නෙළුම් පොකුණේ මොකද වෙන්නේ…?

556

සංරක්ෂණය කරනු ලබන පොලොන්නරුව ලක්ෂ උයනේ නෙළුම් පොකුණ ගැන පුරාවිද්‍යාව මෙසේ කියයි…

අනුරාධපුර යුගයට අයත් විශිෂ්ටතම නිර්මාණයක් වූ සීගිරි රාජධානිය, දිය අගලකින් ආරක්ෂා වූවා පමණක් නොව දිය පොකුණු, දියමල් හා ජල උද්‍යනයන්ගෙන් සපිරි ජල තාක්ෂණයේ උපරිම ඵල පෙන්වන විස්මිත නිමැවුමකි. එකල සීගිරියේ පහළ සිට පර්වත මස්තකයට ජලය රැගෙන ගිය තාක්ෂණයක්ද භාවිත වූයේ යැයි මතයක් පවතී.

ජල කළමනාකරණය පිළිබඳ ලොව සුපතල විද්වත් මතයක් ඉදිරිපත් කළේ පොලොන්නරු යුගයේ දී ලක්දිව සහලින් ස්වයංපෝෂිත කර හෙළ රණගොස විදේශයන්හි පවා පැතිරවූ පළමුවන පරාක‍්‍රමබාහු නිරිඳාණන්ය. එතුමන් ඉදිරිපත්කළ ”අහසින් වැටෙන එක දිය බිඳුවක් හෝ මනුෂ්‍යයාගේ පරිහරණයට නොගෙන මහ මුහුදට ගලා යන්නට නොදෙන්නමි” යන මහා සංකල්පය අද ද තායිලන්තය, කාම්බෝජය ආදී රටවල ජල කළමනාකරුවන් හිස් මුදුනින් පිළිගන්නා සංකල්පයක් බව අප රට බොහෝ දෙනා පවා නොදනිති.

පරාක‍්‍රමබාහු රාජ සභා මණ්ඩපය හෙවත් රාජ වෛශ්‍ය භූජංග මණ්ඩපයට පහළින් හමුවී ඇති කුමාර පොකුණ විශාලම පොකුණයි. මෙය මහා පරාක‍්‍රමබාහු නිරිඳුන්ගේ රාජකීය ජල උද්‍යානයේ අංගයකි. පරාක‍්‍රම සමුද්‍රය ආසන්නයේ දීප උයනෙහි නිශ්ශංක මල්ල රජුගේ රාජකීය පොකුණ පිහිටා ඇත. මේ පොකුණු අතරින් වඩාත් ආකර්ෂණීය වන්නේ උතුරු දෙසින් පිහිටි තිවංක පිළිමගෙය ආසන්නයේ පිහිටි නෙළුම් පොකුණයි. ගරාවැටී තිබී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇති නෙළුම් පොකුණ නෙළුම් මලක හැඩැති සුමට කළු ගලින් දර්ශනීය ලෙස නිර්මාණය කර ඇති අතර පරාක‍්‍රම සමුද්‍රයෙන් ඒ වෙත ජල සැපයුම ලබා දී ඇති බව විශ්වාස කෙරෙනවා. සංරක්ෂණයෙන් අනතුරුව පෙර පැවති ආකාරයට ජල සැපයුම ලබා දීමට නොහැකි වී තිබෙන නමුත් මෙම නෙළුම් පොකුණ පොලොන්නරුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්වී තිබෙනවා.

2005 වසරදී පමණ තවත් නෙළුම් පොකුණක නටබුන් පුරාවිද්‍යා රක්ෂිතය මායිමේ ලක්ෂඋයන ගම්මානය ආසන්නයේ සොයාගත් අතර එයද මුල් නෙළුම් පොකුණට බොහෝ සෙයින් සමානත්වයක් ගන්නා අතර මේ වන විට සංරක්ෂණය අවසන් කර තිබෙනවා.

ඒ ආසන්නයේම පිහිටි කෝන් වැව නම් අතහැර දැමූ වැව ආශ‍්‍රිතව තවත් නෙළුම් පොකුණක නටබුන් සොයාගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම ස්ථානය කැණීම් කර එකී පොකුණේ අවශේෂයන් මතුකර ගැනීමට කටයුතු කරනු ලැබුවා. එහිදී හමුවූයේද පෙර පොකුණු පරිදිම සුමට කළු ගලින් නිර්මිත පොකුණක සාධක වන නමුත් එහි පෙර ඒවාට වඩා වෙනස් ආකාරයේ බොරදම් රටාවක් දක්නට තිබුණි. ඒ අනුව ඒ මේ අත පෙරළා එහෙ මෙහෙ කර තිබූ ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අපහසු නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පලපුරුදු සංරක්ෂණ ශිල්පීන් විසින් එය පැවතියේ යැයි අනුමාන කළ හැකි ආකාරයේ සැලසුමක් සකස් කර සංරක්ෂණය සඳහා පියවර ගත් නමුත් ප‍්‍රතිපාදන සපයා ගැනීමේ සහ නිලධාරීන් යොමු කිරීමේ දුෂ්කරතා මත එය ක‍්‍රියාත්මක නොවුණි.

ඒ අතරවාරයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක‍්‍රියාත්මක වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ මෙම පොකුණ පිහිටි කෝන් වැව ප‍්‍රතිසංස්කරණය කර කෘෂිකර්මාන්තය සඳහා ජල සම්පාදනය සඳහා සැලසුම් කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලදී. එහිදී සිදුකළ සාකච්ඡුා සහ ක්ෂේත‍්‍ර පරීක්ෂණ මගින් හඳුනාගනු ලැබූයේ, කෝන් වැව ප‍්‍රතිසංස්කරණය කළ පසු මෙම පොකුණ පිහිටා තිබූ ස්ථානයේ ජල මට්ටම මීටර් දෙකක පමණ උසක් දක්වා වැඩි වන බවයි. ඒ අනුව පොකුණ එම ස්ථානයේ සංරක්ෂණය කළ හොත් එය ජලයෙන් යටවන නිසා ගත යුතු පියවර පිළිබඳ පරීක්ෂණයක් කළ අතර එහිදී යෝජනා දෙකක් ඉදිරිපත් විය. එකක් නම් පොකුණේ කොටස් එම ස්ථානයෙන් ඉවත් කර කෞතුකාගාරයේ හෝ වෙනත් සුදුසු ස්ථානයක යළි එකලස් කිරීම හෝ තිබෙන ස්ථානයේම බිම් මට්ටම එසැවෙන සේ පස් පුරවා සකස් කළ වේදිකාවක් මත සංරක්ෂණය කිරීම යන්නයි. එහිදී මෙවන් වැදගත් පුරා ස්මාරකයක් වෙනත් ස්ථානයකට ගෙන යෑම එනම් අස්ථානගත කිරීම එයට සිදු කරන අසාධාරණයක් වන හෙයින් සහ මෙම පොකුණ එම ස්ථානයේම සංරක්ෂණය මගින් ප‍්‍රතිසංස්කරණය කරනු ලබන කෝන් වැවට ආකර්ෂණයක් ඇති වීම සහ ලක්ෂඋයන ගම්මානයේ සමාජ ආර්ථික අගයයන් තීව‍්‍ර කිරීමට එය හේතු වන බැවින් දෙවන යෝජනාව පරිදි එම ස්ථානයේම සංරක්ෂණය වඩාත් සුදුසු බව තීරණය කරන ලදී.

එය සෑම අතින්ම, ප‍්‍රමාණයෙන් කුඩා වුවද, බෝවතැන්න ජලාශය ඉදිකිරීමේදී නාලන්ද ගෙඩිගේ එම ස්ථානයේම සකස් කළ උස් වේදිකාවක ඉදිකිරීමට ගත් තීරණය හා සමාන එකකි.

කැණීම් කර කොටස් මතු කර ගන්නා අවස්ථාව වන විටද විසිරී තිබූ හෙයින් සංරක්ෂණ සැලසුමක් සකස් කර තිබුණද ඒ ස්ථානයන්ට ගැළපෙන කොටස් තෝරාගෙන එකලස් කිරීම මහත් භාර දූර කටයුත්තක් වී ඇත්තේ මෙහි ශෛලමය කොටස් එහා මෙහා කිරීමට අපහසු තරම් අධික බරින් යුක්ත වීම හා හැඩයෙන් විවිධාකාර වීම නිසා සහ ඒ ඒ කොටස් හිමි නියමිත ස්ථානය හඳුනාගත යුතු නිසාය. එක් කොටසක් වැරදි තැනක සවි කළහොත් සම්පූර්ණ පොකුණම එකලස් කිරීමට නොහැකි මට්ටමට පත්වන බැවින් මෙම කොටස් ඉතාම නිවැරදි ලෙස හඳුනා ගැනීම වැදගත්ය.

ඒ සඳහා විසඳුමක් වශයෙන් මෙම කාර්යය සඳහා යොදවා ඇති පළපුරුදු සංරක්ෂණ ශිල්පියෙක් වන ලක්ෂ්මන් මහතා විසින් දැඩි පරිශ‍්‍රමයක් දරා රිජිෆෝම් උපයෝගි කරගෙන සෑම ශිලා කොටසකම පරිමාණයෙන් යුත් ආකෘතියක් බැගින් සකස් කර ඒ ඔස්සේ පොකුණේ කොටස්වලට හිමි නිවැරදි ස්ථානය හඳුනාගැනීමට අපූරු උත්සාහයක් ගෙන තිබීම ප‍්‍රශංනීයයි. එය වඩාත් ප‍්‍රායෝගික ක‍්‍රමවේදයක් බැවින් ඒ ඔස්සේ සංරක්ෂණ කාර්යය සැලසුම් කිරීමට කටයුතු කර ඇති අතර, මෙවැනි කාර්යයන් සඳහා යොදාගත හැකි වඩාත් සංකීර්ණ පරිගණක මෘදුකාංග අප සතුව තිබේ නම් මෙයට වඩා පහසුවෙන් මෙම කාර්යය ඉටු කළ හැකි වනු ඇත. කෙසේ නමුත් මෙකී කොටස් හඳුනාගැනීමේ කාර්යය කෙතරම් සංකීර්ණ වන නමුත් අප නිලධාරීන්හට එය එක්තරා අන්දමක වින්දනාත්මක අභ්‍යාසයක් වනු ඇති බවත්. නියමිත පරිදි කොටස් හඳුනාගැනීම මහත්වූ ආත්ම තෘප්තියක් ගෙන දෙන කාර්යයක් වනු ඇති බවත් වැටහෙනුයේ මේ කාර්යය සඳහා සංරක්ෂණ ශිල්පීන් පමණක් නොව කම්කරු, මුරකරු ආදී විවිධ මට්ටමේ නිල දරන පිරිස් මහත් වූ රුචිකත්වයකින් සම්බන්ධ වී ඇති නිසාය. මෙම කාර්යයට සම්බන්ධ වූ වාරි සෞභාග්‍යා ව්‍යාපෘති කණ්ඩායම සම්බන්ධ කිරීම මෙන්ම එම පිරිසට උදව් කරමින් සංග‍්‍රහ කරමින් නිරන්තරව මෙම කාර්යය පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසගේ සහභාගීත්වය පැසසුම් කටයුතුය.

අදාළ ශිලාමය කොටස් නියමිත පරිදි හඳුනාගැනීමෙන් පසු, දැනට පස් පුරවා සකස් කර ඇති වේදිකාව හොඳින් සවිමත් වන ලෙස තෙරපුම් කර, වැව් දියට සේදී නොයන ලෙස වට බැම්මකින්ද ශක්තිමත් කර, පෙර පොකුණ පැවති ස්ථානයේම වේදිකාව මත කපනු ලබන වළක ඉදිකරන ගඩොල් අත්තිවාරමක් මත ශිලාමය කොටස් ස්ථාපනය කිරීමට නියමිතය. මෙහිදී අධික බරින් යුත් ශිලාමය කොටස් එසවීම සඳහා දැවමය දණ්ඩියම් සහ පලංචියක එල්ලූ අතින් ක‍්‍රියා කරන දම්වැල් එසැවුම් යන්ත‍්‍රයක් උපයෝගි කර ගැනීමට සිදුවන්නේ යන්ත‍්‍රානුසාරයෙන් එම කාර්යය සිදු කිරීමේදී ශිලාමය කොටස්වලට හානි සිදුවිය හැකි නිසා සහ වඩාත් ප‍්‍රවේශමෙන් සහ සුමටව එම කාර්යය සිදු කිරීමට අවශ්‍ය නිසාය. එමෙන්ම මෙවන් කාර්යයක් ඉතා ප‍්‍රවේශමෙන් සිදු කිරීම සඳහා ගතවන කාලය අනුව මේ සඳහා යන්ත‍්‍රයක් සපයාගෙන දීර්ඝ කාලයක් පවත්වා ගැනීමෙන් අධික වැයක් දැරීමට සිදුවේ. එහෙයින් මේ සඳහා පළපුරුද්ද ඇති දෙපාර්තමේන්තු සේවකයන්ගේ ශ‍්‍රමය හා හැකියාව මත මෙම කාර්යය ඉටුකිරීමට සැලසුම් කර ඇත.

යම් හෙයකින් මෙම පොකුණේ ශිලාමය කොටසක් හෝ කීපයක් සොයා ගත නොහැකිව තිබේ නම් එම කොටස් ගලින් හෝ ගඩොලින් බැඳ කළුගල් ආකාරයට නිම කරවා ගැනීමට කටයුතු කරන අතර ප‍්‍රතිසංස්කරණය කරනු ලබන කෝන් වැවේ ජලයෙන්ම පොකුණ පිරෙන අයුරින් අවශ්‍ය සැපයුම් නළ යෙදීමට කටයුතු කිරීමට නියමිතය.

සංරක්ෂණයෙන් පසු එය නැරඹීමට පැමිණෙන ජනතාවට ආරක්ෂිතව එහි පිවිසීමට හැකි පරිදි වැව හරහා වේල්ලක් හෝ පාලමක් ඉදිකිරීමට කටයුතු කරන අතර පොකුණ නැරඹීමට පහසුවන සේ ඒ වටා අඩි දහයක පමණ පළලින් යුත් වැලි ඇතිරූ අංගනයක් ආරක්ෂිත අයුරින් සකස් කිරීමට සැලසුම් කර ඇත. මෙම පොකුණ සහ පෙර සංරක්ෂණය කළ නෙළුම් පොකුණ පිහිටා ඇත්තේ තිවංක පිළිමගෙය සිට මීටර් 500 ක පමණ දුරින් වන නමුත් රක්ෂිත වනය හරහා මාර්ගයක් නොමැති වීම නිසා නරඹනන්නහට දැනට පැමිණීම අපහසු හෙයින් සංරක්ෂණයෙන් පසු එහි සිට පිවිසුම් මාර්ගයක් යෙදීමට කටුයුතු කරනු ඇත. එවිට තිවංක පිළිමගෙය අසල සිට පොකුණු දෙක සහ කෝන් වැව වෙත නරඹනන්නන්ට පිවිසිය හැකි වනු ඇති අතර, ඒ වෙත පැමිණෙන අතර මග වනයේදී පක්ෂීන් ඇතුළු වන සතුන්ද, විවිධ ශාක වර්ගද දැක බලා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. දැනට බොහෝ සංචාරකයන් පොලොන්නරුවේ ස්ථාන නැරඹීම සඳහා බයිසිකල් උපයෝගී කරගන්නා හෙයින් මෙම පොකුණ වෙතද බයිසිකල් මගින් පැමිණීම සංචාරකයන් ප‍්‍රිය කරනු ඇත.

මෙම පොකුණ 2022 වසර අවසානය වන විට සංරක්ෂණය කර මහජනතාවට නැරඹීම සඳහා සැලසුම් කර ඇති අතර මෙය උදාර ජල කළමනාකරණ සංකල්පයක් ලොවට දායාද කළ මහ පැරකුම්බා නිරිඳුන් හට උපහාර පිණිසම හේතු වනු ඇත.

වාස්තු විද්‍යාඥ ප‍්‍රසන්න බී. රත්නායක
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ශාස්ත‍්‍රීය) වැ.ආ.
අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා සංරක්ෂණ)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

advertistmentadvertistment
advertistmentadvertistment