ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්රකාශනයේ ප්‍රමුඛතම පොරොන්දුවක් වූ රට තුළ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ කාර්ය හා ඇමෙරිකාවේ දේශසීමා අධීක්ෂණ කටයුතු මෙහෙය වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කටයුතු පිළිබඳ ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයා වන දැඩි මතධාරියකු වන ටොම් හොමන් පත් කරන බව නිවේදනය කර තිබේ. දේශසීමා අධීක්ෂණ කටයුතු සම්බන්ධ ප්‍රබලයකු වන ටොම්ව තමා දිගු කලක සිට හොඳින් හඳුනන බව පවසා ඇති නව ජනාධිපති ට්‍රම්ප් ඔහු තරම් දේශසීමා පාලනය කිරීමට හා ආරක්ෂා කිරීමට දක්ෂ අයකු නොමැති බව අවධාරණය කර තිබේ.
හොමන්ට සිය පරිපාලනය තුළ නීති විරෝධී අයුරින් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී සිටින සංක්‍රමණිකයන් ඔවුන්ගේ මවුරටට පිටුවහල් කිරීමේ කටයුතු ද භාර දී ඇති බව ට්‍රම්ප් සඳහන් කර තිබේ. මේ අතර ඉකුත් අඟහරුවාදා පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලයට අයත් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ පාලන බලය නව ජනාධිපති ට්‍රම්ප් නායකත්වය දරන රිපබ්ලිකන් පක්ෂයට හිමිව ඇතත් මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය දෙපැත්තටම දෝලනය වන ලකුණු පෙනෙන්නට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ආසන 435කින් සමන්විත මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඊයේ (11දා) වනවිට ප්‍රකාශයට පත් කර තිබූ ආසන 425න් ආසන 215ක් රිපබ්ලිකන් පක්ෂය විසින් දිනාගෙන තිබූ අතර ඩිමොක්රටික් පක්ෂයට හිමිව තිබුණේ ආසන 210ක සංඛ්‍යාවකි. එම මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ලබාගැනීම සඳහා ආසන 218ක් දිනාගත යුතුව තිබේ.