නූතන ඉන්දියාව සකස් කිරීමේ දී පශ්චාද් ඉන්දියානු රජයන් යොදාගත් ආර්ථික උපක‍්‍රම

425

20 සියවසයේ දී මහත්මා ගාන්ධි ඉන්දියානු ජාතික ව්‍යාපාරයට නායකත්වය දීමත් සමග ඔහු විසින් බි‍්‍රතාන්‍යයන්ගෙන් ඉන්දියාව නිදහස් කරගැනීමට නම් ඔවුන් ඉන්දියාවෙන් ලද ආර්ථික ලාභ බිඳ දැමිය යුතු බව පෙන්වා දුන් අතර දේශීය ආර්ථිකයක් ගොඩ නැගීමට ‘ස්වදේශී’ ආදී ප‍්‍රතිපත්ති හඳුන්වා දෙනු ලැබීය. එම ක‍්‍රියාමාර්ග ඉතා සාර්ථක වූ අතර එයින් දේශීය ආර්ථික අංශයේ වර්ධනයක් ඉන්දියාව තුළ ඇති විය. 1947.08.15 වන දින ඉන්දියාව නිදහස් රාජ්‍යක් බවට පත්වීමෙන් අනතුරුව එරට රාජ්‍ය බලයට පත් වූ නායකයන් ආර්ථික වශයෙන් ඉන්දියාව ඉහළට ගෙන ඒමට ප‍්‍රබල කැපවීමකින් කටයුතු කොට ඇත. එමනිසා යටත්විජිතකරණයෙන් නිදහස් වූ අනිකුත් රාජ්‍යයන් හා සන්සන්දනය කරන විට ඉන්දියාව තුළ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් සිදුව ඇති බව පෙනේ. එම ආර්ථික වර්ධනය නිසා කලාපීය බලවතකු වශයෙන් මෙන්ම ලෝක බලවතකු වශයෙන් නැගී සිටීමට ඉන්දියාව සමත් වූ ආකාරය ගැඹුරින් කරුණු අධ්‍යයනය කිරීමේ දී හඳුනාගත හැකිය.

ඒ අනුව නිදහසින් පසු ඉන්දියාවෙහි ආර්ථික වර්ධනය ගැන සාකච්ඡා කිරීමේ දී කෘෂිකර්මාන්තය හා සත්ත්ව පාලනය, කර්මාන්ත ක්ෂේත‍්‍රය, ගෘහාශ‍්‍රිත කර්මාන්ත හා ආර්ථික වශයෙන් සම්බන්ධ වූ අනිකුත් ක්ෂේත‍්‍රවල සිදු වූ වර්ධනය වශයෙන් වර්ග කළ හැකිය. මෙම කුමන ආර්ථික ක්ෂේත‍්‍රයේ වර්ධනයක් පිළිබඳව සාකච්ඡා කරන විට දැකිය හැකි වැදගත් ලක්ෂණය වනුයේ විදේශීය භාණ්ඩ කෙරෙහි උනන්දුවක් නොදැක්වීම හා දේශීය භාණ්ඩ කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමය. ඒ අනුව දේශීය නිෂ්පාදන මිලෙන් අධික වුවත්, ගුණාත්මක බවෙන් අඩු වුවත් ඔවුන් එම භාණ්ඩ ජාතික හැඟීමෙන් යුක්තව මිලදී ගැනීමට පෙලඹීම ඉන්දියාවෙහි ආර්ථික වර්ධනය ඇති වීමට මූලික වශයෙන් හේතු වී ඇත. ඒ අනුව ගාන්ධි විසින් ඇති කළ චින්තනමය වෙනස ඊට මූලික වී ඇති අතර නිදහසින් පසු බලයට පත් සෑම රජයක්ම ඉන්දියාවෙහි දේශීය ආර්ථිකය නගා සිටුවීමට මෙවැනි විවිධ ප‍්‍රතිපත්ති අනුගමනය කර ඇත.

ඒ අනුව ඉන්දියාවේ ආර්ථික වර්ධනය පිළිබඳව විමසීමේ දී ඔවුන්ගේ මූලික අවධානයක් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය කෙරෙහි යොමුවිය. ඒ අනුව ඉන්දියානු කෘෂිකර්මාන්තය හේන් ගොවිතැන, ඔත් ගොවිතැන හා ව්‍යාපාරික

ගොවිතැන වශයෙන් වර්ග කල හැකි අතර ඉන්දියානු ජනගහනයෙන් 70%ක්, ග‍්‍රාමීය ජනගහනයෙන් 82% ක ප‍්‍රමාණයක් (1961 දී) සිය ප‍්‍රධාන ජීවනෝපාය වශයෙන් කෘෂිකර්මාන්තයේ නියළී ඇත. එහෙත් මෙම කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ දී මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයක් වශයෙන් ගොවි කුලීකරුවන්ට ඇති ඉඩම් ප‍්‍රශ්නයත්, පස නිසරු වීම හා ජල සම්පාදනයේ ඇති දුර්වලතා මෙන්ම ස්වභාවික වශයෙන් එල්ලවන ආපදා තත්ත්ව පෙන්වාදිය හැකිය. ඒ අනුව නිදහසින් පසු බලයට පත් රජයන් කෘෂිකර්මාන්තය නගා සිටුවීමට ප‍්‍රධාන පියවර දෙකක් ගෙන ඇත.

⋆ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍යය යටිතල පහසුකම් දියුණු කිරීම:- මෙහිදී පස් අවුරුදු ආර්ථික සැලසුම්කරණයන්වල දී වාරිමාර්ග යෝජනා ක‍්‍රම දියුණු කිරීමට හා ග‍්‍රාමීය ප‍්‍රදේශවලට විදුලිය සැපයීමට මූලික යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා කටයුතු කළේය.

⋆ කෘෂිකර්මික ව්‍යුහය නැවත සැකසීම :- මෙහිදී කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා ව්‍යුහය වෙනස් කළ අතර එහිදී සමින්දාර් ක‍්‍රමය අහෝසි කිරීම, බටහිර ආධිපත්‍යය යටතේ වූ ඉඩම් නැති බැරි පිරිස් වෙත ලබාදීම, ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීති සැකසිම වැනි ක‍්‍රියාමාර්ග අනුගමනය කර ඇත. මීට අමතරව දුප්පත් ගොවීන් සඳහා ණය ලබාදීම, සමුපකාර හා බැංකු පහසුකම් වැඩි දියුණු කිරීම වැනි කටයුතු සිදුකරන ලදී. මෙහිදී කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පස් අවුරුදු සැලසුම් (Five year Plans) ක‍්‍රම යටතේ කටයුතු කරනු ලැබීය.

ඒ අනුව ඉන්දියානු ආර්ථික වර්ධනය ගැන විමසීමේ දී මෙම පස් අවුරුදු සැලසුම් ක‍්‍රමයට මූලික ස්ථානයක් හිමිවන බව හඳුනාගත හැකිය. ඒ අනුව කෘෂිකාර්මික සංවර්ධනය සහ පස් අවුරුදු සැලසුම්වල (Agricultural Devlopment and Five year Plans) ඇති දායකත්වය පිළිබඳව විමසා බැලීම වැදගත්ය. එහිදී පළමුවන පස් අවුරුදු සැලසුම වූ 1951-1956 අතර සැලසුමේ දී මුහුණ දුන් ප‍්‍රධාන අභියෝගය වූයේ දරුණු ආහාර හිඟයකට මුහුණදීමට සිදුවීමය. එම තත්ත්වය මත විදේශයන්ගෙන් ආහාර ආනයනය කිරීමට විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුවිය. එයට විසඳුමක් වශයෙන් මෙය හඳුන්වා දෙනු ලැබීය. එහිදී යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කළ අතර ඒ සඳහා රු. කෝටි 2378 ක් වැය කළ අතර විදුලිබල යෝජනා ක‍්‍රම සඳහා කෝටි 922 වැය කරනු ලැබිය. ඒ අනුව වගුරු බිම් සංවර්ධනය, උසස් බීජ වර්ග භාවිතය හා ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීති හඳුන්වාදීම එහිදී සිදුකරන ලදී. එමෙන්ම වාරිමාර්ග දියුණු කිරීම නිසා අලූතින් හෙක්ටයාර් දශලක්ෂ 2.6 ක ප‍්‍රමාණයක් අස්වැද්දිය හැකි විය. මෙම සැලසුම නිසා කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සීග‍්‍ර වර්ධනයක් ඇති වූ අතර 1951 දී ධාන්‍ය ආහාර නිෂ්පාදනය ටොන් දශලක්ෂ 50 සිට 65 තෙක් වර්ධනය වී ඇත.

