වගකිව යුත්තන් අහක බලන අම්පාරේ වැලි ජාවාරම මෙන්ම
හිතවත් භූ විද්‍යා ඉංජිනේරුවරයා අම්පාරට ගේන්න බැරි නිසා හතේ කල්ලියට අවුල්
හතේ කල්ලියේ නායකයාගේ වත්කම් පරීක්ෂා කරන්න
රජයේ නිලධාරීන් රැසක් වැලි ජාවාරමට හවුල්
කොළඹ භූ විද්‍යා කාර්යාලයේ සමහර නිලධාරීන්ගෙන් හතේ කල්ලියට උදව්
අම්පාරේ වැලි ජාවාරමේ ඇත්ත කතාව යනුවෙන් අපි මීට පෙරම ‘දිවයින’ පුවත්පත මගින් ආනාවරණය කළෙමු. එය බොහෝ දෙනකුට රිදී තිබුණි. ජාවාරම මඳකට නැවතිණි. නැවතත් අම්පාරේ හතේ කල්ලිය ඇතුළු වැලි ජාවාරම්කරුවන් සිය ජාවරම් රිසිසේ ක්‍රියාත්මක කරමින් තිබේ. යළිත් වරක් වැලි සහ පස් ආධිපත්‍යය තමන් වෙත නතු කරගන්නට හතේ කල්ලියේ නායකයා උත්සාහ කරමින් තිබේ.
හතේ කල්ලියේ සිහිනය බිඳ වැටීම
අම්පාරේ වැලි සහ පස් ජාවාරමේ බලය නතු කරගනිමින් මීට පෙර සිටි අම්පාර භූ විද්‍යා ඉංජිනේරුවරයා තමන්ගේ සුරතලෙක් බවට පත් කරමින් සිටි හතේ කල්ලියේ නායකය ඇතුළු සහචරයන් වැලි ජාවාරමේ ඒකාධිකාරය පවත්වාගෙන ගියේ සාධරණ වැලි ව්‍යාපාරිකයන්ට ද පහර ගසමිනි. ඒ නිසා යතුරුපැදියකින් ගමන් ඇරඹූ එම හිටපු භූ විද්‍යා ඉංජිනේරුවරයා අද ඉන්නා තැන හා වත්කම් පිළිබඳව පරීක්ෂා කළ යුතුව ඇති බව අම්පාරේ බොහෝ දෙනෙක් පවසා සිටිති.
නමුත් වත්මන් අම්පාර භූ විද්‍යා ඉංජිනේරුවරයා පන්නා දැමීම සඳහා හතේ කල්ලියේ නායකයා ඇතුළු පිරිස ජාතිවාදය වපුරවමින් බොහෝ සේ වලිකෑහ. නමුත් ඔවුන්ගේ උත්සාහයන් සහ ප්‍රාර්ථනාවන් බිඳදමමින් වත්මන් අම්පාරේ භූ විද්‍යා ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන මොහමඩ් පාරිස් මහතාට ඉඩ ලැබුණි.
නමුත් මේ වන විටත් අම්පාරේ තක්කඩි වැලි සහ පස් ජාවාරම්කාර නඩය අදට ද මොහමඩ් පාරිස් භූ විද්‍යා ඉංජිනේරුවරයාව පන්නා දැමීමට විවිධ උත්සාහයන් ගනිමින් සිටිති.
කවුරු මොනවා කළත් අපි බය නැහැ, කොළඹ භූ විද්‍යා කාර්යාලයෙන් අපිව විමර්ශනය කරන්න කවුරු ආවත් භූ විද්‍යාවේ අධ්‍යක්ෂක ජනරාල් කියනවා ගිහින් අපේ අහවලාගෙන් විතරක් තොරතුරු අරන් එන්න, එයලගෙන් විතරක් කන්න බොන්න කියලා තමයි එවන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක්වත් බය නැහැ, අපිව විමර්ශනය කරන්න ආවාට යනුවෙන් හතේ කල්ලියයේ අයකු තැන් තැන්වල පුරසාරම් දොඩවමිවමින් සිය බලපු`ඵවන්කාරකම ප්‍රදර්ශනය කරමින් සිටින වග අම්පාරේ තතු දත් අය පවසති.
මේ පිළිබඳව භූ විද්‍යාවේ සභාපතිවරයාගේ දැඩි අවධානය යොමුවිය යුතු කරුණකි. මෙය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි කතාවක් නොව හොරාගෙන් පේන අහනවා වැනි කතාවකි.
කෙසේ නමුත් අම්පාරේ හතේ කල්ලියේ හොර තක්කඩි වැඩවලට සහාය දෙන්නට කොළඹ භූ විද්‍යා කාර්යාලයේ ඇතැම් නලධාරින් පිරිසක් සැමවිටම සුදානම්ව සිටින වග ඔවුහු නිතර පවසති. එයට මුදල් ඇතුළු ඔවුන්ට ඇවැසි දේ සපයා දෙමින් එම නිලධාරින් සතුටු කිරීමට හතේ කල්ලිය කටයුතු කරමින් සිටින බව තතු දන්නෝ පවසති.
කොන්ත්‍රාක්කරු වලතපිටිය වැව වනසද්දි වාරිමාර්ගය වගේ වගක් නෑ
වලතපිටිය වැව අයිති වන්නේ සම්මන්තුර වාරිමාර්ග කාර්යාලයටය. ගොවි සංවිධානයක ඉල්ලීම පිට එම වැවෙහි රොන් මඩ ඉවත් කිරීම පසුගිය කාලය පුරා සිදු කරන ලදී.
අම්පාරේ බොහෝ වැව්වල රොන් මඩ පිරී ඇති බව ඇත්ත කතාවකි. ඒ නිසා බොහෝ පස් සහ වැලි ව්‍යපාරය කරන්නෝ මෙම වැව් සුද්ද කිරීමට දැඩිසේ උනන්දුවක් දක්වති. වැවට සම්බන්ධ ගොවි සංවිධානයක් හරහා ඉල්ලීම් කරමින් ආදාළ අනුමැතියන් ලබා ගනිමින් වැව සුද්ද කිරීම අරඹති. නමුත් බොහෝ දෙනෙක් එසේ කරන්නේ ගොවීන්ට ඇති ආදරයට වඩා එම පස් සහ වැලි ඉවත් කර සෝදා වැලි ටික ලබා ගැනීමටය. එය රජ ඉල්ලීමක් කර ගන්නටය.
නැඟෙනහිර ජාතික උරුමයන් සුරකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන් ඇතුළු පිරිසක් සමග අප අවස්ථා කිහිපයක්ම වලතපිටිය ප්‍රදේශයේ සංචාරය කළහ. අපිට වලතපිටියේ දී හමුවූ මහාලිංගම් මහතා කීවේ, මෙම වැව හාරනවා කියා වැඩ පටන් ගත්තට හාරන්නේ වැවේ සීමාවෙන් පිට බවයි.
ආනේ මහත්තයෝ වැවේ වතුර අරන් තමයි ඒ අය පස් සෝදන්නේ. ආයේ ඒ වතුර යන්නෙත් වලතපිටිය වැවටයි කියා මහාලිංගම් කීවේය.
මේ ආකාරයට මහාලිංගම් පමණක් නොව, අපිට වලතපිටිය ප්‍රදේශයේ හමුවූ කිහිපදෙනකුම වැව හැරීමේදී සීමාවෙන් පිට පස් කපමින් නීතියට පිටින් කටයුතු කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිසි පරිදි අධීක්ෂණය නොකරන බවද පැවසූහ.
මෙලස වැවක් හාරන්න දීමේදි කොන්දේසි හතළිහකට ආසන්න ප්‍රමාණයක් සහිත ගිවිසුමත් අදාළ ගොවි සංවිධානය හා වාරිමාර්ගය අතර අත්සන් කරති. ඒ අනුව වැවේ පස් හා රොන් මඩ ඉවත් කරීම සිදු කළ යුතුව ඇත. නමුත් වලතපිටියේ වැව හාරන කොන්ත්‍රාක්කරු කරන්නේ තමන්ට වුවමනාදේය. එය අධීක්ෂණය කරන්නට වාරිමාර්ගයේ කිසිවෙක් නැත.
මෙවන් ආකාරයෙන් පස් කැපීමේදි එය අධීක්ෂණය කිරීමට ගොවි සංවිධානයේ මුදල් ගෙවීම මත වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අධීක්ෂණය කිරීමට කෙනකු දැමීම සාමන්‍ය සිදුවෙන ක්රමවේදයයි. නමුත් මෙම වැවේ කොන්ත්‍රාක්කරුවන් පස් කැපීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උපදෙස් මත නිසි ආකාරයෙන් සිදුකරන්නේ ද යන්න සොයා බලන්නනට කිසිවෙක් පත් කර නොමැත. ඒ නිසා කොන්ත්‍රාත්කරුවා රිසිසේ නීති මායිම් නොකරමින් සීමාවෙන් පිට පස් කපමින් තම මඩිය තරකර ගනිමින් සිටින වග ප්‍රදේශවාසීහු ඉරිදා ‘දිවයින’ට කීහ.
මේ ආකාරයෙන් පස් ඉවත් කිරීම දහවල් කාලයේ සිදුකළ යුතු වුවත් සමහර දිනවල රාත්‍රී කාලයේ පවා සිදුකරන බවද වලතපිටිය ගම්වාසීහු කීහ.
වැවක අයිතිය ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටය. නමුත් කොන්ත්රාක්කරුවා තම හිතුමතේ වලතපිටිය වැව් කුමරිය දූෂණය කර රීරිමාංසය උරා බොද්දි වාරිමාර්ගයේ නිලධාරීහු කිසිවක් නොකළහ. ජුනි මාසය අවසානයේදි අදාළ අවසර කාලය අවසන් වූ පසු මෙම වැවෙහි පස් කැපීම නැවතුණි. නැවතත් මෙම වලතපිටිය වැවේ පස් ජාවාරම කරන්නට අදාළ කොන්ත්රාක්කරුවා ගිවිසුම්ගත ගොවි සංවිධානයනය හරහා කටයුතු කරමින් සිටියි.
වැවේ පස් හා මඩ ඉවත් කිරීම සඳහා අදාළ ගොවි සංවිධානයට සිය සීමාව පෙන්වා මායිම් දමා දුන්න ද ඔවුන් එම මායිම් අලින් කැඩූ බව පවසමින් ඒවා ඉවත් කරමින් සීමාවෙන් පිට පස් කපන බව වාරිමාර්ගයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් මේ වන විට වලතපිටිය වැව පස් කැපීම පිළිබඳව මැනුම් කටයුතු සිදු කරන බවත් වාරිමාර්ගයෙන් කළ විමසීමේදි අපට අනාවරණය කරගන්නට හැකිවිය.
අශ්වයා ගිය කල ඉස්තාලය වසා වැඩක් නැතිවා සේ, බලපත්‍ර කාලය නිමාවෙනතෙක් ජාවාරම්කරුවා රිසි සේ තමන්ට ඇවැසි සේ පස් සෝදා රිසි සේ මුදල් උපයද්දි වාරිමාර්ගයේ අදාළ නලධාරීන් තොත්ත බබාලා ලෙසින් සිටියේ ඇයිදැයි සොයාබැලිය යුතුව ඇත.
අහිංසකයෙක් පුංචි වැරැද්දක් හෝ කල විට නිීතිය අකුරට ක්‍රියාත්මක කරනා වාරිමාර්ග නිලධාරීන් වලතපිටියේ වැවේ පස් ඉවත් කිරීමේදි කටයුතු කරන ආකාරය පිළිබඳව වෙනම විමර්ශනයක් සිදු කළ යුතුව ඇත. එලෙස නීතිවිරෝධී ආකාරයෙන් නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ අයට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ජනතාව දැඩි විමසිල්ලෙන් බලා සිටිති.
ජාවාරම්කාරයන් කරනා තවත් උපක්‍රමයක් නිසා රජයට රාජ්‍ය භාගය අහිමි වෙමින් තිබේ. ඒ වැලි සහ පස් කැණීම වෙනුවෙන් ලබා ගන්නා බලපත්‍රය නැවතත් භූ විද්‍යා කාර්යාලයට භාර දීමයි. ඉන් පසුව එම ස්ථානයේ පස් නොකපන බව පවසමින් ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ද සහාය ගෙන එම ස්ථානයෙන් සහ ඒ ආසන්නයේ පස් කැපීම සිදු කිරීමයි. ඒ සඳහා වෙනත් අයකුගේ ප්‍රවාහන බලපත්‍ර යොදා ගනියි. එම ප්‍රවාහන බලපත්‍ර නිසි පරිදි පොලිසිය විසින් අත්සන් නොකරීම නිසා එක ප්‍රවාහන බලපත්‍රයකින් තමන්ට රිසි ආකාරයෙන් පස් හෝ වැලි ඇදීමට ජාවාරම්කරුවන් රුසියන්ය.
මේ වන විට ගල්ඔය ගංගා කොමළිය ආශ්‍රිතව වැලි ගොඩදැමීමේදි දිගින් දිගටම නිීතිවිරෝධි ආකාරයෙන් වැලි ගොඩදැමීම් සිදුවෙමින් පවතියි. සීමාවෙන් පිට වැලි ගොඩදැමීම හා වැලි ගොඩදැමීම තහනම් දිනවල වැලි ගොඩදැමීම නිරන්තරයෙන් සිදුවෙමින් තිබේ. ගල්ඔය ගංගාවේ පමණක් නොව අම්පාරේ දිස්ත්‍රික්කයේ අනෙක් වාරි පද්ධතිවල වැලි ගොඩදමන බොහෝ තැන්වල මේ ආකාරයෙන් ජාවාරම් සිදු වෙමින් පවතියි.
ඒ, අම්පාර භූ විද්‍යා කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනාගේ සහාය නිසා සිදුවෙන බව තතු දත් අය ‘දිවයින’ට පැවසූහ. එපමණක් ද නොව, පසුගිය දිනවල අම්පාර භූ විද්‍යා කාර්යාලයේ සේවය කරමින් දැඩි චෝදනාවට ලක්වුණු කාන්තා නිලධාරිනියක් නැවතත් අම්පාර කාර්යාලයට පැමිණීම නිසා හතේ කණ්ඩායම මහත් සතුටට පත්ව තිබේ.
කෙසේ නමුත් අම්පාර භූ විද්‍යා කාර්යාලයේ ඇතැම් පිරිස් හතේ කල්ලිය ඇතුළු ජාවාරම් කල්ලිය ජාවාරම්කාර නඩයත් සමග එකතු වෙමින් කටයුතු කරන බව අම්පාර භූ විද්‍යා ඉංජිනේරු මොහමඩ් පාරිස් මහතා දැඩිසේ සිතට ගත යුතුව ඇත.
නමුත් මෙම තොරතුරු විමර්ශනය කරන්නට එන නිලධාරීන් ද වැඩ කරන්නේ හතේ කල්ලියට අවැසි ආකාරයට නම් එවැනි විමර්ශන කණ්ඩායම් පිළිබඳව සභාපතිවරයා දැඩි අවධානය යොමු කළ යුතුව ඇත. එම නිසා අම්පාරේ පමණක් නොව ලංකාවේ අනෙක් ප්‍රදේශවල තිබෙන භූ විද්‍යා කාර්යාලවල තිබෙන දූෂණ නැති කරන්නට නම් කොළඹ භූ විද්‍යා කාර්යාලයේ වැරදි කරන හා ජාවාරම්කාර තක්කඩියන්ට උදවු දෙන පිරිස් හඳුනා ගෙන ඔවුන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයාගේ වගකීම බව අපි නැවත නැවතත් පසක් කර සිටින්නෙමු.
හැම තැනකම තියෙන්නේ හොරකම, බොරුව, වංචාව. ජනතාවගේ වැටුපෙන් ජීවත්වෙන රාජ්‍ය ආයතන අද බොහෝ නිලධාරීන් කටයුතු කරන්නේ නිීතියට පිටින්. සාමන්‍ය ජනයා වෙනුවෙන් සාධරණයක් ඉටු වෙන්නේ නැහැ. ධර්මය අනුව හැසිරෙනවා. විනයගරුකව හැසිරෙනවා පොලිස් ආඥා පනත අනුව කටයුතු කරනවා කියන පොලිසියේ බොහෝ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අද ගැටලුකාරි තැනකට ඇවිල්ලා තියෙන්නේ. වැලි සහ පස් ජාවාරමට අද බොහෝ ඉහළ හා පහළ පොලිස් නලධාරීන් උදවු කරනවා යැයි ද නිරන්තරයෙන් අසාධාරණයන්ට එරෙහිව හඬ නඟන නැඟෙනහිර ජාතික උරුමයන් සුරකීමේ සංවිධානයේ සභාපති නාමල්තලාව ශෛලබිම්බාරාමාධිපති, අම්පාර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණෝ අදහස් දක්වමින් පවසා සිටියහ.
අද බොහෝ පොලිස් නිලධාරින්ට සේවය අමතකව ගොස් ඇත. ඔවුන් අද සිය රාජකාරිය නිසි ආකාරයෙන් කරනවා වෙනුවට වෙනත් දේ කරමින් මුහුණුපොතේ වැඩ්ඩන්ව සිටිති. සාධරණයක් ලබා ගැනීමට එන අහිංසක ජනතාව දැඩිසේ පීඩාවට පත්කරමින් සිටිති. මේ වන විටත් අම්පාරේ ද බහුලව දක්නට ලැබෙන තත්ත්වය එයයි.
සමහර පොලිසියේ ස්ථානාධිපතිවරු තහනම් දැල් භාවිතා කරමින් පොලිසියේ නිලධාරින් යොදවා වැව්වල මාළු අල්ලති. එයට විරුද්ධ වුණු ධීවරයෙක්, මාලයක් කැඩුවා යැයි කියමින් බොරු චෝදනා කරමින් උසාවි දැම්මා. ඉහළ නිළධාරීන් ද මෙවැනි පහළ නිලධාරීන්ගේ වැරදි අනුමත කරමින් නීතිය කාබසිනියා කරමින් සිටියි. අම්පාරේ ඇතැම් ඉහළ පොලිස් නලධාරීන්ගේ කෙරුවාව ගැටලුසහගතය. ඔවුන්ගේ රාජකාරියට පිටින් සිදුකරන විවිධ ව්‍යාපෘතින් සඳහා නොමිලයේ පස් සහ වැලි ලබා ගැනීම නිසා ජාවාරම් කල්ලියේ පදේට ඔවුහු නිරන්තරයෙන් නටති. පාටි දමති. පොලිසියේ ඉහළ නිලධාරීන් සමග පවත්වන සාද සඳහා පැමිණෙන රාජ්‍ය නිලධාරීන් පවා තීරණය කරන්නේ හතේ කල්ලියේ නායකයා විසිනි.
එනිසා ඔවුහු එක ප්‍රවාහන බලපත්‍රයකින් තමන්ට නිසිසේ වැලි ප්‍රවාහනය කරති. අනවසරව වැලි සහ පස් ජාවාරම සිදු කරති. යම් පොලිස් නිලධාරියෙක් වැලි ප්‍රවාහනය බලපත්‍රයේ අත්සන් කරමින් සිය රාජකාරිය හරියට කරන්නට සැරසුණු කල්හි තමන්ට හිතවත් ඉහළ නිලධාරීන් ලවා බලපෑම් කරමින් මෙම ජාවාරම් කාරයන් නීතියට පිටින් රිංගා යෑමට ජාවාරම්කාරයන් රුසියන්ය. ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් ජාවාරම්කාරයන් සමග ගනුදෙනුවේ යෙදෙද්දි පහළ ඇතැම් පොලිස් නිලධාරීන් රුපියල් හාර පන්සියයක් හෝ ලබාගෙන වැලි සහ පස් ප්‍රවාහනය කරන විට ප්‍රවාහන බලපත්‍රයේ අත්සන් නොකර ජාවාරම්කාරයන්ට සහාය දෙමින් සිටිති.
නැඟෙනහිර ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ මහතා සාධරණ, දක්ෂ පොලිස් නිලධාරියෙක් කියලා ජනතාව තුළ ලොකු විශ්වාසයක් තියෙනවා. අනාගත පොලිස්පති වෙනු ඇතැයි බොහෝ දෙනෙක් සිතනවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ පස් හා වැලි ජාවාරමට සම්බන්ධ අම්පාරේ ඉහළ හා පහළ පොලිස් නිලධාරීන් පිළිබඳව තමන් හිතවත් බුද්ධි අංශ යොදවා පුළුල් විමර්ශනයක් කරන්නට කියා ඉල්ලා සිටිනවා. ඒ අනුව සත්‍ය සොයාගන්න පුළුවන්. අනෙක් කරුණ නම් බලධාරීන් එකට එකතු වෙලා කමිටුවක් දමලා මෙම පස් සහ වැලි ජාවාරම නතර කරන්නට අවංකව ක්‍රියාත්මක වියයුතුයි යනුවෙන් නාරද හිමියෝ පවසා සිටියහ.
අම්පාරේ වැලි සහ පස් පිළිබඳව සිය ඒකාධිකාරිත්වයට පත්වීම සඳහා හතේ කල්ලියේ නායකයන්ගේ අභිලාෂය වී තිබේ. ඒ සඳහා යහමින් මුදල් වියදම් කරමින් කටයුතු කරන බව බොහෝ දෙනෙක් පවසන කරුණකි. ඒ නිසා මෙම හතේ කල්ලියේ නායකයාගේ වත්කම පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීම ඉතා කඩිනමින් කළ යුතුව ඇත.
ඒ සමග අම්පාරේ හිටපු භූ විද්‍යා ඉංජිනේරුවරයෙක්ගේ නිල මුද්‍රාව සහ අත්සන් හොරට ගසමින් වැලි ව්‍යාපාරයේ යෙදුණු අම්පාර භූ විද්‍යා කාර්යාලයේ වහලය උඩ පවා නැඟ විරෝධතාවයේ නියළුණු තක්කඩි ජාවාරම්කාරයෙක් අදට ද අහිංසකයෙක් බවට කොළඹ භූ විද්‍යා කාර්යලයට මුහණ පෙන්වමින් අම්පාර වත්මන් භූ විද්‍යා ඉංජිනේරුවරයාට එරෙහිව දිගින් දිගටම කටයුතු කරමින් සිටියි. හතේ කල්ලිය ඇතුළු මේ පිරිසගේ මූලික වුවමනාව වී ඇත්තේ කෙසේ හෝ වත්මන් අම්පාර භූ විද්‍යා ඉංජිනේරුවරයා ඉවත් කර තමන්ට හිතවත් හිටපු භූ විද්‍යා ඉංජිනේරුවරයා කෙලස හෝ අම්පාරට රැගෙන ඒමටය. එවිට අම්පාර භූ විද්‍යා ඉංජිනේරුවරයා රූකඩයක් බවට පත් කරගෙන පොලිසියේ සහාය ගෙන තමන්ට අවැසි පරිදි වැලි සහ පස් මාෆියාව කරගෙන යෑම මොවුන්ගේ අභිලාෂය බව අම්පාරේ පරිසරයට ළැදි බොහෝ පිරිසක් ‘දිවයින’ට අදහස් දක්වමින් පවසා සිටියහ.
මහත්තයෝ අපි සොබාදහම, පරිසරය ආරක්ෂා කරන්න ඕන. අනාගත පරපුර වෙනුවෙන් මේවා රැකගන්න ඕන. අපි හරියට වැලි සහ පස් වැනි දේවල් භාවිතා කරන්න ඕන. හරියට මල නොතළා රොන් ගන්නවා වැනි ආකාරයටයි යනුවෙන් නාරද හිමියන් පවසා සිටියේ පරිසරය අනාතගය වෙනුවෙන් නිරන්තරයෙන රැකගත යුතු නිසය.
ඒ නිසා වත්මන් භූ විද්‍යා සභාපතිතුමා ඇතුළු ඉහළ බලධාරීන්ගේ යුතුකම වන්නේ අල්ලසට යටවණු රාජ්‍ය නලධාරීන්ගේ සහායෙන් සිදුවන පස් සහ වැලි ජාවාරම නතර කර දමා අනාගත පරපුර වෙනුවෙන් නිසි පරිදි නිීතිය ක්‍රියාත්මක කිරීම බව අපි නැවත නැවතත් පසක් කර සිටින්නේමු. නීතිය කඩන ජාවාරම්කාරයන් මෙන්ම ඔවුන්ට උඩගෙඩි දෙන තක්කඩි නිලධාරීන්ට දඬුවම් දීම බලධාරීන්ගේ යුතුකම බව අපි පෙන්වා දෙන්නේමු. එසේ නොවුණහොත් අනාගත පරපුරේ ශාපයෙන් ඔබගේ මිනී වළවල්වලට පවා හෙන වැදෙනු ඇති බව ඔබ තරයේ සිතට ගත යුතව ඇත.
සුසන්ත අමර බන්දු