නිෂ්පාදනය පදනම කරගත් රටක් උදෙසා සැබෑ දේශප්‍රේමී ජනතා හිතවාදී පාලනයක් ගොඩ නැගිය යුතුයි

129

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අනුරපුර මහසඟ සමුළුවේදී කියයි

පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කර නිෂ්පාදනය මත පදනම් වුණු රටක් ගොඩනැගීමට සැබෑ දේශප්‍රේමී, සැබෑ ජනතා හිතවාදී කණ්ඩායමක් පාලනය බලය අතට ගත යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

හේරත් මහතා මේබව පැවසූවේ ඉකුත් 06 වැනිදා අනුරාධපුරයේදී පැවති රජරට මහසඟ සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

අපේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක්ව වසර සිය ගණනක් පැවතුණා. 1948දී අපි නාමික නිදහස ලබාගෙන දැනට වසර 76ක් ගෙවී තිබෙනවා. ඇත්තටම අපට හදවතට එකඟව සමරන්න නිදහසක් තිබෙනවාද? ආපසු හැරී බැලු‍වොත් සුද්දා හඳුන්වා දෙන ලද කොල්බෲක්, සෝල්බරි ආණ්ඩුක්‍රමයන්ගේ නෂ්ටාවශේෂයන් තමයි අපේ ආණ්ඩු ක්‍රමවලට ඇතුළත් කළේ. පසු කාලෙකදී ඉන්දියාව අප මත බලෙන් පටවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් අපේ ව්‍යවස්ථාවලට ඇතුළත් වුණා. අපිටම කියා රාජ්‍ය ක්‍රමයක් අපි හදාගෙන නැහැ. සුද්දා අපට හඳුන්වා දෙන ලද පරිපාලන ක්‍රමයන් තමයි අපේ රටේ දැනට පවතින්නේ. අපේ භූගෝලීය ස්වභාවය, ජන සංයුතියේ ව්‍යාප්තිය, ඒ මත පදනම් වූ විද්‍යාත්මක පරිපාලන ක්‍රමයක් අපි හදාගෙන නැහැ. ඒ වගේම අපිටම කියලා සංවර්ධන ආර්ථික මාදිලියක් අදටත් නැහැ. අපේ රටේ තිබෙන භෞතික සම්පත්, අපේ රටේ ඉන්න මානව සම්පතත් එක්ක යොදා ගනිමින් සංවර්ධනය කරන්නේ කොහොමද?ඒ සඳහා අපේ ස්වෛරීත්වය, භෞතික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදනය මත පදනම් වුණු ආර්ථික මාදිලියක් හරහා රට ගොඩනගන්නෙ කොහොමද කියන වැඩසටහනක් අපි තවම නිර්මාණය කරගෙන නැහැ. අපේ ණය ප්‍රමාණය ගැන බැලු‍වාම ඒක හොඳටම තේරෙනවා. අපි වැඩියෙන්ම ණයවෙලා තියෙන්නේ චීනෙට, ඉන්දියාවට, ජපානයට, අයි.එම්.එෆ්. එකට, ඇමෙරිකාවට. ජනාධිපතිවරයා කිව්වා අයි.එම්.එෆ්. වැඩසටහන අවසන් වන තෙක් මැතිවරණ පවත්වන්න විදිහක් නැහැ කියලා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය බලය අයි.එම්.එෆ්. වැඩසටහනට යට කර තිබෙන්නේ. අපි ආර්ථික වශයෙන් නිදහස්ද? උත්තරීතර වූ ජනතා පරමාධිපත්‍ය බලය පාලකයන්ගේ වැරැද්දෙන්ම අපි අයි.එම්.එෆ්. එකට පවරා තිබෙනවා. ඒ කියන්නේ අපට ආර්ථික නිදහස ඇතේතේම නැහැ.

සිංහල, දෙමළ, මුස්ලිම් වගේම බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් විවිධ ජන කොටස් අවුරුදු 76ක කාලය තුළ ගහගන්නවා, මරාගන්නවා වගේ පෙනුණා. ඇත්ත වශයෙන්ම ජනතාව අතර එවැන්නක් නැහැ. අපේ පාලකයෝ බලයට එන්නත්, බලය පවත්වාගෙන යන්නත් ජාතිවාදය පාවිච්චි කළා; අදත් ජාතිවාදය පාවිච්චි කරනවා. පාස්කු ප්‍රහාරයට වසර පහක් ගෙවී තිබෙනවා. පාස්කු ප්‍රහාරය, ආගමික අන්තවාදී කොටසක් පාවිච්චි කරලා එක්තරා කණ්ඩායමක් දේශපාලන බලය ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව අද වන විට තේරුම් ගොස් තිබෙනවා. අවුරුදු 76ක් ගතවීත් අපේ රටේ ජාතික සමගිය, ආගමික සහජීවනය ගොඩනගන්න අසමත්වෙලා තිබෙනවා. බුදුරජාණන් වහනසේගේ ඉතා පැහැදිලිව දේශනා කර තිබෙනවා, සියලු‍ සත්වයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා, නීරෝගී වෙත්වා. එක් ජාතියක් පමණක් සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියා බුදුරජානන් වහන්සේ දේශනා කළේ නැහැ. නමුත් අපි රටක් විදිහට ශ්‍රී ලාංකේය ජාතිය සුවපත් වේවා කියන තැනකට තවම ඇවිත් නැහැ. අපේ පාලකයෝ හිතාමතාම දේශපාලන බල වුවමනාවන් වෙනුවෙන් ජාතික සමගිය නැතිකර තිබෙනවා.

අපේ රට බංකොලෙත් වෙන්න ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. බලයට ආව හැම පාලකයෙක්ම නිෂ්පාදනය බිඳ වැට්ටුවා. එදා කන්තලේ-සීනි, ඔරුවල-යකඩ, කැලණියේ- ටයර්, බලංගොඩ-පිඟන්, අනුරාධපුරේ- උළු ටික, හැදුවා. අදටත් අභයගිරිය, ජේතවනය නිර්මාණය කරන්න යොදා ගත්ත මැටි කොහොමද හදාගත්තේ කියන එක ලෝක විද්‍යාඥයන්ටත් සොයා ගන්න බැරිවෙලා තිබෙනවා. පුරා විද්‍යාඥයන් පරීක්ෂණ කළා. ඒ තරම් සවිමත්ව කළේ කොහොමද කියන එක ප්‍රශ්නාර්ථයක් වෙලා තිබෙනවා. ඉතිහාසයේ අපි ශක්තිමත් නිෂ්පාදනයක් මත පදනම් වුණු රටක්. පරාක්‍රම සමූද්‍රය, මින්නේරි වැව, තිසා වැව, කලා වැව හදා තිබෙනවා. යෝධ ඇළේ හැම හැතැප්මකට අඟලක බැස්ම ඇති කර තිබෙනවා. රුවන්වැලි සෑයේ කොත් වහන්සේ අංශක 90කට පිහිටුවා තිබෙනවා. ඒ නිර්මාණශීලී දායකත්වය, ඉතිහාසයේ අපේ රට තුළ සිටි ජනතාවගේ හැකියාවයි. එහෙම උරුමයක් තිබුණු රටක් වුණත් අද මේ පාලකයෝ ඒ සියල්ලත් විකුණා කන තත්වයකට පත්වෙලා. අපේ වැව් ඇතුළු ජාතික සම්පත් සියල්ල, විකුණලා රට ණය කරලා, බංකොලොත් කරලා දැන් කියනවා ඉස්සරහට යන්න විදිහක් නැහැ කියලා. අපේ රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කරලා ආර්ථිකය කඩා වැට්ටුවා. එදා සිට මේ රටේ ක්‍රියාත්මක වෙන දේශපාලන, සංස්කෘතිය අපේ ආර්ථිකය කඩා වැටෙන්න හේතුවක්. ඒ සංස්කෘතිය තුළ හැම ආර්ථික ව්‍යාපෘතියක් පිටුපස්සේ හොරකම, වංචාව, නාස්තිය, දූෂණය ගැට ගැහුණා.

දැන් අපි සියලු‍ දෙනාටම වගකීමක් තිබෙනවා. මුලින්ම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. නිෂ්පාදනය මත පදනම් වුණු රටක් ගොඩනගන්න ඕනෑ. එසේ නම් මේ පාලකයන් අපි ඉවත් කළ යුතුමයි. රටට ආදරය කරන, සැබෑ දේශප්‍රේමී, සැබෑ ජනතා හිතවාදී කණ්ඩායමක් මේ රටේ පාලනය බලය අතට ගත යුතු වෙනවා.

අද ගමේ ජනතාව ඔබ වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මේ අතරමං වුණු ජනතාව එතැනින් මුදා ගැනීම සඳහා මාර්ගෝපදේශයක් සපයන්න කියලා. ඒකට මඟපෙන්වන්න කියලා. අද අපි හැමෝටම වගකීමක් තිබෙනවා මේ විනාශයේ අගාධයෙන් රට මුදා ගන්න. ඒ ජාතික මෙහෙවරට අපි දායක වෙමු. නායකත්ව වගකීම අපි බාර ගනිමු.

advertistmentadvertistment
advertistmentadvertistment