පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ පිරිසක් අරගලකරුවන්ට සිදුකළ පහරදීම් වැළැක්වීම සඳහා නිසි පියවර ගැනීමට අපොහොසත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අවස්ථා තුනකදී ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලබන 24 වැනිදා තම අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (3 දා) නීතිපතිවරයාට නියෝග කළේය.
නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට ලබාදී ඇති එහි උපදෙස් ක්‍රියාත්මක කිරීම පැහැරහැර ඇත්තේ කුමන නිලධාරියාදැයි වහාම තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටද එහිදී නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ලබාදී ඇති උපදෙස් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙසටද නීතිපතිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.
එම නඩුවේ සැකකරුවන් වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක හා මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් භාවිත කළ ජංගම දුරකථන වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
අරගලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සුක වන පොලිසිය ඔවුනට ඉතා අමානුෂික ලෙස පහරදුන් මැරවරයන්ට ඔවුන් වෙහෙස වූ පිරිසට හා එකී පහරදීම්වලට ඉඩහැර රාජකාරි වගකීම් පැහැර හැරිය දේශබන්දු තෙන්නකෝන් වැනි නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පැහැරහැර ඇති බව අරගලකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.
දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන උද්ධෘත තම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට ඇතත් පෙරකී සැකකරුවන් භාවිත කළ ජංගම දුරකථන සම්බන්ධයෙන් රස පරීක්‍ෂකවරයාගේ වාර්තා ලැබෙනතෙක් දේශබන්දු තෙන්නකෝන් ඔහුගේ රාජකාරි වගකීම් පැහැරහැර ඇති දැයි නිශ්චිතවම තහවුරු කර ගැනීමේ හැකියාව නොමැති බවත් එකී වාර්තා ලැබුණ පසු ඔහු වෙත අපරාධමය වගකීමක් පැවරීමේ හැකියාව ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නාය.
එම නඩුව ලබන 24 වැනිදා යළි කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක