නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට

245

ආරම්භක පිතිකරුවන් දෙදෙනකුගේ තරගයක් බඳු වූ ශ්‍රී ලංකා නෙදර්ලන්ත තරගය අවසානයේ තියුණු ලෙස ලකුණු 16 කින් තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2022 පන්දු වාර

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමට ඊයේ (20 වෙනිදා) සමත් වූයේය.

සුපිරි 12 වටයට පිවිසීමට නම් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාව ජයගත යුතුව තිබූ එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 146 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 44 කදී නොදැවී ලකුණු 79ක් ලබාගත් අතර නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ද ආරම්භක පිතිකරු මැක්ස් ඕඩවුඩ් පන්දු 53කදී නොදැවී ලකුණු 71ක් ලබා ජයග්‍රහණය සමීපයටම තම කණ්ඩායම රැගෙන යෑමට සමත්විය.

එහෙත් මැක්ස් ඕඩවුඩ් හට සෙසු පිතිකරුවන්ගෙන් අවශ්‍ය සහයෝගය නොලැබීම මත ඔවුන්ගේ ඉනිම ලකුණු 146 කට සීමා වූ අතර ශ්‍රී ලංකාව ඒ සමගම සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල සහ දෙවැනි කඩුල්ල ලකුණු 36 දී බිඳ වැටුණු අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 96 සීමාවට රැගෙන ඒමෙන් පසු අසලංක ගේ ඉනිම නිමා වූයේය.

පළමු පන්දුවාර 10 නිමාවන විට ලකුණු 60 ක් පමණක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාර 10 තුළදී තුළ දී තවත් ලකුණු 102 කණ්ඩායමට එක් කිරීමට සමත් වීම ජයග්‍රහණයට ප්‍රධාන හේතුව විය.

එහිදී හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 79ක් ලබාගත් කුසල් මෙන්ඩිස් අවසාන පන්දුවාරයේ දෙවන පන්දුවේදී දැවී යන විට ඔහු සිය යුතුකම ඕනවටත් වඩා කණ්ඩායම වෙනුවෙන් ඉටු කර තිබිණි.

කුසල්ට අනගි සහායක් ලබාදුන් චරිත් අසලංක දිගු කලකට පසුව ලකුණු අතරට පැමිණ ලකුණු 31ක් ලබා ගත් අතර භානුක රාජපක්ෂ පන්දු 13කදී ලකුණු 19ක් ලබා ගත්තේය.

නෙදර්ලන්ත කණ්ඩායමේ කඩුලු 8ක් ලකුණු 109ට බිඳවැටී ඔවුන් පරාජය කරා යන ලකුණු පෙන්නුම් කළ ද ඔවුන්ගේ ආරම්භක පිතිකරු මැක්ස් ඕඩවුඩ් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව අවසාන පන්දු පන්දුවාර කිහිපයේ වේගවත් පිති ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම මත තරගයේ අවසානය තියුණු මුහුණුවරක් ගනු ලැබීය.

අවසාන පන්දුවාරය ක්‍රියාත්මක කළ ලහිරු කුමාරගේ පන්දුවාරය තුළදී ලකුණු 23ක ඉලක්කයක් නෙදර්ලන්තයට හිමි වුවද ඔවුන්ට එහිදී ලබාගත හැකි වූයේ ලකුණු 7ක් පමණි.

නෙදර්ලන්ත ක්‍රීඩකයන් ලකුණු 146කට සීමා කිරීම සඳහා දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සිය පන්දුවාර හතර තුළදී ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තේය.

ඔහුට අනගි සහායක් ලබාදුන් මහීෂ් තීක්ෂණ කඩුලු දෙකක් ද බිනුර ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක් කඩුල්ල බැගින්ද ලබා ගත්හ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 162/6 (20) කුසල් මෙන්ඩිස් 79, චරිත් අසලංක 31, භානුක රාජපක්ෂ 19
පන්දු යැවීම – වෑන් මීකරන් 25/2, බස් ඩී ලීඩ් 31/2
නෙදර්ලන්තය – 146/9 (20) මැක්ස් ඕඩවුඩ් නොදැවී 71 ස්කොට් එඩ්වර්ඩ් 21
පන්දු යැවීම – වනිඳු හසරංග 28/3, මහීෂ් තීක්ෂණ 32/2

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment