නුවර හදන්න යන අලූත්ම සැලසුම නිසා බෝගම්බර බිමට සමතලාවෙයිද…?

342

මහනුවර නගර මධ්‍යයේ ඇහැලේපොළ කුමාරි මාවතේ, අක්කර එකොළහකට ආසන්න භූමිය පුරා ඇත්තේ බෝගම්බර බන්ධනාගාර පරිශ‍්‍රයය. බි‍්‍රතාන්‍ය යුගයේදි ඉදි වූ වසර එකසිය හතලිස්හයක් පැරණි ගොඩනැගිල්ල තුන්මහල්ය. වෙන් නොවූ තනි පාදමකින් යුත් මෙය ආසියාවේ එලෙස ඇති එකම සහ තනිපාදමේ දිගම ගොඩනැගිල්ලය.
 
 ඉකුත් සති කිහිපය තුළ මහනුවර සංවර්ධන කමිටු රැස්වීමක් අතරතුර වූ කතා බහක් හේතුවෙන් මේ වන විට බෝගම්බර බන්ධනාගාරය පිළිබඳ ප්‍රෞඪත්වය ජනහදවත් තුළ කුඩුපට්ටම් වෙමින් තිබේ. නව දේශපාලන සංවර්ධන වැඩසටහන් ඔස්සේ මෙම ඉඩම මූල්‍ය ඉඩම් වටිනාකමට පමණක් ලඝු කොට මෙම ඉඩම සහිත බිම දැවැන්ත සංවර්ධන වැඩසටහනක් සඳහා යෙදවිය යුතුය යන්න මහනුවර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල ඇමැතිවරු ගෙන ආ යෝජනා මත මෙම කසුකුසුව මතුව තිබේ. බෝගම්බර තාප්පය බිමට සමතලා කොට නව ව්‍යාපෘතියක් සඳහා භූමිය වෙන්කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් කටයුතු සිදුවන බව ද කසුකුසුවට අයිති කාරණාය.
 
 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ගොඩනැගිල්ලේ ඇති පෞරාණික වටිනාකම පිළිබඳව දැන්වූ විට මහනුවර ප‍්‍රබල පෙළේ ඇමැතිවරුන් දෙදෙනකු එය බැහැර කර ඇත. එහෙත් ඒ වනවිට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හර්ෂාන් ද සිල්වා මහතා පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ ව්‍යුහය ශක්තිමත් බැවින් එය කඩා ඉවත් කළ යුතු නැති බවය. අනතුරුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩාමක් පාර්ලිමේන්තුවට ගෙන්වා කළ සාකච්ඡාවල දී ද දිගින් දිගටම මේ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට එළඹ ඇති තම තමන්ගේ ස්ථාවරය ඉහත කී ප‍්‍රබල ඇමැතිවරු දන්වා තිබිණි. කතාව ගොඩනැගෙන්නේ ඒ ප‍්‍රබල බලපෑම නිසාය.
 
 
 * සංස්කෘතික ඇමැතිවරයාගේ ප‍්‍රවිෂ්ටය
 
 එපමණකදු නොව මෙම බන්ධනාගාර පරිශ‍්‍රය සහිත බිම බන්ධනාගාර අමාත්‍යංශය භාරයෙන් නාගරික සංවර්ධන අධිකාරියට පවරන බවද, වෙනත් ඉඩම් හුවමාරුවක් මත සංස්කෘතික අමාත්‍යංශය යටතට ලබා දීමට ලිඛිත ලියැවිලි සකස් කර ඇති බවද පැතිර ගිය කතා අතර විය. එබැවින්ද සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා 31 වැනිදා මහනුවරට පැමිණ බෝගම්බර බන්ධනාගාර පරිශ‍්‍රයේ නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමද ඉවහල් කොට ගනිමින් ද ඔහු සමග කතාව ආරම්භ කළෙමි.
 
 ”බෝගම්බර බන්ධනාගාර පරිශ‍්‍රය නව ව්‍යාපෘතියක් සඳහා වෙන්කොට තබන කතාව නිවැරදියි. නමුත් එය සිදුවන නිශ්චිත ක‍්‍රමවේදය සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැහැ. මෙතන තිබෙන ඉඩම මා ලිඛිතව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගෙන් ඉල්ලා සිටියා. ඊට හේතුව ඔහුට උවමනා කර තිබෙනවා කොළඹ බන්ධනාගාරය එතනින් ඉවත් කරගෙන යන්න. ඒ සඳහා ඔහුට අප යටතේ තිබෙන හොරණ මිල්ලෑවේ ඉඩමක් ලබා දෙන්න සූදානම්. ඒ වෙනුවට මා බෝගම්බර බන්ධනාගාර පරිශ‍්‍ර භූමිය ඉල්ලා සිටියා. මොකද මගේ දැක්ම මෙවන් ඓතිහාසික භූමි අපි ඉදිරි අනාගතයට ආරක්ෂා කර තැබීම. මෙතන තිබෙන්නේ මූල්‍ය වටිනාකම සහිත ඉඩමක් පමණක් නොවෙයි. ලංකාවට උරුමකම් කී බි‍්‍රතාන්‍යයන් ගොඩ නැගූ ඓතිහාසික බව ලෝකයට පෙන්වන්න අපි ඉතිරි කර ගත යුතුයි. ඒ විතරක්ද මේ නුවර ඇති දෑසින් දැක අත්විඳිය හැකි ඉතිහාසය. එය කොයිතරම් නම් උරුමයක්ද? මේවා අපේ දැයේ දරුවන්ගේ සම්පත් මුතුන් මිත්තෝ ඉතිරි කර ගිය ඉතිහාසය අනාගතයට ආරක්ෂා කර දීමයි අපි කළ යුතු වන්නේ.
 
 ඒ විතරක් නෙවෙයි, කන්ද උඩරට උරුමයට අදටත් නෑකම් කියන කලා ශිල්පීන් විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ගේ නිර්මාණ සියල්ල සඳහා කලාගාරයක්, නිෂ්පාදන අලෙවිසල් ලෝකය සමග ගනුදෙනු කළ හැකි අන්දමට සැකසීමේ වෑයමක් මට තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් නිරන්තරයෙන් ගැවසෙන මහනුවර දේශීය විදේශීය අවන්හලක් (ජ්ෙෙැඒරසහ්) එකක් මේ වගේ සැලැස්මක් මා සතුව තිබෙනවා. ඒ සැලසුමේ කොතැනකවත් බෝගම්බර බන්ධනාගාර තාප්පය හෝ ගොඩනැගිල්ල බිඳ දැමීමේ සැලසුමක් නම් නැහැ. කෙටියෙන්ම කියතොත් මට උවමනා කර තිබෙන්නේ, බන්ධනාගාරය ඔස්සේ ලෝකයට විශ්වවිද්‍යාල දැනුම් ආකරයක් ලබා දෙන ස්ථානයක් බිහි කරන්න…” අමාත්‍යවරයා කීය.
 
 අමාත්‍යවරයා ප‍්‍රමුඛ රැස්වීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රබල පිරිස ද එක්ව සිටි අතර, එහිදි නිශ්චිතවම සිදුවන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තීරණය නොවිණි. එබැවින්ම බෝගම්බර ඓතිහාසික බව අප නැවත නැවතත් සිහිපත් කළ යුතුය. මහනුවර යනු ලොව ජීවමාන ඓතිහාසික නගරයකි. අදටත් අවසන් රාජධානියේ පෞරාණික බව අත්විඳිය හැකි සාධක එමට ඇති මෙනුවර, දළදා සමිඳුන් වැඩසිටින මැඳුර හැරි විට බෝගම්බර බන්ධනාගාරය සැනින් සිහිකරනුයේ අධිරාජ්‍යවාදි බි‍්‍රතාන්‍ය පාලනයේ ඉතිහාසගත බවය. රටපුරා ලොව පුරා දහසකුත් දරුදැරියන් විශ්වවිද්‍යාල සිසු දරුවන් මහනුවර කේන්ද්‍රගත කොට විවිධ අධ්‍යයනයන් සඳහා යොමුවන්නේද එබැවින්මය.
 
 
 * බෝගම්බර ඉතිහාසය
 
 බෝගම්බර සිරගෙය ඉදිකරනු ලැබුවේ බි‍්‍රතාන්‍ය – ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ උපදෙස් පරිදි බන්ධනාගාර සහ පොලිසිය පිළිබඳ ඉන්ස්පෙක්ටර් ජෙනරල්, මෙරට ප‍්‍රථම බන්ධනාගාර සහ පොලිස් කොමසාරිස් එන්. ආර්. සෝන්ඩර්ස් විසින් 1876 වසරේ දී ය. ප‍්‍රංශයේ වැදගත් ඓතිහාසික සටනකට මුල් වූ බැස්ටිල් හිරගෙදර ගෘහනිර්මාණ ශිල්පයට සමානව මෙම බෝගම්බර බන්ධනාගාරය නිර්මාණය කර ඇතැයි පැවසේ. බි‍්‍රතාන්‍ය මහ රැජනගේ ඔටුන්නට සමාන හැඩයක් සහිතව මෙම ගොඩනැගිල්ල ඉදි වී ඇත.
 
 බෝගම්බර බන්ධනාගාරයේ ඇති විශේෂත්වයක් වන්නේ එය කිසිම තැනකින් වෙන් නොවුණු තනි පාදමක් මත ඉදිකෙරුණු ආසියාවේ දිගම ගොඩනැගිල්ල වීම යි. දිගින් අඩි පන්සිය පනස් හයක්ද, පළලින් අඩි එකසිය හතළිස් හතරක්ද, උසින් අඩි එකසිය දෙකක් ද සහිතව එකම අත්තිවාරමේ මේ විශිෂ්ට ගොඩනැගිල්ල පිහිටුවා ඇත. බන්ධනාගාරය මහල් තුනකින් සහ සිරමැදිරි තුන්සිය විසි අටකින් සමන්විත වේ. ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද්දේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසිනි.
 
 
 * මෙතෙක් කළ සංවර්ධනය
 
 2013 වර්ෂයේ දී එනම්, ඉදිකිරීමෙන් වසර 138කට පසු බෝගම්බර සිරගෙදර හිස් විය. සිරකරුවන් අභිනවයෙන් ඉදිකළ පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත මාරුකර යැවිනි. මෙම ස්ථානයේ සංස්කෘතික උද්‍යානයක් නිර්මාණය කිරීමට සැලසුම් විය. 2014 ජනවාරි 01 වන දින සැලසුම් කරන ලද සංස්කෘතික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සඳහා බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම වසා දැමුණි. එහි පැවති භාණ්ඩ සියල්ලක් ශ‍්‍රී ලංකා රජය වෙත භාර දෙනු ලැබිණි. ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම ගොඩනැගිලි සහ භූමි ප‍්‍රදේශය 2014 ඔක්තොම්බර් මාසයේදී රජය විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භෞතික භුක්තිය හෙවත් නඩත්තු කිරීමේ අයිතිය පවරා දුන්නේය. පාලන භුක්තිය ගඟවට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ විය.
 
 මෙම ගොඩනැගිල්ලේ පෞරාණික හරය දැවැන්ත අර්ථයක් සහිතව ආර්ථික සම්පතකට පරිවර්තනය කර ගත හැකි ආකාරය දකිමින් වර්ෂ 2014 දී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා යටතේ ආරම්භ වූ මෙම සංවර්ධන ව්‍යාපෘතිය පවත්වාගන්නට 2016 දි පැවති යහපාලන ආණ්ඩුව කැබිනට් අනුමැතියක් ලබා ගත්තේය. ඒ කැබිනට් අනුමැතියට අනුව, බෝගම්බර බන්ධනාගාර භූමියේ නඩත්තු සහ ආයෝජන ප‍්‍රවර්ධන කටයුතු ආයෝජන මණ්ඩලය වෙත පැවරිණි. ඒ වන විටත් නාගරික සංවර්ධන අධිකාරිය මෙම භූමිය සඳහා සැලසුම් ව්‍යාපෘති සහ නඩත්තු පිළිබඳ වාර්තා සියල්ල සකස් කර තිබිණි.
 
 භූමියේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීමට ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ සිටි ගෘහ නිර්මාණ ශිල්පීන් සිදු කළේය.
 
 
 * අදියර තුනේ සංවර්ධන සැලැස්ම
 
 අදියර තුනකින් සංවර්ධන කටයුතු නිම කිරීමට සැලසුම් කර තිබිණි. බන්ධනාගාර වට බැම්මට පිටපැත්තෙන් පිහිටි අක්කර එකයි දශම පහක් (1.5) ක් පමණ වූ ප‍්‍රදේශය හෙවත් ඉදිරිපස අංගනය සංස්කෘතික ප‍්‍රසංග පවත්වන ස්ථානයක් ලෙස සැකසීමට යෝජනා විය. සමරු තිලිණ සහ අනෙකුත් දේශීය නිෂ්පාදන භාණ්ඩ ප‍්‍රදර්ශනය සහ අලෙවි කරන ස්ථාන, සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ඒ අතර විය.
 
 ව්‍යාපෘතිය යටතේ පොදු විනෝදාත්මක කටයුතු සඳහා වෙන් වූ මහජනතාවට නිදහසේ ගැවසිය හැකි පොදු අංගනයක්ද ස්ථාපිතකොට නිම කළේය. ඉදිරි අංගනයේ පිහිටා ඇති ඓතිහාසික ගොඩනැගිල්ලක් වන බන්ධනාගාර අධිකාරිවරයාගේ බංගලාව මධ්‍යම ඉංජිනේරු පුද්ගලික සමාගම විසින් මහා භාණ්ඩාගාර ප‍්‍රතිපාදන යටතේ රුපියල් මිලියන දෙසිය අනූහතයි දශම හතක් වියදම් කර නිම කළේය.
 
 පැරණි බන්ධනාගාර වට බැම්මට ඇතුළතින් පිහිටා ඇති පරිශ‍්‍රය අක්කර හයයි දශම අටක පිහිටා ඇත. මෙම භූමියේ ඇති රෝහල් පරිශ‍්‍රය අලූත්වැඩියා කොට සෙසු කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කෙරිණි. පරිශ‍්‍රයේ පෙර කොටසේ තරුපහේ හෝටල් දෙකක් ලෙස අලූතින් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට යෝජනා විය. මේ සඳහා රුපියල් මිලියන හත්සිය පනහක මුදලක් භාණ්ඩාගාරය මගින් අනුමත කර තිබිණි.
 
 කන්ද උඩරට සංස්කෘතික සහ කලාව පිළිබිඹු කරන නිෂ්පාදන සහ සේවාවන් ලබා දෙන ස්ථානයක්, කලා නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා ආසන එකසිය විස්සකින් යුතු රංග ශාලාවක් දේශන ශාලාවක් ඉදිකිරීමට සැලසුම් විය.
 
 පළමු අදියරේ වැඩ අවසන් වන්නේ වර්ෂ 2019 අගෝස්තු 24 වන දිනය. දෙවන අදියර එදිනම උත්සවශ‍්‍රීයෙන් ආරම්භ කෙරිණි. බන්ධනාගාර පරිශ‍්‍රයේ කරන මෙම ඉදිකිරීම් කටයුතු සිදුකෙරුණේ රටේ නීතියට අනුවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේය. ඉපැරණි ඉදිකිරීම් කිසිවකට හානි නොවන ලෙසය.
 
 
 * නාහිමිවරු…
 
 මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ද ඇතිව මහනුවර නගරයේ සංස්කෘතික ආකර්ෂණයට හානියක් නොවන අයුරින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය දියත් විය. මෙම භූමිය පුරාවිද්‍යා වටිනාකමින් අනූන බිමක් බැවින් එහි කිසිදු ගොඩනැගිල්ලකට හෝ තාප්පයට හානියක් සිදු කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ලෝක උරුම නගරයේ මහනුවර අභිමානයට කැලලක් සිදු නොවිය යුතු බවත්, මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහනායක ස්වාමින්වහන්සේ යහපාලන රජයේ ජනපති සහ අගමැති දැනුවත් කොට තිබිණි. සංවර්ධන යෝජනා සහ සාකච්ඡා පවත්වන සෑම අවස්ථාවකදීම මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හි ස්වාමින්වහන්සේගේ සහභාගිත්වය ද ඊට ලබා ගෙන තිබිණි.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුවේ මහින්දානන්දලා කඩා දමන්නට හදන්නේ වර්ෂ 2014 දී ආරක්ෂක ලේකම් ගෝඨාභය යටතේ ආරම්භ වී කෝටි ගණන් වියදම් කර සැලසුම් හදා සංරක්ෂණය කළ ලෝකයේ මිල කළ නොහැකි පෞරාණික ගොඩනැගිලිවලින් එකකි.
 
 මේ විනාශය කිරීමට එක්කෝ මේ ආණ්ඩුව රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත වෙනස් කළ යුතුය. නැතිනම් මේ ගොඩනැගිල්ල ගැසට් කර ඇති පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුවෙන් ඉවත් කළ යුතුය. නැතිනම් රටේ නීතිය බල්ලට දමා මේ ලෝක සම්භාවිත පුරා ස්මාරකය කුඩු කළ යුතුය. අනතුරුව නඩු සැඟවිය යුතුය.
 
 බන්ධනාගාර ඇමැතිවරයාගේ වගකීම
 
 ඒ කිසිවක් තබා නව බන්ධනාගාර අමාත්‍යවරයාට සිය පියාගේ මතකයෙන් ඈත්ව තීරණ ගැනීමේ හැකියාවක් නැති බව නුවර වැසියෝ දනිති. මන්ද ඔහු දේශපාලනයට ප‍්‍රවිෂ්ට වන මොහොතේ ඩෙන්සිල් අනුරුද්ධ රත්වත්තේ මහතා දුන් ප‍්‍රබල අවවාද අතුරින් එකක් වූයේ තමන්ගේ ඉතිහාසය කිසි විටෙක විනාශ නොකරන ලෙසය. ලෙයින් ලියැවුණු ඉතිහාසයේ පිටු අතර අද අනුරුද්ධ රත්වත්තේ නාමය ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ නම් ලොහාන් රත්වත්තේ මහතාට සිය පියාගේ දැවැන්ත වූ ශක්තිය කාණුපල්ලට වීසි කොට මුල්‍ය හෝ සංවර්ධන ක‍්‍රියාදාමයකැයි කියා බෝගම්බර ඓතිහාසික බන්ධනාගාරය බිඳ හෙළීමේ ව්‍යාපෘති සඳහා සිය පෑන මෙහෙයවිය නොහැකිය. මේ තාප්ප මත ඇත්තේ අපේ උරුමය බව ඔහුට හොඳ හැටි පියා විසින් කියා දි ඇති නිසාය. මහනුවර ජනතාව රත්වත්තේ නාමයට ගරු බුහුමන් කරන්නේ නම් ඒ අතීත ප්‍රෞඪත්වය ආරක්ෂා කරමින් ජනතා මෙහෙවරක යෙදීම නිසාය. මේ කිසිවක් දේශපාලන න්‍යාය පත‍්‍රයකට ලඝු කරන්නට ඇමැතිවරයකුට නොහැකිය.
 
 වර්තමාන ලෝකයේ පවතින ඓතිහාසික ස්මාරක පිළිබඳව ඇති සදාතනික ගැටලූව කාලය ඉතිහාසය සහ උරුමය පිළිබඳ වටිනාකම මූල්‍යමය වටිනාකමක් බවට පරිවර්තනය කර නොහැකි වීමය. දඹරන් පිළිමයක් මිල කළ නොහැක්කේ යම් සේද ඓතිහාසික ගොඩනැගිල්ලක් ද එලෙස මිල කළ නොහැකිය. මෙවන් පසුබිමක බෝගම්බර බන්ධනාගාර තාප්පය රැක ගැනීම ද මහා ප‍්‍රාඥයකුගේ හාස්කමකින්ම සිදු කර ගත යුතුය. මන්ද අද සිටින බහුතරයක් මැති ඇමැතිවරුන්ගේ හදවත් පිරී ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකින් නොව මූල්‍ය තැන්පතු මතම බැවිනි.  

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment