නූතනත්වයේ කළමනාකරණය භෞතිකවාදී ද? විඥානවාදී ද?

104

අනාගතවාදී දැක්මෙන් යුතු සමාජ ව්‍යුහයක් තුළ කළමනාකරණ සංකල්පය අතිශය වැදගත් කාලීන මාතෘකාවක් බවට පත්ව ඇත. අතීතයේ ලද ප්‍රාග් ආනුභූතිකත්වය (පෙර ලද අත්දැකීම්) තුළින් වර්තමානය ගොඩනඟා ගැනීමටත් ඒ ඔස්සේ ඉදිරිපෝෂණයක් හෙවත් අනාගතය පිළිබඳ අර්ථකථනයක් සපයා ගැනීමටත් කළමනාකරණ සංකල්පය පුද්ගල ජීවිතයට පමණක් නොව කිසියම් සංවිධානයක පැවැත්මට ද වැදගත් වූවකි.

සැබවින්ම කළමනාකරණ සංකල්පය අර්ථකථනය කර ගැනීමේදී එය කිසියම් ආයතනයක් ස්වකීය ආයතනික පරමාර්ථ සහ අභිලාෂයන් ඉටු කර ගැනීමේ මූලික පදනමින් යුතුව කටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, නායකත්වය ලබාදීම සහ පාලනය කිරීම යනාදී සිව්විද කාරණාවන් ඔස්සේ ප්‍රමුඛවම සිදු කෙරෙන ක්‍රියාවලියක් ලෙස අවබෝධ කරගත හැකිය.

සම්භාව්‍ය කළමනාකරණ මූලධර්මයන් අබිබවා යමින් පශ්චාත් ගෝලීය අවධිය තුළ අප දකින අසන කළමනාකරණ ස්වරූපය විවිධත්වයක් ගෙන තිබේ. ඒ මත පදනම්ව නූතන කළමනාකරණයේ දිශාගතවීම භෞතිකවාදී ද? විඥානවාදී ද? එසේත් නැතිනම් එම ස්වරූපයන් දෙකෙහිම දෛලෙක්තිකවාදී විතැන්වීමක් දැයි විමසුම් ඇසට ලක් කළ යුතුම ය. දෛලෙක්තිකය යනු ඕනෑම දෙයක් වෙනස්වීම තුළ සලකා බැලීමේ ක්‍රමවේදයකි’. මේ තුළින් නූතන කළමනාකරණ සංකල්පය තුළ පවතින විෂමතාවයන් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබේ.

කළමනාකරණ පද්ධතීන් තුළ හමුවන ප්‍රධානතම සහ ඉලක්කගත සම්පත වන්නේ මානව සම්පතයි- මානව සම්පත කළමනාකරණය කර ගැනීම උදෙසා නූතන සංවිධාන රටාව විසින් විවිධාකාර සැලසුම් ක්‍රියාවට නංවනු ලබයි. පශ්චාත් ගෝලීය අවධිය තුළ සංවිධාන රටාවන් තාක්ෂණිකකරණය වීමත් නිෂ්පාදන වෙළෙඳපොළ තුළ පවතින දැඩි තරගකාරී වටපිටාව හමුවේ කළමනාකරණ සංකල්පයේ භෞතිකවාදී හෙවත් ද්‍රව්‍යවාදී පැතිකඩෙහි ඉදිරිගාමීත්වයක් දැකිය හැකි ය- සේවක අභිප්‍රේරණය ආයතනික ක්‍රියාවලියට ගුණාත්මක ලෙස යෙදවීමට විඥානවාදී පැතිකඩ හෙවත් මානසික පැතිකඩ යහපත් මට්ටමක පැවතීම අනිවාර්ය වූවකි- ඒ සඳහා භෞතිකවාදී ක්‍රමෝපායන් බහුලව යොදා ගනී. ආයතනික තරග සංවිධානය කිරීම, තෑගි ලබාදීම, සංගීත ප්‍රසංග, විනෝද චාරිකා වැනි දෑ සංවිධානය කිරීම තුළින් විඥානවාදී පැතිකඩ ද සුවපත් වීමට බලපායි.

කෙසේ නමුත් භෞතිකවාදීත්වය තුළින් සෑමවිටම ආයතනික කළමනාකාරීත්වය පිළිබඳ ඒකීය සහ ස්ථීරසාර බවත් ගොඩනැඟීම කළ නොහැකි අතර ඒ සඳහා විඥානවාදී මූලධර්මයන් භාවිත කිරීම සහ පවත්වාගෙන යෑම අතිශය වැදගත් වේ. පුද්ගල සිතිවිලි සහ මානසික මට්ටම සමඟ නිරන්තරයෙන් යහපත් සබඳතාවයක් පවත්වාගෙන යෑම ආයතනික ක්‍රියාවලියට මෙන්ම පැවැත්මට ද ගුණාත්මක ලෙස බලපායි. පවත්නා තත්ත්වය තේරුම් නොගැනීම, ආයතනික අරමුණු මතම පදනම් වෙමින් සේවක පුද්ගලිකත්වයට ගරු නොකිරීම, පුද්ගලික කෝන්තර වක්‍රාකාරයෙන් ඉදිරියට ගෙන යෑම, ආයතනයට අදාළ නොවන පෞද්ගලික කාරණාවන් ඉස්මතු කිරීම වැනි සාධක නූතන කළමනාකරණ ක්‍රියාවලියේ ඉදිරි පැවැත්මට අහිතකර ලෙස බලපායි.

නූතන කළමනාකරුවන් සැබෑ කළමනාකරුවන් වීමට නම් පවත්නා තත්ත්වය පිළිබඳ පැහැදිලි නිරවුල් මනසකින් යුක්ත වීමත්, සපුරාගත හැකි ඉලක්ක වෙනුවෙන් කාලය සහ ශ්‍රමය වැය කිරීමත්, සුදුසු සහ අදාළ පුද්ගලයන් පමණක් එක් එක් කාර්යයෙහි යෙදවීමත් කළමනාකාරීත්වයකින් යුක්තව කළ යුතුය. ආවේගශීලීත්වය, පෞද්ගලික කාරණාවන්, හිතවත්කම් සහ සුවිශේෂී පුද්ගලයන් සහ පිරිස්වලට නතු නොවී කටයුතු කිරීමට වගබලා ගත යුතුය- එසේ නොවූ විට කළමනාකරණ ක්‍රියාවලිය වෙනත් පුද්ගලයන් අතට නතු වීමට ඇති ඉඩකඩ ඉහළ යෑම තුළින් ප්‍රතිරූප හායනයකට ලක් වේ.

කළමනාකරණය යනු සැබවින්ම නිවැරදි දෙයක් තෝරාගෙන එය නිවැරදි ලෙස කිරීම ය. ආයතනික ක්‍රියාවලිය තුළ කළමනාකරුවාගේ විඥානය දියුණු විය යුත්තේ නිවැරදි පුද්ගලයන් නිවැරදි කාර්යයෙහි යොදවා යහපත් ප්‍රතිඵල අත්කර ගැනීම උදෙසාය- කිසියම් කාර්යයකට ප්‍රවීණත්වයක් ඇති පුද්ගලයකු ඔහුගේ ප්‍රවීණත්වයෙන් පරිබාහිර තැනක ස්ථානගත කළ විට සිදුවන්නේ ඔහු හෝ ඇය ප්‍රවීණත්වයක් දැක් වූ ස්ථානය සහ යොමු කරන ලද ස්ථානයේ ද බිඳ වැටීමකි. එය කළමනාකරණයේ ප්‍රධාන දෛශික දෙකක් නිරූපණය කරන අතර ඉන් එකක් නම් නිවැරදි දෙයක් තෝරා ගෙන එය වැරදි ලෙස කිරීමේ නාස්තිකාර අනිසි කළමනාකරණය යි- අනෙක නම් වැරදි දෙයක් තෝරාගෙන එය නිවැරදි ලෙස කිරීමේ අසාර අනිසි කළමනාකරණය යි.

කළමනාකරණ සංකල්පය තුළ නූතන සමාජ ව්‍යුහය තුළ එය භෞතිකවාදී ආස්ථානයකට හෝ විඥානවාදී ආස්ථානයකට සෘජුව ලඝු කර දැක්විය නොහැකි ය. මෙනිසා සෑම විටම වාචිකත්වයට වඩා ප්‍රායෝගිකත්වය තුළින් පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට සබුද්ධික ලෙස නූතන කළමනාකාරීත්වයේ භෞකිතවාදී සහ විඥානවාදී පැතිකඩයන්හි අපෝහාත්මක සම්බන්ධය තේරුම් ගෙන ක්‍රියා කිරීම කළමනාකරණ ක්‍රියාවලියේ ඉදිරි පෝෂණයට අනිවාර්ය හේතුවක් වනු ඇත.

● සටහන – බී. ආර්. සමීර සඳරුවන්
කොළඹ විශ්වවිද්‍යාලය – [email protected]

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment