නීරෝගි සුව පතන හිසතෙල් ගෑම

160

සිංහල හින්දු අලුත් අවුරුදු සංස්කෘතික සැණකෙළියේ සිදුවන ක්‍රියා පද්ධතියේ හිසතෙල් ගෑම සුවිශේෂිතය. මේ හිසතෙල් ගෑමට ඇත්තේ දිගු ඉතිහාසයක් යැයි ඒ පිළිබඳව ඈතට තතු සෙව්වෝ පවසති.

සිංහල අවුරුදු සැණකෙළිය අද්‍යතන අවධියේ පවත්නා උළෙලට වඩා වෙනස් මුහුණුවරකින් අනුරාධපුර – පොළොන්නරු – දඹදෙණි යුගවල පැවතුණු අයුරු ඉතිහාසය හා සාහිත්‍යාගත තොරතුරුවලින් අනාවරණය වේ.

අනුරාධපුර අවධියේදී සියලු අස්වැන්න කපා ගත්තාට පසු සෞභාග්‍යයේ එසේ නැත්නම් සශ්‍රීකත්වයේ උළෙලක් රජ දවස පැවැතිණි. නෙළාගත් අස්වැන්න පරිහරණයට පෙරාතුව බුදුරදුන්ට හා දෙවි දේවතාවුන්ට එම මුල් බත පූජා කිරීම සිරිතකි. එදා රජවරු මහා විහාරයට හෝ අභයගිරියට ගොස් මෙසේ පිදීමෙන් අනතුරුව එහි වැඩ විසූ යතිවරුන් ලවා හිසතෙල් ගාගත් අයුරු මහාවංශාදි වංශකතාගත තොරතුරුවලින් අනාවරණය වේ.

මහායතිවරුන් ලවා මෙසේ හිසතෙල් ගා ගත්තේ ඇයි?

විශේෂයෙන් බුද්ධදාස රජු හිසට තෙල් ගෑම සඳහා අවශ්‍ය ඖෂධීය තෙල් සකස් කර දුන් බවද කියැවේ. මෙසේ යතිවරුන් ලවා හිසට තෙල් ගාවා ගනු ලැබුවේ නීරෝගිමත් දිවියක් ලැබීම හා මහා ප්‍රඥාව උදෙසාය යන්න පරමාර්ථයයි.

අද ද නුවර කලාවියේ ජනයා අනුරධපුර යුගයේ ඇති වුණු මේ සම්ප්‍රදාය අඛණ්ඩවම රකින බව පෙනේ. අස්වැන්න නෙළා ගැනීමෙන් අනතුරුව රුක්මූලයක් භාවිතයට ගෙන පූජාවක් පවත්වා ඉන්පසු පන්සලට ගොස් එහි වැඩ වසන බුද්ධ සංකේතයට මුල් බුද්ධ පූජාව තබා සංඝරත්නය ලවා හිසතෙල් ගාවා ගැනීම ජීවිතාශ්‍රිත පුරුද්දක් බවට පත්කරගෙන ඇත.

මේ හිසතෙල් ගෑමේ සම්ප්‍රදාය අද පරිණාමයට පාත්‍ර වී සිංහල – හින්දු අලුත් අවුරුදු සංස්කෘතිකම හා සැණකෙළියේ සුවිශේෂිත අංගයක් බවට පරිවර්තනය වී ඇත. ඇතැම් පෙදෙස්වල අලුත් අවුරුදු උළෙල ලෙස සලකනු ලබන්නේ හිසතෙල් ගෑමේ උළෙලයි. ජීවිතයේ සියලු දුක්ඛයන් මහා සයුරට එක්කොට අලුත් වසරට ජීවිතයේ අලුත් පිටුවක පරිච්ඡේදයක් පෙරළා ගැනීමේ අරමුණෙන් මෙසේ හිසට තෙල් ගාවා ගනු ලබන්නේ පෙර සිරිතට අනුගතව නීරෝගි දිවියක් ගත කොට ප්‍රඥාව ලැබීමේ අටියෙනි.

ජීවිතය නීරෝගී නැත්නම් එයට සාපේක්ෂව ප්‍රඥාව නොවූයේ නම් එම ජීවිතය නිසරු අර්ථ ශුන්‍යභාවයෙන් උපයුක්ත වූවකි. එබැවින් දුරදිග බලා මෙසේ ඖෂධීය තෙල්වලින් වැඩිහිටියකු නැත්නම් ගමේ පන්සලේ නායක හාමුදුරුවරුන් ලවා හිසතෙල් ගාවා ගැනීම ඉතාම වැදගත් කර්තව්‍යයක් බවට පත්ව ඇත.

මෙවර හිසතෙල් ගෑම අප්‍රේල් මස 15 වැනි දින පූර්ව භාග 10.17ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි යනු ජ්‍යොතිෂ නියමයයි.

වැඩි වශයෙන් මේ තෙල් හා නානු සකස් කරනු ලබන්නේ ගමේ පන්සලේ නායක හාමුදුරුවරුන්ය. නැකැත් සතරට අනුව කෙරෙන මේ භාග්‍යවත් සාපත්‍යයට මුළුමනින්ම උරදෙනු ලබන්නේ පන්සලේ නායක හාමුදුරුවන්ය. මුළු ගමටම තෙල් හා නානු සකස් කොට බෙදා දෙනු ලබන්නේ ද පන්සලයි. මෙය ඒ සඳහා කේන්ද්‍රස්ථානයයි. උදයේම පන්සලට ගොස් තෙල් හා නානු ගෙන ඒම අතීතයේ පැවැති සිරිතයි. මෙයට දසක තුනකට හතරකට පෙරාතුව මේ සම්ප්‍රදාය රට පුරා හැම පන්සලකින්ම සිදුවුවද අද එය ගමේ පන්සලෙන් දුරස්ථව ගමේ ප්‍රභූ ගෙදරකට පමණක් සීමා වී ඇත. එහෙත් සමහර පන්සල්වල නායක හාමුදුරුවන් මේ පැරණි සිරිතට මූලිකත්වය දෙමින් තෙල් හා නානු සකස් කිරීම ගැන ද අප පැසසිය යුතුය.

පැරණි පුස්කොළපොතක වට්ටෝරුවකට අනුව නානු සෑදීමට ගන්නා ඖෂධ මෙසේය. කලාඳුරු අල, කුංකුමප්පු, සුදුහඳුන්, විෂ්ණුක්‍රාන්තිය, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන්මුල්, සැවැන්දරාමුල්, නෙළුම්දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊතණ යන වර්ග 14 සමව ගෙන තලා අලුත් මුට්ටියකට දමා තම්බා පත අට දෙකට සිඳගනු ලැබේ. ඉන් පසු දිවුල් පත් කොටා ඒවායේ යුෂද දෙහි ඇඹුල්ද ඉහත සඳහන් දියරය දමා හොඳට මිශ්‍ර කොට පිරිසුදු රෙද්දකින් පෙරා ගනු ලැබේ. එවිට ලැබෙන දියරය ‘නානු’ ලෙස භාවිත කෙරේ.

හිසතෙල් සඳහා භාවිත කෙරෙන තෙල් වර්ග මෙසේයි. තල තෙල්, මී තෙල්, අබතෙල්, කොහොඹතෙල් හා එඬරු තෙල් මිශ්‍ර කොට ‘තෙල්’ සකසනු ලැබේ. මේ ‘තෙල්’ හා ‘නානු’ හිසට ගා නෑම සිදුකිරීම හිසතෙල් ගෑමේ උළෙලේ සමාප්තියයි.

මේ සඳහා උපයෝගි කොට ගන්නා අමුද්‍රව්‍ය ආයුර්වේදයේ සඳහන් ඉහළම ශාක සාරයයි. සොබාදහමෙන් මිනිසාට ලැබී ඇති අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කොට හිසේ ගල්වන්නට ඇත්නම් කොතරම් භාග්‍යයක්ද? එයින් විදහාපාන්නේ ජීවක ගුණයයි. මිනිසාගේ හිසේ රෝග නිවාරණය කරනු ලබන්නේ හිසේ තෙල් ගැල්වී මෙනි. හිසේ නිතර ඇතිවන වේදනාව, හිසරදය, අව්වේ යෑම අගුණ වීම, අකලට හිසකෙස් පැසීම, නුවණ වැඩීම ආදියට ශරීරයේ උත්තමාංගය වන හිසේ තෙල් ගැල්වීම ගුණදායකයි.

වසර ගණන් පිරිතෙන් පේ කරන ලද තෙල් යොදා සකස් කරන මෙම ඖෂධය හිසට ගල්වා ගන්නේද නීරෝගි වැඩිහිටියකු ලවාය. එසේ නැත්නම් ගෙදර බුදුන් ලෙස සලකන දෙගුරුන් ලවයා. එසේත් නැත්නම් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්, නැත්නම් නායක හාමුදුරුවන් ලවාය.

සිවු දිසාවේ වෙසෙන ඥාතීන් නිවෙස්වලට පැමිණෙන්නේද හිසතෙල් ගාන අවුරුද්දටය. බුලත් හුරුලු දී හිසට තෙල් ගාවා ගැනීම ද අද බොහෝ පළාත්වල සිදුවන හොඳ චාරිත්‍රයකි. නැකතට හිසේ තෙල් ගාගෙන ස්නානය කොට අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසී එකට හිඳ ආහාර අනුභවය ද හිසතෙල් ගාන දිනයේදී සිදුවේ. හැම මුහුණකම සතුට පිරි සෞභාග්‍ය පතා ඊළඟ වසර එළැඹෙන තුරු ජීවිතයට කිසිඳු උපද්‍රවයක්, ව්‍යසනයක් නොමැතිව ජීවත්වීම මෙහි තේමාවයි. නිමිත්තයි.

සමාජය රෝගී ත්ත්තවයෙන් පෙළෙන්නේ නම් එම සමාජය අඳුරට, අවපාතයට, අවරෝහණයට හා අසංවර්ධනයට ගොදුරු වීම කිසිසේත් නොවැළැක්විය හැකි කරුණකි. හිස තෙල් ගෑමේ අවුරුද්දෙන් ප්‍රතීත කරන්නේ නීරෝගි සමාජයක් උත්පාදනය කිරීමය.

ප්‍රියශීලි, කඩිසරශීලි, ප්‍රඥාශීලි ජන සාමජයක් නිර්මාණය කිරීම මෙහි මුඛ්‍යාර්ථයයි. එකිනෙකා වැලඳ ගන්නා, රුස්නා ප්‍රසන්නතා ජනක සමාජයක පුරවැසියන්ගෙන් සමුපලක්ෂිත වීම මෙහි තවත් අභිප්‍රේතාර්ථයකි.

රටේ සංවර්ධනයට නීරෝගි මනසක් තිබීම අත්‍යවශ්‍ය සාධකයකි. නව නිර්මාණශීලි හැඟීම්වලින් ප්‍රාදුර්භූත වූ සමාජයක් නිරතම ඉදිරියට ගමන් කෙරේ. අපගමනයක් එහි නොමැත.

අට අනූවක් රෝග නිවාරණය කොට ජීවිතයට සහන් එළියක් පතා හිසට තෙල් ගෑම මෙදා සෑම දෙනාගේම අභිලාෂයයි. මවගේ ඇකයේ සිටින බිලිඳාගේ හෝ බිලිඳියගේ හිසට තෙල් හා නානු ගාන්නේද මවයි. තම සිඟිත්තාට නීරෝගි දිවියක් ප්‍රාර්ථනා කිරීම ඇයගේ මෙදින කාර්යයයි. මිනිසා වඩාත් යෝග්‍ය වූ සමාජ තලයකට ඇදගෙන යන්නට අඩිතාලම දමන්නේද හිසතෙල් ගාන දිනයයි. ඒ තරමටම මෙදින ජීවිතයට ආකර්ෂණීය වූවකි.

ලෙඩදුක්වලින් තොර නිර්ආබාධිත වසරක් සඳහා කරන ආශීර්වාද පතන පැතුම් අලුත් අවුරුද්දේ උදාරවත් සිතුවිලි හා ප්‍රාර්ථනා වෙයි. වත්මන් ලෝකයේ තිබෙන විවිධ උත්සව අතර සිංහලයන් හා හින්දු භක්තිකයන් විසින් සමඟි දමින් බැඳී පවත්වන පැවැත්විය හැකි එකම උත්සවය මේ බක්මහ උළෙලයි.

ඒ ඒ නැකත අනුවද හිසට යොදා ගන්නා පත්‍රද වෙනස් වේ. ඉඹුල්පත් ද කරඳපත් ද ඇතැම් විට නා පත්‍ර ද, නුග පත්‍ර ද බෝ පත්‍ර ද යොදා ගැනේ. කොහොඹ පත්‍රවලට අමතරව නික පත්‍ර ද මේ සඳහා උපයෝගි කොට ගනු ලැබේ. මේ හැම ඖෂධීය පත්‍රයකින්ම මිනිසාට සෙත සලසයි. මේ සියල්ලෙන් සංකේතවත් කරන්නේ උපද්‍රවයන්ගෙන් තොර පින්බර දිවියක් උදාකර ගැනීමයි. පුළුල් වූ අර්ථයක හා පරාසයක විහිදී ගිය හිසතෙල් ගෑම සිංහල අලුත් අවුරුද්දේ සුවිශේෂිත වූ භූමිකාවකි.

මෙහි ගැබ් වී ඇති සමස්තාර්ථය. පෘථුලය. ගැඹුරුය. සමාජය වර්ගීකරණයකට පාත්‍ර නොකොට පන්සල තෙල් හා නානු බෙදා දෙනු ලබන්නේ බුදුරදුන් අපට දේශිත සමාජවාදි අර්ථකථනයට අනුගතවය. එයින් බැහැර වීමට අපට කිසිසේත්ම නුපුළුවන. මිනිසාගේ පැවැත්මේ වෛෂයිකභාවය පදනම් කරගෙන මෙබඳු සිරිත් අනුගමනය කිරීමට මිනිසා පොළඹවයි. එය සොබාදහම මගින් මිනිසා ඒ දිසාවට තල්ලු කරයි. දෝලනය කරයි. වසරක් ගෙවී එසේ නැත්නම් දවස් තුන්සිය හැට පහක් පසු කොට තවත් දින තුන්සිය හැට පහකට මුල පුරන මේ අවස්ථාවේ මෙවැන්නක් අපට දායාද කොට ඇත්තේද එහි ඵල වශයෙනි.

නීරෝගි සුව පතන හිසතෙල් ගෑම

ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරාධිපති
ශාස්ත්‍රපති පණ්ඩිත
අරම ශ්‍රී ධම්මතිලක නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment