නිෂ්ප්‍රභා කිරීමට වුවමනාවක් නැති ජිනීවා යුද අපරාධ චෝදනා!

382

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අපරාධ යාන්ත්‍රණයකට භාජන කිරීමේ වගකීම 2018 මැද භාගයේ මහා බ්‍රිතාන්‍ය බාර ගත්තේ ඇමරිකා එක්සත් ජනපදය ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමත් සමඟය. ජිනීවා කවුන්සිලයෙන් ඇමෙරිකාව ඉවත් වූයේ එම සංවිධානය දේශපාලනික අසුචි වළක් ලෙස නම් කරමිනි.

ජිනීවා කවුන්සිලයේ 51 වැනි සැසිය (සැප්තැම්බර් 12 සිට ඔක්තෝබර් 07) පැවැත්වෙන මෙම අවස්ථාවේ මහා බ්‍රිතාන්‍යයේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ද්‍රවිඩ ත්‍රස්තවාදය උපරිම ලෙස පෝෂණය කළ මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවට එරෙහි අතිශය දුෂ්ට මෙහෙයුම තීව්‍ර කර ඇත. ඊට පෙර එම කණ්ඩායමට නායකත්වය සැපයුවේ ලෝකය පුරා මානව හිමිකම් චෝදනාවලට ලක් වී ඇති ඇමෙරිකාවයි.

ජිනීවා හි ක්‍රියාත්මක මෙහෙයුම ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උදෙසා නොවේ. ශ්‍රී ලංකාව දේශපාලනික, ආර්ථික සහ සමාජීය වශයෙන් බටහිරට ගැට ගසා ගැනීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන සටන් බිමක් වී ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ මහා බ්‍රිතාන්‍ය නායකත්වය දෙන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ඒකාබද්ධ මෙහෙයුමක නිරත වී ඇත. මෙවර ඉදිරිපත් කර ඇති ජිනීවා නායකත්වයෙන් ඉවත් වන මහා කොමසාරිස්වරියගේ වාර්තාවේ යුද අපරාධ චෝදනා ගොන්නට අමතරව ‘ආර්ථික අපරාධ‘ සම්බන්ධයෙන්ද බරපතළ අවධානයක් යොමු වී ඇත්තේ එම මෙහෙයුමේම කොටසක් ලෙසය.

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි 51 වැනි සැසිවාරය ආරම්භ කළ සැප්තැම්බර් 12 දින කවුන්සිලයේදී අවධාරණය කළේ ‘ආර්ථික අපරාධ’ සම්බන්ධයෙන් කටයුතු කිරීම මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වරම ඉක්මවා යෑමක් බවයි. හිටපු අධිකරණ සහ මුදල් ඇමැති වූ සබ්රි එම තත්ත්වය සම්බන්ධයෙන් තම කනස්සල්ල පළ කළේය. මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා විරෝධී කණ්ඩායම වෙනුවෙන් කවුන්සිලයට සැප්තැම්බර් 12 දින භාර දුන් යෝජනාවට සබ්රි අමාත්‍යවරයා විරෝධතාව පළ කළේය.

නවතම චෝදනාව ‘ආර්ථික අපරාධ‘ හේතුවෙන් රට බංකොලොත් කර ජනතාව පීඩාවට පත් කිරීමයි. එම චෝදනාවට සියලුම ආණ්ඩු අඩු වැඩි වශයෙන් වගකිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් ප්‍රධානම වැරදිකරු ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දුන් සබ්රි අමාත්‍යවරයාද සාමාජිකත්වය දැරූ ආණ්ඩුවයි (2019 නොවැම්බර් 16 සහ 2022 ජුලි 14).

අමාත්‍ය සබ්රි එම අවාසනාවන්ත තත්ත්වය පිළිගෙන ඇත. මහ බැංකු අධිපති පක්ෂ සහ විපක්ෂ දේශපාලන ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව හිඟමනට පත් වීම සම්බන්ධයෙන් අගෝස්තු 31 දින පාර්ලිමේන්තුවේ පළ කළ ආන්දෝලානාත්මක අදහස් සම්බන්ධයෙන් සබ්රි අමාත්‍යවරයා පෙනී සිටියේ ‘ආර්ථික අපරාධ‘ සිදු වූ බව ඔහුද පිළිගන්නා නිසාය. එනිසා ජිනීවා හි නැගෙන ‘ආර්ථික අපරාධ’ චෝදනාවෙන් ලෙහෙසියෙන් ගැලවීමට ශ්‍රී ලංකාවට නොහැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණින් වැටී සිටින ශ්‍රී ලංකාව ‘ආර්ථික අපරාධූ වූයේ නැතැයි පැවසීම නිෂ්ඵල ක්‍රියාවකි. පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත රට බංකොලොත් වූ ආකාරය සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ලවන චෝදනා මත ජිනීවා කවුන්සිලය ‘ආර්ථික අපරාධ’ චෝදනාව නැගූ බව පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම තේරුම් ගත යුතුය.

නමුත් යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා නිෂ්ප්‍රභා කිරීමට අවශ්‍ය කරුණු කාරණා බොහොමයක් ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට යොමුවී ඇති කිසිදු යුද අපරාධ චෝදනාවක් අද වනතුරු අධිකරණ ක්‍රියාදාමයකට භාජන වී නැත. නමුත් සේවයේ නියුතු/විශ්‍රාමික නිලධාරීන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් නොයෙකුත් ක්‍රියාමාර්ග දෙන ඇත. වීසා ප්‍රතික්ෂේප වූ එකම හමුදා නිලධාරියා හිටපු ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (පා. ම., සමගි ජන බලවේගය) නොවේ. එම තහනම පැනවූයේ යහපාලන සමයේදීය. අසාධාරණයට ලක්වූ තවත් සෙන්පතියෙකු වූයේ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේය. එම සිද්ධියද යහපාලන සමයේදී සිදුවිය. ඒ එතුමා 2018 අගෝස්තු මාසයේදී විශ්‍රාම යෑමට පෙරය. ඔස්ට්‍රේලියාව ගාල්ලගේට වීසා ප්‍රතික්ෂේප කළේ ප්‍රධාන වශයෙන්ම නැගෙනහිර වන්නියේ මෙහෙයුම් කළ 59 වැනි සේනාංකයට නායකත්වය දීමේ වරදටය. ඒ 2009 මැයි 10 දින සිට සති කිපයකටය.

විදේශ අමාත්‍යාංශයේදී මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී මෙම ලියුම්කරු සබ්රි අමාත්‍යවරයාගෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස එතුමා අවධාරණය කළේ පුද්ගලයන් පමණක් නොව වන්නි සටන් සේනාංක සම්පූර්ණයෙන්ම ‘තහනම්’ (බ්ලැක් ලිස්ට්) කර ඇති බවයි. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලටම ඇමෙරිකාව ‘ගමන් තහනමක්’ පැනවූයේ 2020 පෙබරවාරි මාසයේදීය. ශ්‍රී ලංකාවේ තත්ත්වය බරපතළය. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ යුතු කරුණු කාරණා තවදුරටත් ඉදිරිපත් නොකර සිටීම තේරුම් ගත නොහැක. මෙවර ජිනීවාහිදී සිදුවූයේද මෙතුවක් කල් සිදුවූ දෙයමය.

ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන සමස්ත යුද අපරාධ චෝදනාව විමසා බැලිය යුතු වන්නේ ප්‍රධාන කරුණු තුනකට අවධානය යොමු කරමිනි. අදවනතුරු කිසිදු රජයක් සාර්ථකව ජිනීවා අභියෝගයට මුහුණ දී නැත. එසේ කිරීමට අවශ්‍යතාවක්ද නොවීය. වර්තමාන ආණ්ඩුවද ජිනීවා අර්බුදය ඉදිරියේ හිරවී ඇත. සැබෑ අභියෝගය තේරුම් ගෙන නැත. ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා (2011 මාර්තු 31 හෙළිදරව් කළ) පිළිබඳව විමසා බැලිය යුතු වන්නේ (1) යුද අපරාධ සම්බන්ධයෙන් නැගුනු චෝදනා වසර 20 යනතුරු කිසිදු විමර්ශනයකට භාජන නොකළ යුතු බවයි. දරුස්මාන් වාර්තාව (23 වැනි ජේදය) අනුව චූදිතයාට නිදහසට කරුණු දැක්වීමක්වත් කළ නොහැක. (11) ශ්‍රී ලංකා හමුදා 40,000 ද්‍රවිඩ වැසියන් මරා දැමූ බවයි (දරුස්මාන් වාර්තාව 137 වැනි ජේදය) සහ (111) මහා බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයට 2017 ඔක්තෝබර් මාසයේදී නේස්බි සාමිවරයා කළ අතිශය තීරණාත්මක දැනුම්දීම. එනම් 2009 ජනවාරි සිට මැයි දක්වා කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය මගින් ලන්ඩන් නුවර විදේශ අමාත්‍යාංශයට කළ දැනුම් දීම අනුව 40,000 මරා දැමූ බවට නැගෙන චෝදනාවේ සත්‍යතාවක් නැත. උපරිම මරණ 7,000-8,000 අතරය. එයින් කොටසක් සිවිල් ඇඳුමින් සටන් කළ එල්. ටී. ටී. ඊ සාමාජිකයන්ය.

රටේ අවාසනාවට 2017 ඔක්තෝබර් සිට අද දක්වා කිසිදු රජයක් සියලු කරුණු කාරණා සැලකිල්ලට ගෙන ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදා වෙනුවෙන් චෝදනා ප්‍රතික්ෂේප කර නැත. මෙවර කරේද නැත. ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ මෙවරද ජිනීවා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ නැවත වරක් සියලු කරුණු කාරණා පූර්ණ විමර්ශනයකට ලක් කළ යුතුය.

යුද අපරාධ චෝදනා නිසියාකාරව කළමනාකරණය කරගැනීමට වර්තමාන රජයට සැබෑ අවශ්‍යතාවක් තිබේනම් වහාම අවධානයට ලක් කළ යුතු කරුණු කාරණා පහත සඳහන් කර ඇත.

(1) බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළාට පසුව කොළඹ පැවති පළමුවැනි ආරක්ෂක සමුළුවේදී (2011 මැයි -ජුනි) ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා යුද අපරාධ නොකළ බවට එවකට ඇමෙරිකානු ආරක්ෂක උපදේශක ලුතිනල් කර්නල් ලෝරන්ස් ස්මිත් කළ ප්‍රකාශය අදටත් ආණ්ඩුවේ අවධානයට යොමු වී නැත. ද්‍රවිඩ සිවිල් වැසියන් 40,000 මරා දැමූ බවට දරුස්මාන් කළ චෝදනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගැනීමෙන් වසර දෙකකට පසුව ඇමෙරිකානු නිලධාරියා කළ ප්‍රකාශය අද වනතුරු නොසලකා හැර ඇත්තේ මන්ද?

(2) එම ඇමෙරිකානු නිලධාරියා 2011 කළ ප්‍රකාශය විමසා බැලිය යුතු වන්නේ නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේ දී 2017 කළ හෙළිදරව්ව සමඟ සැසඳීමෙන් නොවේද? බ්‍රිතාන්‍ය හෙළිදරව්වට පාදක වූයේ යුද සමයේ කොළඹ සිටි බ්‍රිතාන්‍ය ආරක්ෂක උපදේශක ලුතිනල් කර්නල් ඇන්තනි ගෑෂ් ලන්ඩනයට යැවූ රහස් ලිපිය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව උල තැබීමට කටයුතු කරන ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ යුද අපරාධ නොවූ බව පිළිගෙන ඇත. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා හෝ එක්සත් ජාතීන්ගේ නිව් යෝර්ක් මූලස්ථානයේ කරනු ලබන කිසිදු කරුණු දැක්වීමකදී සැබෑ තත්ත්වය පෙන්වා දීමට ආණ්ඩුවට ඕනෑකමක් නැත. ද්‍රවිඩ ඩයස්පෝරාවට දෝෂාරෝපණය කිරීමේ තේරුමක් නැත. ජිනීවා අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ බව අමුතුවෙන් කිව යුතු නැත. විදේශ අමාත්‍යාංශය ලැජ්ජා විය යුතුය. ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධයෙන්ද කීමට ඇත්තේද එයමය.

(3) ‘විකිලීක්ස්‘ හෙළිදරව් පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද ඉතාමත් වැදගත් සහ තීරණාත්මක හෙළිදරව් කීපයක් ‘විකිලීක්ස් ‘ කළේය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානියෙකු සහ 2009 දී ජිනීවා ස්ථානගතවී සිටි ඇමෙරිකානු දූත මණ්ඩලයේ ප්‍රධානියා අතර වූ සාකච්ජාවකදී රතු කුරුස ප්‍රධානියා අවධාරණය කර තිබුණේ සිවිල් ජනතාව පිළිබඳව මානුෂිකව කටයුතු කිරීම නිසා යුද හමුදාවට ජීවිත අහිමි වූ බවයි. යුද හමුදාව සිවිල් ජනතාව නොසලකා ප්‍රහාර එල්ල කළේනම් මෙහෙයුම වඩාත් වේගවත්ව අවසන් කිරීමට හැකියාව තිබූ බව රතු කුරුස ප්‍රධානියාගේ තක්සේරුව විය. වසර 10 කට පමණ පෙර මෙම හෙළිදරව්ව සිදු විය.

ශ්‍රී ලංකා ආණ්ඩුවට අද වනතුරු මෙවැනි අතිශය වාසිදායක ප්‍රකාශයක් වත් කිසිදු ආකාරයකින් පාවිච්චි කර නැත. ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නැත. මහජන නියෝජිතයන්ට සහ ඉහළ නිලධාරීන්ට ජිනීවා සැසිය තවත් විදේශීය සංචාරයක් පමණක් බව ඔවුන්ම ඔප්පු කර ඇත.

(4) ජයග්‍රාහී යුද හමුදාවට නායකත්වය දුන් එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේදී සියලුම උතුරු සහ නැගෙනහිර ඇති බහුතරයක් ද්‍රවිඩ කථා කරන මැතිවරණ දිස්ත්‍රික්ක ඉහළින්ම ජයග්‍රහණය කළ බව ජාත්‍යන්තරයට මතක් කර දීමට කිසිදු ආණ්ඩුවකට වුමනාවක් නැත. කොටි සංවිධානය ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස 2001 දී ප්‍රකාශ කළ ආර්. සම්බන්ධන් ගේ ‘ටැමිල් නැෂනල් එලායන්ස් ‘ 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටියේය. යුද අපරාධ චෝදනා ජිනීවා අසූචි වළට විසි වූයේ එදාය. ෆොන්සේකා තුරුම්පුවකි. ආණ්ඩුව එම තුරුම්පුව පාවිච්චි කළ යුතුය. අදාළ අමාත්‍යවරු සම්පූර්ණ චිත්‍රය සම්බන්ධයෙන් දැනුවත් විය යුතුය.

(5) දරුස්මාන් වාර්තාව 40,000 මරා දැමූ බවට කළ චෝදනාව එක්සත් ජාතීන්ගේ කොළඹ පිහිටි කාර්යාලයේ නායකත්වයෙන් 2008 අගෝස්තු සිට 2009 මැයි 13 දක්වා වන්නියේ දිනපතා කළ තොරතුරු රස කිරීම අනුව මරණයට පත්වූ (ත්‍රස්තවාදීන් සහ සිවිල් වැසියන්) ගණන 7,721 බව අවධාරණය කිරීමටවත් කිසිදු ආණ්ඩුවකට අවශ්‍යතාවක් තිබුණේ නැත. අදටත් එසේමය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය, උතුරේ රෝහල් සහ සිවිල් සංවිධාන සම්බන්ධ වී සැදූ එම එක්සත් ජාතීන්ගේ වාර්තාව අනුව සමස්ත තුවාල වූ ගණන 18, 479 කි. එම තුවාල කරුවන් අතරින් දහස් ගණනක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මැදිහත් වීමෙන් රජයේ පාලනයේ තිබූ පුල්මුඩේ ප්‍රදේශයට මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කළ බවවත් කීමට ආණ්ඩුවට මතක නැත. ඇත්ත වශයෙන්ම ජිනීවා චෝදනාවලට පිළිතුරු සැපයීමේදී ඉතාමත් අසාර්ථක වූයේ යුද්දය දිනූ රාජපක්ෂ ආණ්ඩු බව අවධාරණය කළ යුතුමය.

(6) යහපාලන සමයේදී සොයාගත් මන්නාරමේ සමූහ මිනී වළද යුද අපරාධ චෝදනාවලට බැර විය. එම ඇට කටු වසර සිය ගණනකට පෙර කාලයකට අයිති බව ඇමෙරිකානු පරීක්ෂණාගාරයක් කළ නිගමනයවත් නිසියාකාරයෙන් පාවිච්චි කිරීමට විදේශ අමාත්‍යාංශයට වුවමනාවක් නොවීය. අදටත් ඒ සම්බන්ධයෙන් කථාවක් නැත.

(7) හමුදා භාරයේ සිටි ද්‍රවිඩ ත්‍රස්තවාදීන් 104 දෙනකු විෂ ශරීර ගත කර මරා දැමූ බවට යහපාලන සමයේ උතුරේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් 2016 දී චෝදනා කළේය. ජාත්‍යන්තර මාධ්‍ය එම බරපතළ චෝදනාව වාර්තා කළේය. එවැනි අසත්‍ය තොරතුරු ජනගත කළ විග්නේෂ්වරන් අද පාර්ලිමේන්තුවේය. ඒ උතුරු පළාත නියෝජනය කරන දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙසය. පාර්ලිමේන්තුවේදී ඔහු ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කළ බවට චෝදනා කර ඇත.

(8) ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය බිහි කළේ ඉන්දියාව බවට නිල වශයෙන් ජිනීවා හිදී ප්‍රකාශ කළ යුතුමය. බංකොලොත් ශ්‍රී ලංකාවට ඉන්දියාව දැවැන්ත ලෙස උදව් උපකාර කර ඇති බව සත්‍යයකි. ශ්‍රී ලංකාව ඉන්දියාවට ස්තුතිවන්ත විය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ පියා ඉන්දියාව බව නිල වශයෙන් සඳහන් කළ යුතුමය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment