නූතන භික්‍ෂුවගේ වගකීම

233

‘භික්ෂු’ යනු පාලි වදනට බොහෝ අර්ථ ත‍්‍රිපිටකයේ හා අටුවා සාහිත්‍ය තුළ මනාව දක්වා ඇත. එහි ප‍්‍රධාන වශයෙන් ගැනෙන අරුතක් වනුයේ නිවන මුල් කර ගනිමින් සරළ දිවියක් ගෙවන පරාර්ථය උදෙසා ක‍්‍රියා කරගන්නා සැබෑ භික්ෂුවක් බවයි. සම්බුද්ධ දේශනාව පුරාම මෙකී කරුණු ඉතා ගැඹුරින් විග‍්‍රහ කරන අතර ‘දස ධම්ම’ සූත‍්‍ර දේශනාව තුළ එය කදිමට පෙන්වා දිය හැකි බව දැකිය හැකිය. එවැනි සරළ පරාර්ථය මුල් කොට ගත් භික්ෂූන් වහන්සේට බොහෝ වගකීම් යුතුකම් සමුදායක් පවතී. තමා සසරින් එරෙතවීම මෙන්ම අන්‍යයන්ද යහමගට ගැනීම හා රටට දැයට යම් උවදුරක් ඇතිවන විට ඉදිරියට යෑම තවත් පැතිකඩකින් ඇති මහත් වගකීමක් වන අතර විශේෂයෙන් ජාතියේ මුර දේවතාවන් ලෙස අතීතයේ පටන් භික්ෂුව හැඳින්වූයේ ඒ නිසාවෙනි. නූතනයේ බොහෝ අභියෝගයන්ට රට දැය සම්බුදු සසුන ගොදුරුවී ඇති සමයක සැබැවින්ම බුද්ධ පුත‍්‍රයන්ගේ වගකීම කෙබඳුවේද යන්න විමසා බැලීම හා එය අවංක හදවතින් යුතුව ඉටුකරන්නේද යන්න නැවත නැවත තම තමන්ගෙන්ම අසා දැන ගැනීම කාලෝචිත වනු ඇත.

 ‘ගමයි පන්සලයි – වැවයි දාගැබයි කහ සිවුරයි කෙත් යායයි’ යන උදාර සංකල්පය ඔස්සේ අපේ රටේ පැවැතියේ බුදුදහම මූලික කරගත් ජන සංස්කෘතියකි. එහි වැදගත්ම සාධකයක් ලෙස භික්ෂූන් වහන්සේ බොහෝ අංශ ඔස්සේ එදා සිට අද දක්වාම කැපීපෙනෙන චරිතයක් වන අතර විශේෂයෙන්ම ඒ නිසාම බොහෝ දෙනා ගෞරව බුහුමන් කරනු ලබන්නේ ද එකී කරුණු මුල්කොට ගෙනය. නූතනයෙහි අපේ රට, ජාතිය, බුදුදහම විනාශ කිරීමට මාන බලන විශාල පිරිසක් සඳහා මූලිකම බාධකය වී ඇත්තේ ද ජාතියේ මුර දේවතාවුන් බඳු භික්ෂූන් වහන්සේලාය.

 ඒ නිසාම බොහෝ සමාජ මාධ්‍ය උපයෝගි කොට ගෙන භික්ෂුවට ඉතා දරුණු ලෙස  ගරහන වත්මන් සමාජය තුළ භික්ෂුව ද එකී අභියෝග හඳුනා ගෙන ක‍්‍රියා කිරීම අතිශය වැදගත් හා කාලෝචිත වන්නකි. මෙය මනාව හඳුනා නොගත් සමහර පිරිසක් නිසා සංඝ සමාජයම නින්දාවට හා ගර්හාවට ලක්වී ඇති කාල සමයක ප‍්‍රධාන වශයෙන් අපේ රටේ වගකිවයුතු උගත් භික්ෂූහු නියමිත අයුරින් රැුස්ව සාකච්ඡුාකොට රට දැය හා බුදු සසුන රැක ගැනීමෙහිලා ක‍්‍රියාකිරීමට පියවර ගත යුතුය. තම තමන්ගේ ලාභ සත්කාර පිළිබඳ පමණක් සිතා ආත්මාර්ථකාමී සිතුවිලි මතින් මෙම අභියෝගයන් ජයගැනීම යනු සිහිනයකි. පිරිසක් වාහන පැදවීමට අවසර ඉල්ලති. තව පිරිසක් දේශපාලනය පසු පස දුවති. තවත් පිරිසක් නිහඬව බලා සිටිති. සිදුවෙමින් පවතින මෙම ක‍්‍රියාවලිය තුළ අනාගතයෙහි උපදින දරුවන්ට රටක්, ජාතියක්, ආගමක් නොමැතිවීම නම් සැබෑවකි. බුදු සසුන රැුකගැනීම සංඝයා සතු කාර්යයකි. එහෙත් එකී වගකීමෙන් බැහැරවීමට ක‍්‍රියා කිරීම තුළ සිදුවන්නේ මේ උතුම් බෞද්ධ රට විනාශවීම පමණි. මේ නිසාම නූතන සියලූම බෞද්ධ ජනතාව මෙකී අභියෝග මනාව හඳුනා ගැනීම වැදගත් වන අතර එහි වඩාත් වගකීමක් ඇත්තේ භික්ෂු සංඝයාටයි. ඇත්ත තිත්ත වුවත් කිවයුතු දේ කිවයුතුමය. ‘‘සුඛා සංඝස්ස සාමග්ගී’’ යනුවෙන් බුදුරදුන් වදාළේ සංඝයාගේ සමගිය යහපතක්ම බවයි. එහෙත් අපේ රටේ නිකාය, පක්ෂ, පාට ආදී විවිධ භේදවලට වෙන්වී ඇති භික්ෂූන් වහන්සේලා සමගිසම්පන්න ද යන්න තම තමන්ගෙන්ම අසා දැනගත යුත්තකි. විහාරස්ථාන සඳහා අවුරුදු ගණන් නඩු කියන පන්සල් වෙනුවෙන් ගහමරා ගන්න ඇතැම් භික්ෂූන් වහන්සේලා දෙස බලන කල්හි  ගිහියා කෙසේ අත්හරින්නේද යන්න කිව හැකිද? නූතන බුදුදහම පිරිහී යන්නට මෙකී ගැටලූව බෙහෙවින් බලපානු ඇත. අතීතයෙහි මෙන් නොව අද මිනිසුන් දියුණුයි. ඔවුහු මෙම කරුණු පිළිබඳ විමසති. අපහට එල්ලවී ඇති අභියෝගවලට මුහුණදීමට නම්  සමගිසම්පන්න විය යුතුය.

 විහාරස්ථාන විශාල ගණනක් තමන් සතු කර ගනිමින් දැඩි තෘෂ්ණාවෙන් දිවි ගෙවන ඇතැම් භික්ෂූන් වහන්සේලා යන්නේ කොතැනටද? යන්න විටෙක සිතෙයි. ‘‘සබ්බ දුක්ඛ නිස්සරණ’’ යනුවෙන් පැවිදි වෙන සමහර අය ගිහියාට වඩා පව් කන්දරාවක් තම ගිණුමට බැර කර ගනිති. එහෙත් නිතරම පාහේ කියන්නේ අත්හරින්න යනුවෙනි. අනුන්ට කිව්වද තමන් තුළ අත්හැරීම පිළිබඳ සේයාවක් හෝ නැත. ‘‘ඔවා දෙනු පහරට තමා සම්මතයේ පිහිටා සිට’’ යනුවෙන් කියැවෙන පරිදි තමා ආදර්ශමත් වීම මුළු මහත් සමාජයටම ආදර්ශයකි. මේ නිසා අප ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගත යුතුව ඇත. සියලූ දෙනාම එලෙස නොවුණත් සමහර පිරිසකගේ ක‍්‍රියාකලාපයන් නිසා ඇතිවන බලපෑම සහ එහි ප‍්‍රතිඵල අතිශය භයානකය. අන්තවාදය උඩුදුවා ඇති කාල සමයක භික්ෂුවකගෙන් රට, දැයට සහ ආගමට ඉටුවියයුතු යුතුකම් හා වගකීම් මනාව අවබෝධ කර ගැනීම බෙහෙවින් වැදගත් වන අතර, තුවාලය තිබියදී මතුපිටට බෙහෙත් දැමීම තුළ සිදුවන්නේ තුවාලය උඩුදිවීම පමණි. අපේ රටට සිදුවී ඇත්තේද එයයි. එහි වගකීම විශාල ලෙස සංඝ සමාජයට පැවරෙන අතර නුවණින් යුක්තව ඒවා අවබෝධ කොටගෙන පරාර්ථකාමීව ක‍්‍රියා කිරීමට සියලූදෙනා අධිෂ්ඨාන කර ගන්නේ නම් එය සැබෑ ලෙසම යහපත් ඉදිරි අනාගතයට සුබ පෙර නිමිත්තක් වනු නියතය.

 ගාල්ල, කළුවැල්ල,ශ‍්‍රී ලංකා ධර්මදූත
 මහ පිරිවෙණේ ආචාර්ය, ශාස්ත‍්‍රපති
 කනංකේ විජිත නන්ද හිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ

නූතන භික්‍ෂුවගේ වගකීම
advertistmentadvertistment