මහැදුරු සනත් නන්දසිරි සුලවතාණෝ දිවියෙන් සමුගෙන ගොසිනි. හෙතෙම පරිසමාප්තියට පත් සංගීතවේදියකු ලෙස හැඳින්වීමෙහි ලෝබ විය යුතු නැත. උත්තර භාරතීය සංගීතයේ ගැඹුරුතම තැන් ස්පර්ශ කළ විශාරදයකු වුවද එදා ගීත නිර්මාණයේදී එක් සාම්ප්‍රදායකට සිරගත වූවකු නොවේ. එළැඹි කවර පරම්පරාවක් සමග වුව යාවත්කාලීන වන්නට” එකඟවන්නට ඔහු තුළ තිබූ නිහතමානී ගුණයම” මෙතරම් සහෘද පිරිසක් ඔහු හා රැඳෙන්නට හේතු වූ බව කිව යුතුය.
කොළඹට නුදුරුව ගොතටුව නම් ගමෙහි 1942 වසරේ පෙබරවාරි 15 වැනි දින උපන් ඔහු එවක එගමෙහි සුන්දරත්වය හා සරු බව සමග බැඳී” හැදී වැඩුණේය. එකවර පාසල් දෙකක ඉගෙනුම ලබන්නට අවස්ථාව උදාවීම ඔහුගේ දිවියෙහි සුවිශේෂී අවස්ථාවක් සේ සැලකේ. ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීම සඳහා සැඳෑ යාමයේ දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයටත් සිංහලෙන් අධ්‍යාපනය ලැබීම සඳහා උදයවරුවේ ගමේ සිංහල පාසලටත් සනත් නන්දසිරි සිසුවා ඇතුළත්ව සිටි බව කියැවේ.
එවක සනත් නන්දසිරි දරුවාගේ ‘පොඩි තාත්තා. හොඳ ගායකයකු වීම ඔහුගේ දිවියෙහි සංගීතය පිළිබඳ ඇල්මක් ඇති කරන්නට හේතුවූ එක් සුවිශේෂ කඩඉමකි. එහෙත් පසු කලෙකදී ‘පොඩි තාත්තා. ගායන ශිල්පියෙකු නොව ‘ගීත ගැයීමට හැකි අයෙක්. ලෙස හඳුන්වන්නට සනත් නන්දසිරි මදකුදු පසුබට වූයේ නැත. ඒ” ගීත ගායනා කිරීමේ හැකියාවක් නොමැතිව වුවද ‘ගායන ශිල්පීන්. බවට පත්වන උදවියට බොහෝ දේ අවබෝධ කරවමිනි. ඒ දවස ඔහු ගුවන්විදුලියට ළමා මණ්ඩපයට පය ගසන්නේ ළපටි සිත දරා හුන්” කෙමෙන් වැඩෙන ඒ සංගීත ඥානය ද පෙරටුකර ගනිමිනි.
අනතුරුව බොහෝ කාලයක් ගතවූයේ නැත. ඒ තරුණයා ශාස්ත්‍රීය සංගීතයෙහි මූලයන් හඳුනා ගනිමින්” ඒ සමගම නව සංගීත රටාවන්ගේ විකාශනයන් ද දැන හැඳින ඒවා නිවරැදිව භාවිතයට ගත් සපිරි සංගීත ඥානයකින් යුත් විශාරදයකු ලෙස සංගීත ලොවට පිවිසියේය.
හේ භාත්කණ්ඩේ විද්‍යාපීඨයෙන් ගායනය පිළිබඳ නිපුන් උපාධිය සමත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ වාසනාව ලද්දේය. එමෙන්ම පසු කලෙක කැලණිය විශ්වවිද්‍යාලයේ සංගීත අංශාධිපති වශයෙන්ද කටයුතු කළ විශාරද සනත් නන්දසිරි සුලවතාණෝ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ ප්‍රථම මහාචාර්යවරයා ද වන්නේය.
ඔහු දිවියෙන් සමුගෙන දින කිහිපයක් ගතවන තැන ‘දිවයින ඉරිදා සංග්‍රහයේ. මීවිත 2009 නොවැම්බර් 01 වැනි දින ඒ විසල් සංගීතවේදියා සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක් නැවත පළකරන්නේ ඔහුට පිදෙන උපහාරයක් ලෙසිනි. මේ ඔහු අප සමග එදා කතාබහ කළ දෑය.
ගොතටුව ගමේ නිවසේ ග්‍රැමෆෝනය සහ ගුවන් විදුලිය” සංගීතය ගැන ඔබට බොහෝ දේ ඉගැන්වුවා.
ඇත්තටම” ඒ වකවානුවේ අපේ ගම් පළාතටම මුලින්ම ග්‍රැමෆෝනයක් කියලා තිබුණේ අපේ ගෙදර. ඒ වගේම ගුවන් විදුලියක් තිබුණෙත් අපේ ගෙදර. මේ දෙකටම සවන් දීම තුළින් මගේ සංගීත රසාස්වාදය කිරීමේ හැකියාව දියුණු වුණා කියන කාරණය නිවැරැදියි.
ඒ කාලයේ මේ හැම එකෙන්හිම අපට අහන්න ලැබුණේ ශාස්ත්‍රීය සංගීතය. එහෙමත් නැත්නම් රසාස්වාදය උපරිම මට්ටමකින් තිබුණු ගීත. අද ඒවා අහන්නත් නැහැ. ගුවන් විදුලියේ පවා එවැනි ශාස්ත්‍රීය සංගීතය මුසු වැඩසටහනක් අසන්නවත් නැති තරම්.
එවකට ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංගීතය ‘පිරිත්. තරමටම අසන්නන්ට සමීප බව අසා තිබෙනවා.
ඇත්තෙන්ම ඔව්. ඒ කාලයේ ශාස්ත්‍රීය සංගීත වැඩසටහනක් ආරම්භ කරන විට ඇහෙන තේමා වාදනයම අපේ වැඩිහිටියන් සහ එකල කුඩා දරුවන්ව සිටි අප ගුවන් විදුලිය අසන්නට පෙළඹවීමක් ඇති කළා. වර්තමානයේ එවැනි රසඥතාවක් ඇති වැඩසටහන් අහන්නම නැති තරම්.
හැටේ දශකයේ මැද සහ හැත්තෑව දශකයේ සනත් නන්දසි හා වික්ටර් රත්නායක යුගලය” එක්වී සිංහල ගීතයට නව මාවතක් එක් කළා. සරල ගීතයට නැවුම් මුහුණුවරක් දුන් මේ වෙනසට ශ්‍රාවකයා ප්‍රිය කළා.
ඇත්තටම එදා ඒ වෙනසට මම සහ වික්ටර් රත්නායකයන් පමණක් නොවේ බොහෝ දෙනා හවුල් වුණා. හැබැයි එදා අපි ඒ ඇති කළ වෙනස දැන් වගේ ගීතය කනපිට හරවා රසිකයන්ට එය එපා කරවන අන්දමේ එකක් නොවේ. අදටත් ඒ ගීත ශ්‍රාවකයා රසවිඳීමේ රහස ඒකයි.
ඒත් පස්සේ කාලෙක ඔබ නිකුත් කළ ‘නිම් නැති ආකාසේ. කැසට් පටයට විවේචන එල්ල වුණා. එහි “ඔබෙ සුවඳ පිරුණු පුංචි කාමරේ” වැනි ගීතවලට තදින් විවේචන එල්ල වුණා.
අපිත් නව ලෝකය නව නාද රටා සොයා යා යුතුයි. ‘ඔබෙ සුවඳ පිරුණු පුංචි කාමරේ. ගත්තොත් ඒ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. නමුත් ඒ ගීතය හරසුන් නිර්මාණයක් නොවේ. මගේ අනිකුත් ගීත සේම එය අදටත් රසවිඳින රසිකයන් ඉන්නවා. ඒත් එම කැසට් පටයේම අඩංගු ‘නිම් නැති ආකාසේ. වැනි ගීයක් අවධානයට ලක් නොවුණේ ඇයි කියන ගැටලුව මා තුළ ඉතිරිව තිබෙනවා. මගේ ජීවිතයේ කිසි දිනෙක පසුබෑමක් ඇති වී නැහැ.
නමුත් ඔබ ඇතුළු විදග්ධ කලාකරුවන් රැසක් ප්‍රකාශ කරන උසස් කලා පෙළක් ගොඩනැංවීමට මේ ‘වෙළෙඳ සමාජය. තුළ විකිණෙන අපට හැකියාවක් ලැබෙයිද?
මේක අපේ රටේ කලාකරුවන්ගේ ජීවන මට්ටම එක්ක නැගෙන ප්‍රශ්නයක්. ඉන්දියාවේ වගේ රටක නම් උසස් සංගීත හැකියාවක් ඥානයක් තිබෙන කලාකරුවන්ට ඉහළින්ම සලකනවා. අපේ රටේ සිද්ධ වෙන්නේ යම් යම් වාණිජ ආයතන කලාකරුවන් මිලදී ගැනීමයි. ඒකේ අයහපත් ප්‍රතිඵලය තමයි මේ ක්‍ෂේත්‍රයට ප්‍රබුද්ධ මට්ටමෙන් දායක වූ ශිල්පීන් පැත්තකට දාලා බොහෝ වෙළෙඳ ආයතන සිය වෙළෙඳ අරමුණු ඉටුකර ගැනීමට හරසුන් දේ ජනතාව අතරට යැවීම. රූපවාහිනිය ප්‍රමුඛව මේ රටේ හැම මාධ්‍යයක්ම ඒකට අනුගත වෙලා ඉවරයි. ගුවන් විදුලි නාලිකා ගණන් කරන්න බැරි තරම් තියෙන රටේ අපිට අහන්න එක හොඳ ගීතයක් නිර්මාණය වෙලා තියෙනවාද?
විශේෂයෙන් කියන්න ඕන” මේ වෙළෙඳ සමාගම් අවතක්සේරු කරන ලද බොහෝ කලාකරුවන් ජනතාව විසින් අදටත් පිළිගන්නා විශිෂ්ටයන් පිරිසක් බව. ඒක ඒ වෙළෙඳ සමාගම් අවබෝධ කරගෙන නෑ. නැතිනම් වුවමනා වෙන්ම අමතක කර තිබෙනවා. විවිධ ආටෝප ප්‍රසංග සඳහා අත දිගහැරලා වියදම් කරන සමාගම්” කලාවේ දියුණුවට සත පහක් ආයෝජනය කරන්නේ නැහැ. බොහෝ ආයතන කියන්නේ ඔවුන්ගේ ප්‍රසංග රැල්ල අලුත් තරු බිහි කිරීමට බවයි. එකම විදියට නිවේදන කටයුතු කරන හැම තරු ප්‍රසංගයකම නිවේදකයෝ අපේ වෑයම ගායකයෙක් බිහිකරන්නයි. කියලයි කියන්නේ.
මම අහන්නේ ගායකයෝ බිහි කළ යුතුයි. ඒත් ඉන්න අය මැරිලද? මේ වෙළෙඳ ආයතන ප්‍රබුද්ධ කලාකරුවන් විනාශ කරන අතරෙම රසිකයන්ගේ රසඥතාවක් විනාශ කරනවා.
උදේශ ගමගේ