දෙවැනි පස් අවුරුදු සැලසුම් ක‍්‍රමය 1955-1961 අතර ක‍්‍රියාත්මක විය. මෙහිදී මූලික අවධානය කාර්මික ක්ෂේත‍්‍රය සඳහා යොමු වූ අතර කෘෂි සංවර්ධනය සඳහා රුපියල් කෝටි 300 ක මුදල් ප‍්‍රමාණයක් වෙන්කරන ලදී. එමෙන්ම මෙහිදී ඇති නැති පරතරය අඩු කිරීමට මුලික අවධානය යොමු විය. එහෙත් මෙම කාලයේ දී ආහාර හිඟයක් ඇති වීම නිසා ඇමරිකාව ආදී රටවලින් ධාන්‍ය ආනයනය කිරීමට පවා සිදු විය. තෙවැනි පස් අවුරුදු සැලැස්ම 1961-1966 අතර කාලයේ ක‍්‍රියාත්මක වූ අතර එහිදී වාරිපද්ධති සංවර්ධනය, සමුපකාර සමිති ආරම්භ කිරීම, ප‍්‍රජා සංවර්ධන කටයුතු ඇතුළු කෘෂි ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා රු. කෝටි 1000 ක මුදලක් වැය කරන ලදී. 1969-1974 අතර ක‍්‍රියාත්මක වූ හතරවන පස් අවුරුදු සැලැස්ම යටතේ මූලික අවධානයක් ඉන්දු-පාකිස්ථාන යුද්ධය නිසා විනාශ වූ කෘෂි-ආර්ථිකය නැවත පුනරුත්තාපනය කෙරෙහි අවධානය යොමුවිය. එහිදී විදේශවලින් ආහාර ආනයනය අඩුකර කෘෂිකර්මාන්තය නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා රු. කෝටි 3000 ක මුදලක් වැය කරන ලදී. එහිදී බහුවිධ භෝග හඳුන්වාදීම, අලූත් ප‍්‍රදේශ අස්වැද්දීම කෙරෙහි අවධානය යොමු කළේය. ඒ අනුව H.T.V.. තාක්ෂණය යටතේ නිපදවන ලද බීජ ලබාදීම නිසා ධාන්‍ය ආහාර නිෂ්පාදනය ඉහළ ගිය අතර 1970 වන විට ඉන්දියාව ස්වයංපෝෂී තත්ත්වයට පත් විය. එබැවින් 1969-1970 කාලයට වඩා 1973-1974 කාලයේ ආහාර නිෂ්පාදනය 12.5% කින් වැඩි විය.

පස්වන පස් අවුරුදු සැලසුම 1974-1978 අතර කාලයේ ක‍්‍රියාත්මක වූ අතර එහිදී කෘෂි සංවර්ධනය සඳහා

රු. කෝටි 4500 ක මුදලක් වෙන් කරන ලදී. මෙම කාලය වන විට ඇතැම් ධාන්‍ය වර්ග ඉන්දියාව අසල්වැසි රාජ්‍යයන් වෙත නිර්යාත කිරීමට කටයුතු කරන ලදී. මෙම සැලැස්ම යටතේ වාරි ක්ෂෙත‍්‍රයේ වූ වර්ධනය නිසා අලූතින් හෙක්ටයාර දශලක්ෂ 54 අස්වැද්දිය හැකිවිය. ඒ අනුව මූලික අවධානය යොමු කළ කාලයේ පස් අවුරුදු සැලසුම් ක‍්‍රමය යටතේ කෘෂි ක්ෂේත‍්‍රයේ සංවර්ධනයක් සිදු වූ අතර මේ දක්වා ක‍්‍රියාත්මක පස් අවුරුදු සැලසුම් මගින් ද මෙම ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා මූලික අවධානයක් යොමු කොට ඇති ආකාරයක් හඳුනාගත හැක.

උක්ත කාලයේ කෘෂි ක්ෂේත‍්‍රය ගැන කථා කිරීමේදී කෘෂිකාර්මික අංශයේ සිදු වූ හරිත විප්ලවය (Green
Revolution) වැදගත් කොට පෙන්වාදිය හැකිය. ඒ අනුව 1966-1997 අතර ඇති වූ කෘෂි නිෂ්පාදනවල ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනය මෙනමින් හඳුන්වයි. මෙයට මූලික වශයෙන් හේතු වූයේ Dr. Norman Borlaug විසින් හඳුන්වා දෙන ලද H.T.Y යන බීජ තාක්ෂණයයි. එමෙන්ම කෙටිකාලීන අස්වනු ලබා දෙන තිරිඟු බීජ වර්ග, පිලීපිනයෙන් ගෙන්වූ සහල් බීජ සහ අනෙකුත් ධාන්‍ය නිසා කෘෂි නිෂ්පාදන වර්ධනය විය. මෙහිදී මූලික වශයෙන් ආහාර ආනයනය සඳහා වැය වූ විදේශ විනිමය ඉතිරි කරගැනීමට මූලික අවධානය යොමු වූ අතර එහිදී ‘අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය’ (I.R.R.I), ‘අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ ආයතනය’ (G.G.I.A.R) හා රොකපෙලර් වැනි ආයතනවල සහාය ලබාගත්තේය. එමෙන්ම නව යන්ත‍්‍ර-සූත‍්‍ර, වාරිමාර්ග දියුණු කිරීම, නව රසායනික පොහොර, කෘමි නාශක හා දේශිය පොහොර වර්ග හඳුන්වාදීම වැනි අංශ කෙරෙහි මෙන්ම ජන සංඛ්‍යා වර්ධන වේගය අඩුකිරීම (2.1% අඩුකිරිමට හැකි විය.) වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී. මේ ආකාරයට කෘෂි අංශයේ සිදු වූ වර්ධනය නිසා 1970 වන විට තිරි`ගු නිෂ්පාදනය 52% කින් ඉහළ ගොස් ඇත.

ඒසේම නිදහසින් පසුව ඉන්දියාවෙහි බලයට පත් රජයන් මූලික අවධානය යොමු කරන ලද්දේ කාර්මික ක්ෂේත‍්‍රය ඔස්සේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහාය. ඒ අනුව ඉන්දියාවෙහි නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත‍්‍රයේ වූ වර්ධනය වැදගත් කොට දැක්විය හැකිය. ඒ අනුව පළමු හා දෙවන පස් අවුරුදු සැලසුම් යටතේ (1951-1956 හා 1956-1961) යකඩ හා වානේ කර්මාන්තයට ප‍්‍රමුඛ තැනක් ලබා දුන්නේය. ඒ අනුව ඉන්දියානු රජය අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කරමින්, උසස් තාක්ෂණ පදනම් කරගත් බැර ඉංජිනේරු කර්මාන්ත, විද්‍යුත් උපකරණ හා ඒ ආශ‍්‍රිත කර්මාන්ත දියුණු කිරීමට අවශ්‍ය සංවර්ධන යෝජනා ක‍්‍රම ඉදිරිපත් කරන ලදී. ඊට අමතරව මෙම කාලයේ සීනි, කඩදාසි, රසායනික පොහොර යන කර්මාන්ත ද දියුණු කරනු ලැබීය. මෙම කාලයේ ඉන්දියානු කර්මාන්ත ක්ෂේත‍්‍රය 94% වේගයෙන් වර්ධනය වූ බව වර්තා වී ඇත. තෙවැනි පස් අවුරුදු සැලැස්ම 1961- 1966 අතර ක‍්‍රියාත්මක වූ අතර එහි මුල් කාලයේ දී සැලකිය යුතු වර්ධනයක් සිදු වූ නමුත් අවසාන කාලයේ ඇතිවන ස්වභාවික විපත් හා දේශපාලන ව්‍යාකූලභාවය හේතුවෙන් පසු බෑමක් පෙන්වන නමුත් ඇල්මිනියම්, රෙදිපිලි, සීනි, ජූට් හා මෝටර් රථ කර්මාන්තයේ වර්ධනයක් පෙන්නුම් කළේය. සිව්වැනි හා පස්වැනි අවුරුදු සැලසුම යටතේ (1964-1975) මූලික අවධානය බහුතාක්ෂණික කර්මාන්ත (Polymer Based) දියුණුව සඳහා යොමු කළ අතර අනාගත කර්මාන්ත වර්ධනය සඳහා අවශ්‍යය යටිතල පහසුකම් ද දියුණු කරන ලදී. මෙසේ 1947 -1975 අතර කාලයේ ක‍්‍රියාත්මක කරන ලද පස් අවුරුදු සැලසුම්වල දී මූලික අවධානය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ වර්ධනය කෙරෙහි යොමු වී ඇත.

මෙසේ ඉන්දියාවෙහි කාර්මික ක්ෂේත‍්‍රයේ වර්ධනය හේතු කොටගෙන කර්මාන්තවලින් දියුණු ප‍්‍රදේශ බිහි වී ඇත. ඒ අනුව කාරන් විසින් 1964 දී ඉන්දියාවෙහි කර්මාන්ත ප‍්‍රදේශ හා සේවක සංඛ්‍යාවෙහි ව්‍යාප්තිය අනුව දිස්ත‍්‍රික කොටස් 03 කට බෙදා ඇත. එනම් පළමු පෙළ කාර්මික දිස්ත‍්‍රික්ක-05, දෙවැනි පෙළ කාර්මික දිස්ත‍්‍රික්ක-14 සහ තුන්වන පෙළ කාර්මික දිස්ත‍්‍රික්ක -12 වශයෙනි. ඒ අනුව පළමු පෙළ කාර්මික දිස්ත‍්‍රික්ක ගැන විමසා බැලිමේ දී කල්කටා-හුග්ලි ආශ‍්‍රිත ප‍්‍රදේශය, බොම්බාය-පුනෙ ප‍්‍රදේශය, අහමදබාද්-වදෝදරා ප‍්‍රදේශය, මදුරෙයි-කොයිම්බටුර්-බැංගලෝර් ප‍්‍රදේශය සහ වෝටා නග්පූර් ප‍්‍රදේශය යන ඒවා වැදගත් වේ. එසේම ඉන්දියානු ආර්ථික වර්ධනය සඳහා කර්මාන්ත ක්ෂේත‍්‍රයේ දායකත්වය පිළිබඳව විමසිමේ දී යකඩ හා වානේ කර්මාන්තයට ප‍්‍රධාන තැනක් හිමි වේ. ඒ අනුව 2005 වන විට ලෝක යකඩ හා වානේ සැපයුමෙන් 21% සපයන ලද්දේ ඉන්දියාව විසිනි. නිදහස ලබන විට මෙහි දළ නිෂ්පාදනය දශලක්ෂ 1 ත් අඩු වූ අතර එයින් පසු එහි සීග‍්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරිණ. මෙම ක්ෂේත‍්‍රයේ වර්ධනය සඳහා ටාටා යකඩ හා වානේ කොම්පැනිය (T.I.S.C.O) දැක්වූ දායකත්වය වැදගත්ය. මෙය 1907 දී ආරම්භ වූ අතර මෙම සමාගම ඉන්දියාවෙහි ආර්ථික දියුණුව සඳහා විශාල දායකත්වයක් සපයා දෙන ලදී. මිට අමතරව ඉන්දීය වානේ සහ ආකර අමාත්‍යාංශය මගින් මෙම අංශයේ දියුණුව සඳහා පියවර රැසක් ගනු ලැබීය.

එමෙන්ම පේශ කර්මාන්ත මගින් ද විශාල දායකත්වයක් ඉන්දියානු ආර්ථික වර්ධනයට ලබා දී ඇත. මුල් කාලීනව ගෘහ කර්මාන්තයක් වශයෙන් වර්ධනය වූ මෙය ගාන්ධිගේ දායකත්වය යටතේ තවත් වර්ධනය විය. ඒ අනුව නිදහසින් පසු මහා පරිමාණ කර්මාන්තයක් වශයෙන් ඩෙකා, පිප්ලි, කැලිකට්, බැරෝඩා සහ බ්‍රෝච් යන ප‍්‍රදේශ මූලික කරගෙන ව්‍යාප්ත විය. එමෙන්ම රජය පස් අවුරුදු සැලසුම්වල දී මෙහි දියුණුවට දායකත්වය සැපයිය. එමෙන්ම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය ද ඉන්දියානු ආර්ථික ක්ෂේත‍්‍රයේ ඇති වූ වර්ධනයේ වැදගත් තැනක් ගනී. ඒ අනුව සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය, අසන්සොල්, ජාම්ෂේඞ්පුර්, ඕල්වේ හා බෙලාගුලා යන ප‍්‍රදේශ කේන්ද්‍ර ගතව සිදු වී ඇත. ඊට අමතරව හුනුගල් හා මුහුදු ලූණු භාවිතයෙන් කෝස්ටික් සෝඩා වැනි ක්ෂාර ද්‍රව්‍ය නිපදවීම, ඇමෝනියා සල්ෆේට් නිෂ්පාදනය හා ඒ ආශ‍්‍රිත පොහොර නිෂ්පාදනය, සිමෙන්ති නිෂ්පාදනය, පිඟන් භාණ්ඩ නිෂ්පාදනය, සායම්, පොලිෂ්, සබන්, ප්ලාස්ටික් නිෂ්පාදනය, වීදුරු නිෂ්පාදනය, ශාක ද්‍රව්‍ය උපයෝගි කරගනිමින් තුනීලෑලි, ගිනිකූරු, කඩදාසි වැනි දෑ නිෂ්පානය පෙන්වාදිය හැකි අතර එම ක්ෂේත‍්‍ර මගින් ද ඉන්දියානු ආර්ථිකයට දායකත්වයක් සපයා ඇත. එමෙන්ම මෘදුකාංග නිෂ්පාදනය ද ඉන්දියානු ආර්ථිකයේ වැදගත් තැනක් ගන්නා අතර Y2K වැනි මෘදුකාංග (2002 දී නිපදවිය) ඒ අතර ප‍්‍රධාන වේ.

නිදහසින් පසු ඉන්දියානු ආර්ථික වර්ධනය ගැන විමසීමේ දී ගෝලීයකරණය (Globalization) හමුවෙහි ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විමසා බැලීම ද වැදගත්ය. මෙහිදී සිදුවනුයේ ජාතික ආර්ථිකය කිසියම් කේන්ද්‍රයක් වටා ගෝලීය ආකාරට සකස් වීමය. මෙය 20 සියවසයේ අවසාන දශකවල දී ඇති වූ සංකල්පයක් වන අතර මෙයට රාජ්‍යයන් කැමති වුවත් අකැමැති වුවත් එයට සම්බන්ධ වීමට සිදුවිය. ඒ අනුව ඉන්දියාව රජීව් ගාන්ධිගේ නායකත්වය යටතේ නිදහස් ආර්ථික වැඩපිළිවෙළට සම්බන්ධ විය. ඒ අනුව 1950 දක්වා කාලයේ ආර්ථික වර්ධන වේගය 1% වූ අතර මෙත් සමග අනුගමනය කළ ප‍්‍රතිපත්ති නිසා 1980 වන විට 3.5% තෙක් ද 1980-1990 වන විට 5% තෙක් ද 1990 දශකයේ ක‍්‍රියාත්මක කළ

9 වැනි ආර්ථික සැලැස්ම යටතේ 8% තෙක් වර්ධනය

කරගැනීමට අපේක්ෂා කරන ලදී. මෙසේ ගෝලීයකරණය හේතු කොටගෙන ඇති වූ පෞද්ගලික ව්‍යාපාර, බැංකු, බහු ජාතික සමාගම් ආදිය වර්ධනය වීමත් සම‘ග රැකියා අවස්ථා පුළුල් වීම, අය-වැය පරතරය අඩු වීම, ආදායම් බදු අඩුවීම, රැකියා නියුක්තිකයන් සඳහා නව පුහුණුවක් හා කළමනාකාරිත්වයක් ලබා දීම, යටිතල පහසුකම් දියුණු කිරීම වැනි අංශ නිසා ඉන්දියානු ආර්ථිකය මේ දක්වා ගෝලීයකරණය ඔස්සේ වර්ධනය වූ අතර පත් වූ සෑම රජයක්ම පස් අවුරුදු සැලසුම් ඉදිරිපත් කරමින් ආර්ථික වර්ධනයට දායකත්වය සපයන ලදී.

