම ද ගොවි සමාජයේ කුඹුරු ගොවිතැන අලි ඇතුන්ගෙන් ආරක්ෂා කරගනු වස් ඇතකුගේ අනුරුවක් කුඩාවට තහඩුවෙන් සකසා දෙවියන්ට බාර වීම ද සිදුකරයි.
දෙවියන් උදෙසා වන බාර විවිධාකාරය. එහිදී විවිධ ද්‍රව්‍ය බාරවීම සිදුවේ. බාර වූ කාරණය ඉෂ්ට සිද්ධ වූ පසු බාර වූ දෙවියන්ට අදාළ දේවාලයකට පැමිණ දැකුම් හෙවත් බාරවූ ද්‍රව්‍ය පූජා කරනු ලැබේ. එහිදී පූජා වට්ටි සේල සේම ප්‍රාණීන් වශයෙන් වී කරුල්ලන්, ගිරවුන්, මයිනන්, සැළලිහිණියන් වැනි බන්ධනගත පක්ෂීන් ද, කුකුළන්, ගවයන්, හාවුන්, මුවන්, එළුවන්, ඌරන් වැනි මරණයට කැපවූ සත්ත්වයන් ද දැල්මාළු පිරි මඩි ද නිදහස් කරනු දැකිය හැකිය. එනමුත් මේ සියල්ල අතුරින් බාර නිදහස් කරනුවස් මුදල් සහිත පූජා වට්ටි පිරිනැමීම මූලිකය. මෙලෙස බාර නිදහස් කිරීමේදී පෙරමුණ ගන්නා පූජාවට්ටිය පිළියෙල කර ගැනීම දෙවිවරුන් අනුව තරමක් වෙනස්ය. ඒ විවිධ දෙවිවරුන් උදෙසා විවිධ පලතුරු, විවිධ වර්ණ මල්, විවිධ පාටින් යුතු මල්මාලා, කැවිලි වර්ග ආදී කොට ඇති අනෙකුත් පූජා ද්‍රව්‍ය වෙනස්වන නිසාවෙනි. ඒ අනුව විවිධ දෙවිවරුන් සඳහා සකසනු ලබන පූජාවන් මෙසේය.
විෂ්ණු දෙවියන් උදෙසා සකසනු ලබන පූජාව හොඳින් ඉදුණු සුවඳවත් පලතුරු වර්ග 7 කින් ද පෙරන්ගෑ මුඩ්ඩ සහිත පොල් ගෙඩියකින් ද ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකින් ද, නිල් මල්මාලයකින් ද, නිල් කටරොඩු, නිල් මානෙල් වැනි නිල් පැහැති මල් වර්ගයකින් ද, නිල් තිරයකින් ද, එලඟිතෙල් පහනකින්ද, බුලත්, කපුරු හඳුන්කරු යන ද්‍රව්‍ය ආදියෙන් ද පොහොසත් විය යුතුය. අවශ්‍ය නම් නිවසේදී ඉතාම පිරිසිදුව පිසගත් කිරිබත් ද මෙයටම එක්කර ගත හැකිය.
කතරගම දෙවිඳුන් උදෙසා සකසනු ලබන පූජාව සුවඳවත් ඉදුණු පලතුරු වර්ග 7 කින් ද පෙරන්ගෑ මුඩ්ඩ සහිත පොල් ගෙඩියකින් ද ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකින්ද කිරිබත්, විලඳ, මී පැණි ආදියෙන් ද රතු මල් වර්ගයකින් මෙන්ම රතු මල්මාලයකින් ද රතු තිරයකින් ද බුලත්, කපුරු, හඳුන්කූරු ආදියෙන් ද පොහොසත් විය යුතුය. තවද කඳ සුරිඳුන්ට බාරවීමේදී ඉහත කී පූජාවට අතිරේකව ප්‍රාණයට ප්‍රාණයක් බාරවීම ද රූපයට රුපයක් බාරවීම ද සිදු කරයි. බාරයක් නිදහස් කිරීමේදී ප්‍රාණයට ප්‍රාණයක් ලෙස පොල් පැළයක් ද, රූපයට රූපයක් ලෙස රිදියෙන් කළ මිනිස් අනුරුවක් ද පූජාව සමඟ දීම සිදුවේ. එපමණක් නොව අතශයින් බරපතළ මාරාන්තික අපලකාරී හෝ එවැනි උවදුරු සහිත අවස්ථාවක වූ බාර සඳහා බාර වූ අයගේ උසට සමාන රිදී කෙන්දක් පූජා කිරීම ද සිදුවේ.
පත්තිනි දේවිය සඳහා සකසනු ලබන පූජාව හොඳින් ඉදුණු සුවඳවත් පලතුරු වර්ග 7 කින් ද ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකින් ද හොඳින් පෙරන්ගෑ මුඩ්ඩ සහිත පොල් ගෙඩියකින් ද නොඉඳුල් කිරිබතකින් ද කිරියා නම් කිරි ආහාර වර්ගයෙන් ද කහපාට මල් හා කහපාට
මල්මාලයකින් ද බුලත්, කපුරු හඳුන්කූරු ආදියෙන් ද පොහොසත් විය යුතුය. තවද පත්තිනි දේවිය උදෙසා වන බාර අතර දරුවකු පිළිසිඳවා ගැනීමට වන බාරත් දරු ප්‍රසූතියෙන් පසු නිදහස් කරන බාරත් විශේෂය. මෙහිදී කුඩාවට තහඩුවෙන් සෑදූ තොටිල්ලක, තහඩුවෙන්ම නිමවූ කුඩා දරුවකුගේ අනුරුවක් තබා වූ බාරය පූජාව ද සමඟ නිදහස් කරයි. මේ සියල්ලට අතිරේකව පත්තිනි දේව මෑණියන්ට රන් මාල, වටිනා සේල, අඹ ගෙඩි, මාල ආදිය පූජාකර බාර නිදහස් කරනු දැකිය හැක.
ගණ දෙවිඳුන් සඳහා සකසනු ලබන පූජාව කළු උක්, බෙලි, දිවුල් අඹ ආදී කොට ඇති පලතුරු වර්ග 7 කින් ද මුදවපු කිරි බඳුනකින් ද, එළකිරි බඳුනකින් ද පෙරන්ගෑ මුඩ්ඩ සහිත පොල් ගෙඩියකින් ද ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකින් ද, අග්ගලා ප්රමුඛ කැවිලි වර්ග 7 කින්ද, හකුරු, විලඳ, මීපැණි ආදියෙන් ද බුලත් විටකින් ද බුලත්, හඳුන්කූරු කපුරු ආදියෙන් ද සාරවත් විය යුතුය.
සරස්වතී දේවිය සඳහා සකසනු ලබන පූජාව, සමන්පිච්ච, ගැටපිච්ච, පොකුරු පිච්ච ආදී කොට ඇති කවර හෝ සුදු පිච්ච වර්ගයකින් ද යුත් පිච්ච මල් වටිටියකින් ද සුදු නෙළුම් වට්ටි 7 කින් ද, රතු නෙළුම් වට්ටි 7 කින් ද, කැවිලි වර්ග 7 කින ්ද, දෙළුම් ප්රමුඛ පලතුරු වර්ග 7 කින් ද ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකින් ද, හොඳින් පෙරන්ගෑ මුඩ්ඩ සහිත පොල් ගෙඩියකින් ද විලඳ, මීපැණි සේම කපුරු, බුලත්, හඳුන්කූරු ආදියෙන් ද පොහොසත් විය යුතුය. ඇතැම්විට ඉහත කී ද්‍රව්‍යවලට අතිරේකව ලදපස්මල් ද, අගිල් සුවඳ දුම් ද, කිරි ද, ගිතෙල් පහනක් ද බෙලි කොළ මාලයක් ද පූජා කරනු දැකිය හැක.
හින්දු භක්තිකයන්ගේ මුදුන්මල්කඩ බඳු වූ කාලි මැණියන් සඳහා සකසනු ලබන පූජාව රත් කෙහෙල් සහිත පලතුරු වර්ග 7 කින් ද පෙරන්ගෑ මුඩ්ඩ සහිත පොල් ගෙඩියකින් ද රතුමල් මෙන්ම රතු මල්මාලයකින් ද කල්කිරි බෝතලයකින් ද, දෙහි, හඳුන්කූරු, බුලත්, කපුරු ආදියෙන් ද වටිනා රතු සේලයකින් ද පොහොසත් විය යුතුය. කාලි මෑණියන් යනු සෝවාන් ඵලයට පත් උතුම් දේවතාවියකි. මෙනිසාම පිළිහුඩු, කිලි කුණු වලින් තොරව පූජාව සකස්වීම කාලි මෑණියන්ගේ පිහිට උපරිම වශයෙන් ලැබීමට හේතුය. තවද නානුමුර භද්‍රකාලි පූජාව සඳහා එළකිරි බෝතල් 7 ක්ද, ඇස්ස කැපූ තැඹිලි ගෙඩි 7 ක්ද, හඳුන්, කිරි, පැන් බඳුන් 7 ක් ද දෙහි ගෙඩි 7 ක්ද මීපැණි එළිඟිතෙල් හා තල තෙල් අවුන්ස 2 බැගින් ද, පලතුරු වර්ග 7 ක්ද, රතු සාරියක් ද රතු මල් ද පෙරන්ගෑ මුඩ්ඩ සහිත පොල් ගෙඩියක් ද රතු මල්මාලයක් හා හඳුන්කූරු, කපුරු, හා බුලත් ද යොදා ගනු ලැබේ.
කඩවර දෙවියන් සඳහා සකසනු ලබන පූජාව කිරිබත්, කොණ්ඩා කැවුම් ප්රමුඛ කැවිලි වර්ග වලින් ද පොල් වළලු 7 කින් ද, ඇටඇටි, පපඩම්, දිය ගොඩ මස්, මීකිරි, රීරි ලේ, රතුමල්, බැදපු බිත්තරයක් යනාදියෙන් ද විලක්කුවකින් ද කොකොඹ තෙල් පහනකින් ද නොයිඳුල් බතක් යනාදියෙන් ද යුක්ත විය යුතුය. තවද පුලුටු ලෙස උලුඳු හෝ මසල වඩේ ද බැදපු කඩල ද පූජාවට එක්කර ගැනේ.
සූනියන් දේව පූජාව සඳහා හොඳින් ඉදුණු පලතුරු වර්ග 7 ක්ද, සුදු මල් ද, සුදු මල්මාලයක් ද, විලඳ, මීපැණි, කැවිලි, බැදපු කඩල යනාදිය ද කපුරු, හඳුන්කූරු, බුලත් ද යොදා ගැනේ.
ශ්‍රී ලක්ෂ්මී දේවිය සඳහා සකසනු ලබන පූජාව නෙලුම් මල් වට්ටියකින් ද, සුවඳ දුම්වලින් ද බුලත් කොළ ද, පඬුරු ද, සඳුන් තෙල් මිශ්‍ර එළඟි තෙල් පහනක් ද නෙළුම් රේණු, හල් දුම්මල, සුදු හඳුන්, රත්හඳුන්, දේවදාර යන ද්‍රව්‍ය මිශකර සාදන ලද සාම්බ්රානිවලින් ද කෙසෙල්, බෙලි, අඹ, දොඩම් වැනි ඉදුණු පලතුරු 7 කින් ද, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකින් ද, අග්ගලා, මුංකැවුම් ආස්මි වැනි කැවිලිවලින් ද එළකිරි මිශ්‍ර කිරිබතක් පිස හොඳින් නිවුණු පසු මීපැණි මිශ්‍රකර ලබාගත් කිරිබත් ද, චතුමධුර ද, බෙලි කොළ ද, බුලත් කොළ ද, ලදපස්මල් ද යන ද්‍රව්‍යවලින් පොහොසත් විය යුතුය.
හනුමාන් පූජාව සඳහා කළු උක් ප්රමුඛ පලතුරු වර්ග 7 ක්ද, කැවිලි වර්ග 7 ක්ද, කඩල, විලඳ, මීපැණි, හකරු, හබලපෙති, බුලත්, හඳුන්කූරු, මල්, කපුරු, යනාදිය ද ඇස්ස කැපූ තැඹිලි ගෙඩියක් ද බුලත් කොළ මාල ද භාවිත වේ.
නවග්‍රහ පූජාව සඳහා මල් වර්ග 9 යක් ද, පලතුරු වර්ග 9 යක් ද පෙරන්ගෑ මුඩ්ඩ සහිත පොල් ගෙඩි 9 ක්ද, තල පොට්ටනි 9 ක්ද පහන් නමයක් ද කපුරු පෙති නමයක් ද හඳුන්කූරු 9 ක්ද, බුලත් 9 ක්ද, පඬුරු 9 ක්ද භාවිතා වේ.
සාමාන්‍යයෙන් දෙවියන් උදෙසා පූජා වට්ටි සැකසීමේදී ගෙඩි පූජා වට්ටි සැකසීම වඩාත් ප්‍රතිඵලදායකය. මීට අතිරේකව නිවෙස් සඳහා වන බාරවලදී තහඩුවලින් කුඩාවට නිවසේ අනුරුවක් සාදා බාර වේ. එසේම ඇතැම් ප්‍රදේශවල කිරි මුට්ටි 1, 3, 7 ආදී වශයෙන් බාරවීම ද සිදුවේ. එලෙස කිරි මුට්ටි 7 ක් බාරවන අවස්ථාවල තේවාවද සිදුකරනු ලැබේ. තවද දරුණු අපලකාරී තත්ත්ව යටතේ කාලි මෑණියන් උදෙසා දෙහි ගෙඩි මාල බාරවී එම බාරය නිදහස් කරන අවස්ථාවේ දෙහි ගෙඩි මාල ද පළඳවනු දැකිය හැක.
ඉහත සඳහන් වූ පරිදි විවිධ දෙවිවරු සඳහා සකසනු ලබන පූජාවන් හිදී විවිධ විශේෂ නම්වලින් යුතු ද්‍රව්‍ය භාවිතා වනු දැකිය හැක. ඒවා සවිස්තරව මෙසේය.
- ඇටඇටි -උඳු, මුං, වී, තල, මෑ යන ඇට පස් වර්ගය
- පුලුටු – ඉහත ද්‍රව්‍ය කබලේ බැදගත් විට පුලුටු වේ.
- ලදපස්මල් – සමන් කැකුළු, ඊතන, සුණු සහල්, විලඳ, සුදු අබ
- චතුමධුර – ගිතෙල්, මී පැණි, වෙඩරු, උක් හකුරු
- දිය ගොඩ මස් – දියෙහි හා ගොඩබිම ජීවත්වන සතකුගේ මස් කැබිලි 2 ක් මේ සඳහා කිලි සහිත හරක් මස්, ඌරු මස්, මෝර මාලු, දියබරි මස්, මඩු මාලු වැනි දෑ භාවිතයේ නොයෙදේ.
- රීරි ලේ – අමුකහ සහ විටට කන හුනු එකට අඹරා ගත් විට සෑදෙන රතු පැහැති මිශ්‍රණය.
මේ සියල්ලටම පරිබාහිරව දෙවියන් උදෙසා පුදන විශේෂ දානයකි, මුරුතැන් දැනය. මුරුතැන් බත හෙවත් මුරුතැන් දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන් සහ එය නිවැරදිව ක්‍රමවත්ව සකසන ආකාරයත් මෙසේය. මුරුතැන් දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලෙස කැකුළු සහල්, කජු මද, වියළි මිදි, බැදපු රටකජු, රටඉඳි, කිතුල් හකුරු, තම්බාගත් මුං ඇට, එනසාල්, බටර්, දියලුණු, තැඹිලි වතුර හෝ පොල්කිරි දැක්විය හැක. මුරුතැන් බත පිළියෙල කිරීමේදී මුලින්ම කැකුළු සහල් හොඳින් සෝදා නැවුම් මුට්ටියක දමා දියලුණු අවශ්‍ය පමණ එක්කර තැඹිලි වතුරෙන් හෝ පොල් කිරෙන් පිසගත යුතුය. ඉන්පසු කජු මද, තම්බාගත් මුං ඇට, වියළි මිදි බැදපු රටකජු රටඉඳි හා කිතුල් හකුරු සිහින්ව කපා බටර් ද සමග පිසගත් බතට එක්කර හොඳින් මිශ්‍රකර ගත යුතුය. මීට පසු කෙසෙල් කොළ කැබැල්ලකින් මුට්ටියේ කට වසා නිවෙන්නට හැර පූජාව අවස්ථාවේ මුට්ටිය පිටින්ම පූජාකර ඉන් කොටසක් දේව පූජාවට තබා ඉතිරි කොටස ආහාරයට ගනී. එනම් බැතිමතුන් අතර බෙදා දේ. එනමුත් මුරුතැන් බත සතුනට කෑමට නොදෙන බවට ද මතයක් පවතී. කෙසේ නමුත් මුරුතැන් බත පිළියෙල කිරීමේදී එය පිළියෙල කිරීමට සහභාගි වන අය පුරුෂයන් විය යුතු අතර ඔවුන් හිස්වැසුම් මෙන්ම මුඛවාඩම් භාවිතා කළ යුතු බව සම්මත පිළිගැනිමයි. තවද මුරුතැන් බත පිසීම සඳහා යොදා ගන්නා ළිපට කුරුඳු දර යොදාගත යුතු අතර පොල්කොළ, පොල්කටු, හනසු, භූමිතෙල් වැනි දෑ භාවිතයේ නොයෙදේ. මෙහිදී ළිප දැල්වීමට යොදා ගනුයේ කපුරු පෙතිය. එහිදී ළිප අවට සුවඳවත් කරගනු වස් ළිප්ගල් තුන මත කපුරු පෙති දැල්වීම සාමාන්‍ය සිරිතය. තවද පිරිමියකුගේ අතින්ම පිළයෙල විය යුතු යැයි නියමයක් පවතින දෙයකි හත්මාලුව. හත්මාලුව සඳහා පුහුල්, අළු කෙසෙල් වැනි එළවළු භාවිතයේ නොයෙදේ. හත්මාලුව පිළියෙල කිරීමේදී නැවුම් ඇතිළියක එළවළු වර්ග 7 ක් පොල් කිරෙන් පිස ගැනීම සිදුවේ.
තවද විශේෂ දේව පූජාවන්හිදී දේවාභරණ ද තවත් නොයෙකුත් පූජා ද්‍රව්‍ය ද පූජා කරනු දැකිය හැක. ඒ අතර තිර, පහන්, ත්‍රිශූල, සෙම්බු, කෙණ්ඩි, හක්ගෙඩි, මිණිගෙඩි, හලං, මොනර පිල්, හුරුලු ආදිය මූලිකය. මෙහිදී විශේෂයෙන් හක්ගෙඩි විෂ්ණු, කතරගම දෙවිඳුන් උදෙසා ද සෙම්බු විෂ්ණු ලක්ෂ්මී, අයියනායක හා ඊශ්වර දෙවිඳුන් උදෙසා ද, වේවැල් අය්යනායක හා දැඩිමුණ්ඩ දෙවිඳුන් උදෙසා ද තිර පූජාව පත්තිනි දේවිය උදෙසා ද, දෙහි ගෙඩි, මල් පූජාව කාලි මෑණියන් උදෙසා ද, සිදුවේ. මෙවැනි විශේෂ පූජා සිදුකරනුයේ යම් ආබාධයන්වලින් මුදනු සඳහා ද සෙත් ශාන්ති කිරීම, මාරක ග්‍රහ අපල වළකාලීම, හදිසි අනතුරුවලින් ආරක්ෂාවට, දේව ආකාර්ෂණය හිමිකර
ගැනීමට, ව්‍යාපාර දියුණුවට රෝග සුවවීමට, දෙවිවරුන් වෙතින් වරම් ලබාගැනීමට, දියුණුව අභිවෘද්ධිය හා කීර්තිය ඇතිවීමට, සතුරන්ගෙන් ආත්ම ආරක්ෂාවට, පෞරුෂ වර්ධනයට, ඥාන වර්ධනයට, ගුණදහම් වර්ධනයට, දීර්ඝායුෂ ලැබීමට, පරිවාර සම්පත් හිමිවීමට, සැප සම්පත් ලැබීමට, මතක ශක්තිය වැඩිවීමට, සතුරන් මැඬලීම මෙන්ම නිවාස සෑදීම, වාහන මිලදී ගැනීම වැනි මෙකී නොකි බොහෝ කරුණු කාරණා සඳහාය.
විවිධ දෙවිවරුන් උදෙසා පුද පූජා තබන අකාරයත් නිවැරැදිව නිසි වේලාවට පහන් දල්වන ආකාරයත් පූජා වට්ටි සකසන ආකාරයත් දේවාභරණ ප්රමුඛ තවත් බොහෝ පූජාවන් සම්බන්ධවත් තොරතුරු රැසක්ම ඉතා සැකෙවින් ඉහත සඳහන්ය. එනමුත් ඉහත සඳහන් පූජාවන් හිදී ඉතාම කලාතුරකින් ඉතාම සුළු වශයෙන් යම් යම් පූජා ද්‍රව්‍ය පූජාවන්ට එක්කර ගන්නා අවස්ථා ද යම් යම් පූජා ද්‍රව්‍ය ඉවත් කරන අවස්ථා ද දක්නට ලැබේ. කෙසේ නමුත් සම්මත බහුල භාවිතය ඉහත ආකාරය. කෙසේ නමුත් දෙවියන්ට නිවැරැදිව බාර වී නිවැරැදිව නියමිත වේලාවට පහන් දල්වා නිවැරැදිව ක්‍රමවත්ව වූ බාර නිදහස්කොට දේව බැල්ම, දේවාශිර්වාදය, දෙව් රැකවරණය නොඅඩුව ලබා ගන්න.
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653