නෙළුව පොලිසිය සහ පාදුක්ක පොලිසිය (රාලහාමි මං පොලිසියෙ රාලහාමි මං)

558

මේ රටේ ත‍්‍රිවිධ හමුදාවත් පොලිසියත් එක්ව 1971 අපේ‍්‍රල් කැරැල්ල සමයේදී සහ 1988, 89 දී මුදාහළ දුෂ්ට, නීච සහ කෲර භීෂණය එක මොහොතකින් අමතක කළ මේ රටේ කෘතවේදී ජනයා (සමහර විටකදී අන්තිම එපා කරපු ලෙස කෙලෙහි ගුණ අමතක කරන ජනයා) 2010 යුද්ධය දිනූ සැණින් මහා පාරේ කිරිබත් ඉව්වෝය. ත‍්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සෙත් පතා බෝධි පූජා පැවැත්වූහ. 88, 89 දී මෙරට සිදු වූ ඝාතන චිලී රටේ මිනීමරු ජනාධිපති පිනෝජේගේ මනුෂ්‍ය සංහාරයන් ද ඉක්ම වූ නමුදු යුද ජයග‍්‍රහණයේදී කවුරුත් ඒවා කතා කළේ නැත. ප‍්‍රභාකරන් මරා දැමීමෙන් අනතුරුව ත‍්‍රිවිධ හමුදාව අපේ හද සන්තානය තුළ පූජනීය විය. එහෙත් දුප්පත් පොලිසියට ඒ පූජනීය තත්ත්වයට එන්නට කවදාවත් බැරිවිය. ශවේන්ද්‍ර සිල්වාගේ යුද හමුදාව හිතවතකුගෙන් සිසිල් බීම බෝතලයක්වත් නොබොන තරමට විනයානුකූල ය. එහෙත් ඉන්ස්පෙක්ටර් ජෙනරල් සී. ඞී. වික‍්‍රමරත්නගේ පොලිසියේ සෑහෙන පිරිසක් කැතය; ලජ්ජා සහගතය; නින්දා සහගතය.
 
 නෙළුව පොලිසියේදී හා පාදුක්ක පොලිසියේදී රාලහාමි අංකල්ලා දෙදෙනකු විසින් දැරියන් දෙදෙනකු දූෂණය කළ බවට බරපතළ කතන්දරයක් මේ දිනවල පවතී. දැනට තිබෙන ආරංචිවල හැටියට නෙළුව පොලිසියේ සිද්ධිය ඇත්තකි. පාදුක්ක පොලිසියේ සිද්ධිය බොරුවකි. නෙළුව පොලිසියේ ඕ.අයි.සී. එම පත්වීම ලැබ නෙළුවට ඇවිත් තිබුණේ මීට තුන් හතර දවසකට පෙරය. එබැවින් නෙළුව පොලිසියේ අයියලාගේ තරම ගැන ඒ අහිංසක මනුස්සයා කිසිත් දැන සිටියේ නැත. පාදුක්ක පොලිසියේ අයියලා ගැන එහි ඕ.අයි.සී. හොඳින් දනී. ඒ අනුව තම පොලිසියේ රාලහාමි කෙනෙක් දැරියක් අපහරණය නොකළ බව ඔහු ඉඳුරාම දත්තේය. ඒ වෙනුවෙන් ඔහු ගහක් ගලක් සේ පෙනී සිටී. එහෙත් පොලිසිය සමග තියෙන තරහ නිසා පාදුක්ක පොලිසියේදී ස්ත‍්‍රී දූෂණයක් නොවූ බව පිළිගන්නට මේ රටේ ජනයා කැමතිම නැත. අපේ කතු වැකියේ වැදගත්ම කොටස (අපට හිතෙන හැටියට) පටන් ගන්නේ මෙතැන් සිටය.
 
 මනුෂ්‍යයා තුළ යකෙක් සහ දෙවියෙක් ජීවත් වෙයි. යකා නිතරම එළියට එන්නට හදන නමුදු විනය නමැති සාධකය විසින් ඌ මර්දනය කරනු ලැබේ. පොලිස් නිල ඇඳුම තුළට යන ඇතැම් මිනිහකුට යකා පාලනය කිරීම අපහසුය. ත‍්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් පීඩනයෙන් පසුවන්නේ යුද්ධයක් පවතින විට පමණි. එහෙත් පොලිසිය තුන්සිය හැටපස් දවසේ පැය විසිහතර පුරාම යුද්ධයක් නැතත් පීඩනයෙන් සිටී. එය මේ ආකාරයෙන් ජාලගත කළ හැකිය. පොලිස් රාලහාමිට සාජන් මහත්තයා පාට් දමයි. සාජන්ට එස්.අයි. පාට් දමයි. එස්.අයි. ට, අයි.පී. පාට් දමයි. අයි.පී. ට චීෆ් ඉන්ස්පෙක්ටර් පාට් දමයි. මේ දම්වැලේ නිමක් නැත. චීෆ් ඉන්ස්පෙක්ටර් ට ඒ.එස්.පී. ද, ඔහුට එස්.පී. ද, ඔහුට එස්.එස්.පී. ද, ඔහුට ඞී.අයි.ජී. ද, ඞී.අයි.ජී. ට අයි.ජී.පී. ද පාට් දමයි. මෙය අනිත් පැත්ත හැරවූ පිරමීඩයක් මෙනි. උඩ සිටින සියලූම දෙනාගේ පීඩනය අනුක‍්‍රමයෙන් රාලහාමි දක්වා ගමන් කරයි. එවිට ඒ අනුක‍්‍රමය තුළ සිටින අයගේ යකා එළියට ගැනීම පහසුය. එළියට ආ යකා මිනීමරා ලේ බොන විට සිවිල් සමාජය තුළ සුවිශාල අර්බුදයක් හටගනී. පොලිසිය යනු මේ රටේ විශාලතම සිවිල් ආයතනයයි. 88000 ක් පමණ වූ පොලිස් සාමාජිකයෝ දිනපතා දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාව සමග කෙළින්ම උරිනුර ගැටෙති. මේ නිසා පොලිසියේ වැඩි දෙනා සිටින්නේ මහත් ශෝකයෙන් සහ කලකිරීමෙනි. ඉතා ප‍්‍රීතිමත් ලෙස රූපවාහිනියේ පෙනී සිට චතුර ලෙස කතා කරන ජනප‍්‍රිය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සීනියර් ඞී. අයි. ජී. අජිත් රෝහණගේ සාම්පලය යනු සමස්ත පොලිසියම නිරූපණය කරන සතුටු සාම්පලය නොවේ. දුකෙන් සහ කරදරයෙන් සිටින පොලිස්කාරයා වංචාවට, දූෂණයට සහ භීෂණයට බරය. චාන්ස් එකක් ආවොත් ස්ත‍්‍රී දූෂණයකට ඔහු ප‍්‍රියය. එය ඔහුට එන්ටර්ටේන්මන්ට් එකකි. පොලිසිය නිතරම දුප්පත් මිනිසුන්ගේ කර මතින් සිය යකා පිට කිරීමට සූදානම් ය. පොල් ගෙඩි දෙකක් හොරෙන් කඩන මිනිහා අල්ලන්නට සමහරවිට මුළු පොලිසියම ඒ මිනිහාගේ ගෙදරට යයි. ඊළඟට බිම දිගේ ඇදගෙන එන ඒ මිනිහාට ජීප් එකට විසිවන සේ පයින් ගසනු ලැබේ. ජීප් එක තුළදී ඔහුට ආසනයක් නොලැබේ. ජීප් එකේ සීට් පේලි දෙක අතර ෆ්ලෝ බෝඞ් එකේ මුනින් අතට ඔහු බාවන පොලිසිය ඔහුගේ ඇඟ මත කකුල් තබාගෙන පොලිසියට ගෙන යති. එහෙත් යමක් කමක් තියෙන මිනිහකුට එතරම් දෙයක් කරන්නට පොලිසියට නොහැක. එයට හේතුව ඒ මිනිහා එක්කෝ ඕ.අයි.සී. ගේ යාළුවෙකි. නැත්නම් ඒ.එස්.පී. ගේ යාළුවෙකි. ආසියාවේ පොලිසි වැඩිහරියක තත්ත්වය මෙයයි. විශේෂයෙන් ඉන්දියානු පොලිසිය සැකකරුවන්ට ගහන ගැහිල්ල ලෝකයේ භයානකම පොලිස් ගැහිල්ල විය යුතුය. වවුල්කැලේ සමූහ ඝාතනය ඔබට මතකද? 88, 89 භීෂණ කාලයේදී වීරඟුල පොලිසියේ ඕ.අයි.සී, ජේ.වී.පී. කාරයන් විසි තිස් දෙනෙක් ජීප්වල පටවාගෙන ගොස් නිට්ටඹුවේ වවුල්කැලේ වන රෝදේ දී බාගෙට මරා ඉතුරු පණ භාගය පුළුස්සා දැමුවේය. ඔහු ජීප් රියේ සිටි සැකකාර තරුණියකගේ රහස් ප‍්‍රදේශය තුළට පිස්තෝලය බැස්ස වූ බව සාක්ෂිවලින් කියවිණ. පසුව මේ සමූහ සංහාරය හෙළිවිය. මේ පිළිබඳ නඩු විභාගය යද්දී උසාවියට කඩා පිනූ තුවක්කුකරුවෙක් විත්තිකාර ඕ.අයි.සී. ටත් ඔහුගේ මාමණ්ඩියටත් වෙඩි තබා මරා කටුනායක ගුවන් තොටුපළට ගොස් ඊළඟ ප්ලේන් එකේ නැග ජපානයට ගිය බව කියනු ලැබේ. ඔහු කවදාවත් ආපසු ආවේ නැත. වීරඟුල ඕ.අයි.සී. තිරිසනෙක් වුණේ ඔහුට ඉහළින් සිටින චීෆ් ඉන්ස්පෙක්ටර්ගේ පීඩනය නිසා නොවේ. එකල තිබූ පේ‍්‍රමදාස ආණ්ඩුවට හුළං ගැහීමටත් තම ආශාවන් සම්පූර්ණ කර ගැනීමට තිබූ නීච උවමනාව නිසාය. ආසියාවේ කොයි පොලිසියත් බේරේ වැව මෙනි. හරිආකාරව නිතර සුද්ද නොකොළොත් හැම විටම ජපන් ජබර වැවේ…(සමාප්තයි.)

advertistmentadvertistment
advertistmentadvertistment