එසේම ඉන්දියාව කලාපීය බලවතකු වශයෙන් සාක් සංවිධානය තුළ ක‍්‍රියාත්මක වන අතර එහි මූලිකත්වයෙන් ඇති කරගත් සප්ටා (SAFTA) වැනි ගිවිසුම් මගින් කලාපීය ආර්ථික සහයෝගීතාවය සඳහා කටයුතු කරයි. ඊට අමතරව ඉන්දු-ලංකා ගිවිසුම ආදිය මගින් විශාල ආර්ථික ලාභයක් ලැබීමට ඉන්දියාවට හැකි වූ අතර ඊට අමතරව නේපාලය ඇතුළු දකුණු ආසියාතික රාජ්‍යයන්වලට ණය ආධාර ලබාදීම තුළින් ද ආර්ථික වාසි ලබාගැනීමට ඔවුන් සමත් වී ඇත. ඊට අමතරව එක්සත් ජාතින්ගේ සංවිධානය තුළ ප‍්‍රබල භූමිකාවක් නිරූපණය කිරීම ද ඉන්දියාවෙහි ආර්ථික වර්ධනය වැදගත් වී ඇත. එහෙත් වර්තමානය වන විට ඉන්දියාව දකුණු ආසියාතික කලාපීය බලවතා වශයෙන් පමණක් නොව ලෝකයේ බලවතකු වශයෙන් නැගී සිටීමේදී ඔවුන් නිදහසින් පසු ලද ආර්ථික වර්ධනය හේතු කොටගෙන න්‍යෂ්ටික ආයුධ අත්හදාබැලීම් හා ඒ ආශ‍්‍රිතව යුදමය අංශයේ ලද දියුණුව හා දේශපාලනික වශයෙන් ලද බලය ද හේතු වී ඇත.

ඒ අනුව පෙනීයන්නේ 1947 දී බි‍්‍රතාන්‍ය අධිපත්‍යයෙන් මිදුනු ඉන්දියාව ඉතා කෙටි කලක් තුළ දී ලෝක බලවතෙකු ලෙස නැගී ඒමට අවශ්‍ය පසුබිම සකස් කරගන්නා ලද ආකාරයයි. විවිධ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික අර්බුදයන් රැසක් මධ්‍යයේ වුවත් ඉන්දියාව තම බල ආධිපත්‍යය වර්ධනය කරගන්නා ආකාරයක් දැකිය හැකිය. ඒ සඳහා පශ්චාද් ඉන්දියානු රජයන් ගෙනගිය උපක‍්‍රමශීලි ක‍්‍රියාකලාපයත් බෙහෙවින් වැදගත් වේ. ඒ සඳහා ඔවුන් විවිධ නීති රිති, අනපනත් මගින්ද ඉන්දියානු සමාජය පාලනය කිරීමට පෙළඹී ඇත. ඒ අනුව විවිධ රජයන්වල විවිධ නායකයන් යටතේ නිදහස් ඉන්දියාව මහා බලවතෙකු ලෙස ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය පසුතලය සකසන ලදී. එසේම තාක්ෂණික අංශය අත්පත් කොටලෙන ඇති ජයග‍්‍රහණ, අවි ආයුධ, න්‍යෂ්ටික බලය වැනි අංශය ද වඩාත් ශක්තිමත් කිරීමට පශ්චාද් ඉන්දියානු රජයන් විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කළ ආකාරයක් හඳුනාගත හැකිය. 2022 වන විට ලෝකයේ ආර්ථික වර්ධන වේගය අතින් ප‍්‍රමුඛස්ථානයට පත්වීම නූතන ඉන්දියාවෙහි සැලසුම වී ඇත.

ප‍්‍රභාත් වික‍්‍රමරත්න
ඉතිහාසය අධ්‍යයන අංශය,
ශාස්ත‍්‍ර පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment