නීතිපති තීරණය බලරහිත කරන්න – ඥාතීහු අභියාචනාධිකරණයට යති

228

තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අතුරුදන් වූවන්ගේ ඥාතීහු සිවුදෙනෙක් අභියාචනාධිකරණයට ඊයේ (13 දා) පෙත්සමක් ගොනු කළහ.

එම අධිචෝදනා දිගටම පවත්වාගෙන යෑමට නීතිපතිවරයාට බල කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අධිචෝදනා ඉවත් කර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් සරෝජා නාගරාජා මහත්මිය ඇතුළු පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

නීතිපතිවරයා විසින් 14 වැනි විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර නඩු පවරනු ලැබුවේ එම අධිචෝදනා සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි ඇති බවට තීරණය කිරීමෙන් පසුව වන්නේ යැයි සිය පෙත්සම මගින් දන්වා තිබූ පෙත්සම්කරුවන් එලෙස තිබියදී අධිචෝදනා ඉවත් කර ගැනීම නීතියට පටහැනි කි‍්‍රයාවක් බවට නිගමනය කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment