නීලබැම්ම ව්‍යාපාරයේ මහා ඉඩම් කොල්ලයක්!

675

පිටගම්කාර කෝටිපතියො ඉඩම් අරගෙන නිධන් හොයනවා…

අක්කර විසිපහක එක ඉඩමක් කොල්ලකන්න යන්නෙ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයෙක්…

කොරෝනා කාලෙත් වගා කළා. කෑම, බීමවලින් අපිට ප‍්‍රශ්න තිබුණේ නෑ…

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සහ තබ්බෝව රක්‍ෂිතයට මායිම් වූ නීලබැම්ම විශාල ගොවිජනපදයකි.

කරුවලගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, සාලියවැව පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි නීලබැම්ම ව්‍යාපාරය පුත්තලම දිස්ත‍්‍රික්කයේ විශාලතම ගොවි ජනපදය බව ද වාර්තා වේ. ගොවි පවුල් හත්සිය පනහකට වැඩි සංඛ්‍යාවක් ජීවත්වන එම ගොවිජනපදය ආරම්භ වී ඇත්තේ 1994 වර්ෂයේදීය. කලාඔය හරස් කර විසල් ගල් බැමි යොදා සකස් කර තිබූ අමුණ සංවර්ධනය කරමින්, කුඩා ඔට්ටුපල්ලම දක්වා කිලෝ මීටර දොළහක් දුරකින් යුත් ඇළක් ඉදිකර, ගොඩ මඩ දෙකම අස්වැද්දීමට අවැසි ජලය ලබාදෙමින් නීලබැම්ම ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ දිවංගත අශෝක වඩිගමංගාව මහතාය.

නීලබැම්ම ව්‍යාපාරය යටතේ අක්කර එකයි තුන්කාලක් ගොවීන්ට ලබාදී ඇති අතර, මධ්‍යම පාන්තිකයින්ට අක්කර පහක් සහ අක්කර විසිපහේ කොටස් ඉහළ ආදායම් පාන්තිකයින්ට තිස් අවුුරුදු බදු පදනම මත ලබා දී ඇති බව ද වාර්තා වේ. එසේ ඉඩම් හිමි ඇතැම් ඉහළ ආදායම් පාන්තිකයින් පසුකාලීනව එම ඉඩම් අතහැර දමා ගිය විට ප‍්‍රදේශයේ ගොවීන් එම ඉඩම් ද වගා බිම් බවට පරිවර්තනය කර තිබේ. එහෙත් දශක තුනකට වැඩි කාලයක සිට වගා කටයුතු කරගෙන යන නීලබැම්ම ව්‍යාපාරයේ බොහෝ ගොවීන්ට ඉඩමේ අයිතිය තහවුරු කිරීමට බලපත‍්‍රයක් හෝ නැත. ඒ අවසරයෙන් රජයේ ඉඩම් කොල්ලකන දේශපාලනඥයන් නීලබැම්ම ව්‍යාපාරයේ ඉඩම් මහා පරිමාණයෙන් කොල්ලකෑමට පටන්ගෙන ඇති බව ප‍්‍රදේශයේ ගොවි ජනතාව සහ විහාරාධිපති වහන්සේ අප සමඟ පැවසූහ.

නීලබැම්ම ව්‍යාපාරයේ මහා ඉඩම් කොල්ලයක්!

‘‘නීලබැම්ම ව්‍යාපාරය යටතේ ගොඩ, මඩ ඉඩම් අක්කර එක්දහස් පන්සීයක් විතර වගා කරනවා. පවුල් හත්සිය පනහක් විතර ජීවත් වෙනවා. ඒ සියලූම පවුල් රැකෙන්නෙ ගොවිතැන් කරලා. මට දැන් අවුරුදු හැටඑකයි. ජීවිතෙන් අඩකටත් වැඩි කාලයක් මම කළෙත් ගොවිතැන…’’ ඒ හඬ නීලබැම්ම ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයාගේය. පුත්තලම දිස්ත‍්‍රික්ක ගොවි සංවිධානයේ සභාපතිවරයා ද ඔහුය. හේ ඩබ්ලිව්. එම්. සෙනවිරත්නය.

‘‘වගා කරන්න ගත්ත කාලේ අපිට තිබුණු ලොකුම ගැටලූව වන සතුන්ගේ හානිය. ඊට පස්සෙ කොටි ත‍්‍රස්තවාදීන් ගම්වැදීමත් ලොකු ගැටලූවක් වුණා. දැන් අපිට තියෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් ගැටලූවක්. ඒ කොළඹ, ජාඇල, මීගමුව ආදී විවිධ ප‍්‍රදේශවල දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇවිත් අපේ වගා බිම් කොල්ලකෑම. මේ ප‍්‍රශ්නය අපිට ආවේ මේ ආණ්ඩුව පත් වුණාට පස්සෙයි. අපි මේ කතාකරන වෙලාවෙත් මේ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයෙක්, අපේ කොල්ලො දෙන්නෙක් කරගෙන ගිය අක්කර විසිපහක වගා බිමක් බලහත්කාරයෙන් කොල්ලකාගෙන ඉඩම වටේ වැටකුත් ගහනවා. අක්කර විසිපහ පුරාම ඒ කොල්ලො එළවළු, පලතුරු, දෙහි හිටවලා තිබුණා. අක්කර දෙකක විතර පාතෝල මැස්සක් තිබුණා. තවත් ඒ තරම්ම වැටකොළු මැස්සකුත් තිබුණා. වගාකරලා තියෙන සියලූ බෝගවල හොඳ ඵලදාවක් තිබුණා. ඒ අස්වැන්නත් එක්කම තමයි ඇමැතිවරයාගේ ගෝලබාලයො ඉඩම වට කරලා වැට ගහන්නෙ. සියලූ රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නේ ඒ ඇමැතිවරයාට අවශ්‍ය විදිහට. අපිට වෙන අසාධාරණය කියන්න කවුරුවත් නෑ…’’

‘‘අපි කුඹුරු කරන ඔට්ටුපල්ලම කුඹුරුවලට වතුර නැති වෙන තරමට උඩ ඉඩම් කොටු කරගෙන වගා කරගෙන යනවා. ඒ ඉඩම් කොටු කරගෙන ඉන්න දේශපාලනඥයන්ට, ව්‍යාපාරිකයන්ට ඉඩමේ අයිතිය තහවුරු කරන්න කිසිම ලියවිල්ලක් නෑ. නීලබැම්ම ව්‍යාපාරයේ ගොවීන්ට නම් බදු ගෙවන රිසිට් පත‍්‍රයක් හරි තියෙනවා. අපේ ගොවීන් අවුරුද්දකට, අක්කරයකට රුපියල් හැටක බද්දක් ගෙවන්න ඕනෑ. ඉඩමේ ප‍්‍රමාණය අනුව බදු මුදල වැඩි වෙනවා. දැන් ඔය ඇමතිවරයෙක් බලහත්කාරයෙන් කොටු කරගෙන තියෙන ඉඩම් අක්කර විසිපහ තිස් අවුරුදු බදු පදනම මත ගත්ත ඉඩමක්. ඒ ඉඩම අයිති මහත්තයා මේ කොල්ලන්ගේ අසරණකම දැකලා තමයි වගා කරගන්න දීලා තියෙන්නේ. දෙවිවරු වගේ එහෙම මිනිස්සුත් ඉන්න රටේ තමයි මංකොල්ලකාර දේශපාලනඥයන් අහිංසකයන්ගේ ඉඩම් කොටු කරන්නේ. 25/9 කියලා තවත් අක්කර විසිපහක වගා කරන ගොවියො විසිපස්දෙනෙකුට වගා කටයුතුවලින් ඉවත් වෙන්න කියලා ලියුම් එවලා තිබුණා. අවුරුදු විස්සක් භුක්තිවිඳපු ඉඩම්වලින් තමයි ඉවත් වෙන්න කියලා ලියුම් එවලා තියෙන්නේ. මේ අසාධාරණකම් කාට නම් කියන්නද? උඩ ඉන්න දෙවියො හැර බිම ඉන්න කිසිම කෙනෙක් අසරණ අපිට නම් පිහිට වෙන්නේ නෑ…’’ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ මහ ගොවියා එසේ කියන විට සෙසු ගොවීන් ගැන කවර කතා ද? එහෙත් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයෙක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටිනවා කියන අක්කර විසිපහක වගා බිමේ එක් ගොවියකුගේ හඬට දැන් අපි සවන් දී සිටිමු. හේ ජානක අබේසිංහය.

‘‘කාලයක ඉඳලා මේ ඉඩම වගා කරන්නේ අපි. මේ ඉඩමේ අයිතිකාර මහත්තෙලා 1996 අවුරුද්දේ තිස් අවුරුදු බදු පදනමට තමයි මේ ඉඩම අරගෙන තියෙන්නේ. ඉඩම ලබාගැනීමට රුපියල් ලක්‍ෂයක බදු මුදලක් බැඳපු බවට රිසිිට් පත‍්‍රයක් තියෙනවා. ගොවිතැන් කටයුතු කරගෙන යෑමට එවකට පළාත් පාලන කොමසාරිස්තුමාගේ අත්සනින් නිකුත් කරපු ලිපියකුත් තියෙනවා. ඒ සියලූ ලිපි ලේඛන තියාගෙන තමයි අපි වගා කටයුතු කරගෙන යන්නේ. ඒත් 2009 අවුරුද්දේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ඉඩම අරගෙන වගා කටයුතු කරගෙන ගියා. කළු ගල්වල ඔළුව ගහගන්න බැරි නිසා ඉඩම දීලා අපි පැත්තකට වුණා. අවුරුදු දෙකක් විතර වගා කරලා නැවත අතහැරලා දැම්මා. සම්පූර්ණ ඉඩම නැවත මහ වනයක් බවට පත් වුණා. 2015 අවුරුද්දේ නැවත අපි ගොවිතැන් කරන්න පටන් ගත්තා. අක්කර තුනක විතර කුඹුරු කරනවා. ඉඩමේ ඉතිරි භූමියේ ගොඩ බෝග වගා කරලා තියෙනවා. එළවළු, පලතුරු දෙහි වගා කරලා තියෙනවා. ඒ අස්වැන්නත් එක්කම තමයි දේශපාලන හයියට ඉඩම කොටු කරගෙන යන්නේ. පහුගිය දවසක අපේ තාත්තා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් අපි ළඟ තියෙන ලියකියවිලි ඉදිරිපත් කරලා වෙලා තියෙන අසාධාරණය කියලා තිබුණා. ඒත් සාධාරණයක් වුණේ නෑ. අපේ සේසතම වියදම් කරලා තමයි ඉඩම අස්වද්දලා තියෙන්නේ. දැන් අපිට අස්වැන්න නෙළා ගන්නත් නෑ. අපි කබලෙන් ලිපට වැටුණා මහත්තයො…’’ ඒ දුක්බර කතාව අපට කීව ජානකට වයස අවුරුදු තිහකි. ඔහු දෙදරු පියෙකි. තරුණ ගොවියෙකි. ඔවුන් සතු සේසතම වියදම් කර, දුක්මහන්සි වී වගා කළ ගොවිපළේ අස්වැන්න නෙළමින් තිබියදී, දේශපාලන බලපුළුවන්කාරකම් මත කොල්ලකෑ විට හිතට දැනෙන වේදනාව ඒ තරුණයා කෙසේ විඳ දරාගෙන සිටිනවාද යන්න සිතාගැනීමටවත් නොහැකිය. ඔහුව තවත් ප‍්‍රශ්න කර අසරණ කිරීමට නොහැකි තැන අපි එම ඉඩමේ අයිතිකරු ගිහාන් පෙරේරා කියන කතාවට සවන් දුන්නෙමු.

‘‘අපි මේ ඉඩම ගත්ත කාලේ ඉඳලා මේ වෙනකොට ලක්‍ෂ සීයක් විතර වියදම් කරලා තියෙනවා. 2011 අවුරුද්දේ තාත්තා නැති වුණාට පස්සේ ඉඩමේ අයිතිය මට පැවරුණා. මමත් වියදම් කරගෙන වගා කටයුතු කරගෙන ගියා. වත්තේ සේවකයො පහළොවක්, දහඅටක් විතර වැඩ කළා. ඒ කාලේ වල් අලි අපේ වගා බිමට විශාල විනාශයක් කළා. හතර පස් වතාවක් සියලූම වගාව විනාශ කළා. ඒත් රජයේ කිසිම නිලධාරියෙක් ඒ විනාශයන් ගැන සොයා බැලූවේ නෑ. අන්තිමේ වගාව මට එපා වුණා. අසරණ මිනිස්සුන්ට වගා කරගන්න ඉඩ දීලා පුළුවන් විදිහට මමත් ඔවුන්ට උදව් උපකාර කළා. ඒත් මේ ආණ්ඩුවේ දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක වෙමින් ඉඩම බලහත්කාරයෙන් ගන්න ලොකු වෑයමක් දරනවා. ගහනවා, එළවනවා කියලා අපේ ගොවි මහත්වරුන්ට තර්ජනය කරලා තියෙනවා. අදාළ නිලධාරිනුත් ඒ දේශපාලන හස්තයට යට වෙලා. ඒ විතරක් නෙමෙයි, අවශ්‍ය උපදෙස් දෙන්නෙත් අදාළ නිලධාරීන් කියලා තමයි ආරංචිය…’’ නිල්ලෙන් සුදිලෙන වගා බිම් දකින විට නීලබැම්ම ව්‍යාපාරයේ සශ‍්‍රීක බව දෑස් පෙනෙන, මන්ද බුද්ධික නොවන ඕනෑම කෙනෙකුට වැටහේවී. කොරෝනා වසංගතයට රට වසා තිබුණත් මේ ගම්වල මිනිසුන්ට තුන්වේල කෑමට හාල්, එළවළු තිබුණු බව එම ප‍්‍රදේශවාසීහු ආඩම්බරයෙන් අප සමඟ පැවසූහ.

නීලබැම්ම ව්‍යාපාරයේ මහා ඉඩම් කොල්ලයක්!

‘‘කොරෝනා කාලෙත් අපි වගා කළා. අස්වැන්න විකුණාගැනීමේ ගැටලූ තිබුණු බව ඇත්ත. ඒත් අපි හොඳට කාලා බීලා ජීවත් වුණා. දැන් අපේ ඉඩම් අල්ලන්න එන එක දේශපාලනඥයෙක්වත් ඒ කාලේ ආවේ නෑ. මේ වගා ඉඩම් ටික පිටගම්කාරයො අතට ගියොත් ඒ මිනිස්සු මොනව කරයිද දන්නෙ නෑ. අන්තිමේ නැති වෙන්නේ අපේ ගොවිතැන. වගා බිම්වල වැඩ කරන අපේ් රස්සාව. එහෙම වුණොත් අපිට යන එන මං නැති වෙනවා. මේ ඉඩම් පරිපාලනය කරන ආයතනවල ඉන්න නිලධාරීන්ටත් ඕන ඒ ටික කරන්න…’’ නීලබැම්ම ව්‍යාපාරයේ ඉඩම්වල කුලියට වගා කරන සුනිල් ආරියවංශ එසේ කියන විට පාරම්පරික ගොවි මහත්මයෙක් වන කේ. ඉන්ද්‍රසෝම මෙසේ කීවේය.

‘‘රජය මේ ඉඩම් බදු දීලා තියෙන්නේ අස්වද්දන්න. ඒත් පිටගම්කාරයො මේ ඉඩම් අල්ලගෙන හොයන්නේ නිධන්. ඩෝසර් දාගෙන තියෙන නිධන් ගොඩ දාගන්නවා. ඊට පස්සෙ වටිනා ගස් කොළන් ටික කපාගෙන කෝටි ගානකට ඉඩම් විකුණා දාලා යනවා. ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට කිව්වට අහන්නෙත් නෑ. ප‍්‍රදේශයේ දේශපාලනඥයන්ට කිව්වත් ඵලක් නෑ. හැම කෙනෙක්ම මුදල්වලට යට වෙනවා…’’ විරාමයක් නොමැතිව ගලාගෙන යන ගොවි හඬට ඉහළ පුලියන්කුලම ශ‍්‍රී ලූම්බිණි විහාරයේ විහාරාධිපති මානෑවේ පක්‍ද්ක්‍දාරාම හාමුදුරුවෝ ද මෙසේ කරුණු එකතු කළහ.

‘‘නීලබැම්ම ව්‍යාපාරය යටතේ අක්කර 25-05 ඉඩම් කොටස් තිස් අවුරුදු බදු පදනම යටතේ බෙදාදීලා තියෙනවා. එහෙම දීලා තියෙන්නේ අවට ගම්වල ගොවීන් සම්බන්ධ කරගෙන ඉඩම් අස්වද්දමින් ගොවීන්ටත්, ඉඩම් බදු ගන්නා ව්‍යාපාරිකයින්ටත්, රජයටත් තුන්ගොල්ලන්ටම ආදායම් ලැබෙන විදිහටයි. ඒත් දැන් ඒ ඉඩම් පිට පළාත්වල දේශපාලනඥයො ඇවිත් බලහත්කාරයෙන් අත්පත් කරගන්න සූදානම් වෙනවා. අක්කර විසිපහක බදු ඉඩමක් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයෙක් ගන්න හදනවා කියලා මටත් ආරංචියි. ඒ දේශපාලනඥයාගේ ලේකම්වරයා කියා ගන්නා කෙනෙක් කියනවා ඒ ඉඩමට විදුලිය අරගෙන තියෙන්නේ ඒ ඇමැතිවරයාගේ බිරිඳගේ නමටලූ. යම් ව්‍යාපෘතියකට විදුලිය ගත්ත පමණින් පෞද්ගලික අයිතියක් ලැබෙන්නේ නෑ. ඒ වගේම යම් ව්‍යාපෘතියක් කළ පමණින් ඒ ඉඩමේ අයිතිය ව්‍යාපෘතිය භාරව සිටිය නිලධාරියාට හෝ ඔහුගේ බිරිඳට ලැබෙන්නෙත් නෑ. ඒ වගේම රජයේ ව්‍යාපෘතිවලට පෞද්ගලික නම්වලට විදුලිය ගැනීමත් වැරැද්දක්. යම් කෙනෙකුට, යම් බදු ගිවිසුමක් මත යම් දෙයක් ලබාදී ඇතිනම් ගිවිසුම්ගත කාලසීමාව තුළ එහි අයිතිය තියෙන්නේ බදු ගත් පුද්ගලයාට. ඔය ඇමැතිවරයෙක් අත්පත් කරගන්න යන ඉඩමේ බදු කාලසීමාව අවසාන වෙලා නෑ. අයිතිකාරයා නැති වෙලාවක, ඉඩමේ භාරකරුට තර්ජනය කර, ඉඩම අත්පත් කරගැනීමට යෑමත් නීති විරෝධී කි‍්‍රයාවක්. ඒ වගේම පිටස්තර පළාත්වල දේශපාලනඥයන්, ව්‍යාපාරිකයින් ඇවිත් මේ දුප්පත් ගොවීන්ට වගා කරන්න තියෙන ඉඩම් ටික බලහත්කාරයෙන් ලබාගැනීමත් වැරැද්දක් විදිහට තමයි මම දකින්නේ…’’ ප‍්‍රදේශයේ ජනතාවගේ ගැටලූ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පෙනීසිටින උන්වහන්සේගේ අදහස් දැක්වීම ඉතාම අගනේය. එම ප‍්‍රදේශයට ආවේණිික ගැටලූවක්ව පවතින වල්අලි ගැටලූව මෙන්ම තවත් බොහෝ ප‍්‍රශ්න සම්බන්ධයෙන් උන්වහන්සේ අපව දැනුවත් කළහ. ඒ සියලූ කරුණු වැදගත්ය. එහෙත් මේ ලිපියට බර වැඩිය. එහෙයින් නීලබැම්ම ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ ප‍්‍රධාන ලේකම් විජේරත්න මහතාගේ කතාවට අපි සවන් යොමු කළෙමු.

‘‘1994 වර්ෂයේ ආරම්භ කරපු නීලබැම්ම ව්‍යාපාරය පොඩි මිනිස්සුන්ට තැන දීපු සාර්ථක ව්‍යාපාරයක්. එම ව්‍යාපාරය තුළ ගොවි සංවිධාන හයක් තියෙනවා. ඒත් මෑතක ඉඳලා එක පිට ප‍්‍රශ්න එනවා, ඉවරයක් නෑ. කාලයක ඉඳලා තියෙන විදුලි වැටේ ගැටලූව. වගාවට අවශ්‍ය පොහොර නැති ගැටලූ. ඉඩම් කොල්ලකෑම. රාජ්‍ය නිලධාරීන්ගෙන් තියෙන කෙණහිලිකම්. මේ වෙනකොට අපි ප‍්‍රශ්න වැලක පැටලිලා ඉන්නේ. යුද්දෙ කාලෙවත් මෙච්චර ප‍්‍රශ්නවලට මුහුණදෙන්න වුණේ නෑ. තවම අපි ඉවසගෙන ඉන්නවා. බැරිම වුණොත් මේ ප‍්‍රදේශයේම ගොවියොත් එක්ක අපිත් පාරට බහිනවා…’’ විජේරත්න අනතුරු ඇඟවීමක් කරමින් කතාව නතර කළේය.

තිස් වසරකට වැඩි කාලයක් පැවති කොටි ත‍්‍රස්තවාදය තුළ මායිම් ගම්මානයක් බවට පත්ව තිබූ නීලබැම්ම ව්‍යාපාරයේ වැසියන්ට විඳින්නට වූ දුක්ඛ පීඩාවන් බොහෝය. ? ජාමයට ගමට කඩා වැඳුණු ත‍්‍රස්තවාදීන් පවුල් පිටින් කැති ගා දැමූ අවස්ථා ද නැතුවාම නොවේ. බිහිසුණු ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡුත්වයට බියේ නීලබැම්මේ වැසියන් ජීවත්වූයේ මර බියෙනි. එහෙත් නීලබැම්මේ ජීවත් වූ කිසිදු ගොවි පවුලක් ත‍්‍රස්තවාදීන්ට බියේ ගමහැර නොගියේය. ඒ ඔවුන්ට වෙනත් බිම් අඟලක් හෝ මේ රටේ නැති නිසාය. එමෙන්ම ගොවිතැන හැර ඔවුන්ට වෙනත් රැකියාවක්, කර්මාන්තයක් කිරීමට හැකියාවක්, දැනුමක් නොමැති නිසාය. එහෙව් අසරණ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය සොරාකන දේශපාලූවන්ට නම් හොඳක් සිද්ධ නොවන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම නම්, ගම් හෙළිදරව් කිරීමට අවැසි නැත. වාර්තා වන ආකාරයට නීලබැම්මේ අසරණ ගොවීන් වගා කරගෙන යන අක්කර විසිපහක එක ඉඩමක් ලබාගැනීමට පිඹුරුපත් සකස් කරමින් සිටිනුයේ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයෙක් බව සිහි තබාගැනීම දැනට ප‍්‍රමාණවත්ය…


බදු ගෙවලා මේ රටේ ඕනෑම පුරවැසියකුට නීලබැම්ම ව්‍යාපාරයේ ඉඩම් ලබාගන්න පුළුවන්…කරුවලගස්වැව ප‍්‍රාදේශීය ලේකම් තුෂාර බාලසූරිය

නීලබැම්ම ව්‍යාපාරයේ ගොවීන්ගේ ඉඩම් පිටස්තර දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් බලහත්කාරයෙන් අල්ලා ගන්නා සිද්ධිය ගැන කරුවලගස්වැව ප‍්‍රාදේශීය ලේකම් තුෂාර බාලසූරිය මහතාගෙන් අපි විමසා බැලූවෙමු. අපේ පැනයට ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි.

‘‘1994 ආරම්භ කරලා තියෙන නීලබැම්ම ව්‍යාපාරයේ ඉඩම් අක්කර විසිපහේ, පහේ සහ අක්කර එකයි තුන්කාලේ කොටස් බෙදා දීලා තියෙනවා. ඒ අනුව අක්කර විසිපහේ කොටස් විස්සක් විතර, අක්කර පහේ කොටස් හැටක් විතර බෙදා දීලා තියෙනවා. අක්කර එකයි තුන්කාලේ කොටස් විශාල ප‍්‍රමාණයක් බෙදා දීලා තියෙනවා. 1931 ඉඩම් සංවර්ධන ආඥා පනත ප‍්‍රකාරව අක්කර විසිපහේ කොටස් බෙදා දීලා තියෙන්නේ ඉහළ ආදායම් පාන්තිකයින්ට. අක්කර පහේ ඉඩම් වෙන් කරලා තියෙන්නේ මධ්‍යම පාන්තිකයින්ට. අක්කර එකයි තුන්කාල බෙදා දීලා තියෙන්නේ ගොවීන්ට. ඒ සියලූ ඉඩම් පුද්ගල නම්වලට වෙන් කරලා තියෙනවා. ඒ වගේම මේ ඉඩම් වෙන් කරලා තියෙන්නේ නීලබැම්මේ ව්‍යාපාරිකයන්ට විතරක් නෙමෙයි. මේ රටේ ඕනෑම පුරවැසියකුට දීර්ඝ කාලීන බදු ක‍්‍රම යටතේ ඉඩම් ඉල්ලූම් කිරීමට අවසර තියෙනවා. ඉල්ලූම්කරුවන්ට ඉඩම් ලබාදෙනවාද? නැද්ද තීරණය කරන්නේ ඉඩම් පරිහරණ කමිටුව. ඒත් ගමේ අය කියන විදිහට මේ ඉඩම් භුක්ති විඳින්න පුළුවන් නීලබැම්මේ මිනිස්සුන්ට විතරයි. එහෙම වෙන්නේ නෑ. ඒක වැරැදියි. රජයට බදු ගෙවලා මේ රටේ ඕනෑම පුරවැසියකුට නීලබෑම්ම ව්‍යාපාරයේ ඉඩම් ලබාගන්න පුළුවන්.

නීලබැම්ම ව්‍යාපාරයේ ඉඩම් දේශපාලනඥයො අරගෙන නැද්ද?

නෑ… ඒ කතාව අමූලික බොරුවක්. ඉහළ ආදායම් පාන්තිකයින් විතරයි ඉඩම් අරගෙන තියෙන්නේ.

තරංග රත්නවීර
රුවනි පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment