නොඇරිය යුතු පෙට්ටිය හෙවත් පැන්ඩෝරාගේ බොක්ස් එක නොහොත් පල් හොරුන්ගේ විත්තිය

1802

මනුෂ්‍යයා මැවීම පිළිබඳව ආගමික මත තුනක් පවතී. හින්දු මතයට අනුව මනුෂ්‍යයා මවන ලද්දේ මහා බ‍්‍රහ්මයා විසිනි. කතෝලික මතවාදයට අනුව මනුෂ්‍යයා මවන ලද්දේ දෙවියන් වහන්සේ විසිනි. දෙවියන් විසින් ආදම් මවන ලද බවත් ආදම්ගේ ඉළ ඇටයක් ගෙන ඊවා නමැති ගැහැනිය මවන ලද බවත් ඒ නිසා පිරිමින්ගේ එක ඉළ ඇටයක් අඩු බවත් එකී ආගමික මතයේ කොටස් ය. කතෝලික ධර්මය, ඉස්ලාම් ආගම යනාදිය මෙලොව පහළ වීමට පෙර ලෝක දේව මණ්ඩලයේ නායකයා හෙවත් මැවුම්කාරයා ලෙස හඳුනාගෙන තිබුණේ සියුස් නමැති ග‍්‍රීක දෙවියාය. දිනක් සියුස් ගැහැනියක මවන්නට කල්පනා කළේය. ඊළඟට කම්කල්කාරයන් භාර දෙවියා වූ Hephaestus අමතා ගැහැනියක මවන ලෙස නියෝග කළේය. එවිට හෙෆෙස්ටස් විසින් ලොව පළමු කාන්තාව වන පැන්ඩෝරා මවන ලදී. පසුකාලයේදී විවාහ වූ පැන්ඩෝරා සිය සැමියා සතුව පෙට්ටගමක් තිබෙන බව දුටුවාය. මෙය කිසිවිටකත් විවෘත කර නොබලන ලෙස පැන්ඩෝරාගේ සැමියා දන්වා තිබිණ. එහෙත් කුතුහලයෙන් මඩනා ලද පැන්ඩෝරා දිනක් මේ පෙට්ටිය විවෘත කළාය. එසේ විවෘත කිරීමත් සමගම පෙට්ටිය තුළ සිරගත කර සිටි දුෂ්ට බලවේග සමූහයක් එළියට පැන ගත්හ. ක්‍රෝධය, ද්වේශය, මෝහය, තණ්හාව යනාදී ඒ බලවේග පසුව ලොව පුරා ස්ථානගත වූහ. මේ නිසා බටහිර ලෝකයේ වහරන විවිධ භාෂාවල් තුළ නරක දේවල් ගැන විස්තර කිරීමේදී පැන්ඩෝරාගේ පෙට්ටිය යන උපමාව යොදාගනු ලැබේ. තම රටේ ධනය සූරාකමින් ඒවා පිටරටවල තිබෙන විවිධ සමාගම්වල ආයෝජනය කරන ජාවාරම්කරුවන් ගැන සොයන ICIJ නමැති ගවේශනාත්මක මාධ්‍යවේදී සංවිධානයක් ඇමරිකාවේ තිබේ. ලෝකයේ රටවල් සීයක සිටින දක්ෂ මාධ්‍යකරුවන් දෙසිය අසූවක සාමාජිකත්වය සහිත මේ සංවිධානය මෙයට අවුරුදු කිහිපයකට පෙර පැනමා පේපර්ස් නමින් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළේය. ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක සිටින ජාවාරම්කාරයන් සහ දේශපාලනඥයන් පැනමාව නමැති කුඩා රට මූලික කරගෙන පිහිටුවා තිබෙන ජාවාරම්කාර සමාගම් සමූහයක මුදල් ආයෝජනය කළ හැටි එකී පත‍්‍රිකාව මගින් හෙළිවිය. එහිදී හෙළිවුණු ඇතැම් ලාංකිකයන් කටයුතු කර තිබුණේ මේ රටේ සමහර දේශපාලනඥයන්ගේ බ්‍රෝකර්ලා ලෙසය. මේ නම් මෙයට වසර කිහිපයකට පෙර ප‍්‍රසිද්ධ විය. ඒවා ප‍්‍රසිද්ධ කිරීමට යෑමේදී මේ රටේ දේශපාලන චරිත කිහිපයක්ම අප මරාගෙන කෑමට සූදානම් වූහ. එබැවින් ඒ නම් නැවත මතක් නොකරන්නෙමු. මේ අතර ICIJ සංවිධානය පැන්ඩෝරා පේපර්ස් නමින් පත‍්‍රිකාවක් මෙයට දින කිහිපයකට පෙර නිකුත් කළේය. එය සමාන වන්නේ පැන්ඩෝරාගේ පෙට්ටිය විවෘත කර බැලීමටය. මෙවර තත්ත්වය පැනමා පේපර්ස් තරම් බරපතල නොවූවද යම් ප‍්‍රමාණයකට දරුණුය. පැනමා පේපර්ස් පත‍්‍රිකාව මගින් හෙළිදරව් කරන ලද ලාංකික හෝ ලංකාවට සම්බන්ධ ජාවාරම්කාරයන් සමූහය පනහකට කිට්ටුය. පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිවන ලාංකිකයන් ගණන ඊට අඩුය.

Offshore investments නමැති ව්‍යාපාරික සංකල්පයක් ධනවාදී ලෝකයේ තිබේ. මේ සංකල්පය තුළදී සිදුකරන්නේ තම මව් බිමින් ඈත පිහිටි කුඩා දූපත් හෝ රටවල සමාගම් පිහිටුවා එම සමාගම්වල මුදල් ආයෝජනය කිරීමය. එවිට මේ මුදල් ඒවායේ ආයෝජක හිමිකරුවන් ජීවත්වන මව් බිමෙන් සම්පූර්ණයෙන්ම නිදහස්ව ක‍්‍රියාත්මක කළ හැකිය. ඒ මුදල් සම්බන්ධයෙන් මව් බිමට බදු ගෙවිය යුතු නැත. හැබැයි එම මුදල් මව් බිමෙන්ම සූරාකන ලද මුදල්ය. විවිධ දේශපාලනඥයෝ තම රටට ලැබෙන විදේශීය ආයෝජනවලින් කොමිස් ගසති. සමහරවිට ආයෝජකයා ලබන ලාභයට වැඩි මුදලක් කොමිස් වශයෙන් දේශපාලනඥයාට ගෙවීමට එම ආයෝජකයාට සිදුවෙයි. උදාහරණයක් මෙසේය. ශ‍්‍රී ලංකාව තුළ කිසියම් වාණිජ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කිසියම් ව්‍යාපාරිකයෙක් ඩොලර් මිලියන පනහක් ආයෝජනය කරන්නේ යැයි උපකල්පනය කරමු. එම ව්‍යාපෘතිය ඇරඹීම සඳහා අදාළ අමාත්‍යාංශයෙන් අවසර ගත යුතුය. එම අවසරය දීම අදාළ ඇමැතිතුමාට කළ හැකිය. අදාළ අවසරය පිළිබඳ කැබිනට් පත‍්‍රිකාව සූදානම් කරන්නේ සහ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ ඇමැතිතුමා ය. මේ වෙනුවෙන් ඔහුට ජරාවක් දීමට විදේශීය ආයෝජකයාට සිදුවෙයි. බොහෝවිට එම ජරාව ගණන් බලන්නේ ව්‍යාපෘතියට වැයවන මුදලින් ප‍්‍රතිශතයක් ලෙසිනි. උදාහරණයක් ලෙස ඩොලර් මිලියන පනහෙන් 5% ක් ඇමැතිතුමා ඉල්ලයි. එනම් ඩොලර් මිලියන දෙකහමාරක් හෙවත් ඩොලර් විසිපන් ලක්ෂයක් ඇමැතිගේ සාක්කුවට වැටෙයි. මෙය ශ‍්‍රී ලංකාවේ මුදල්වලට පරිවර්තනය කළ විට රුපියල් කෝටි හැට හැත්තෑවකි. එම මුදල ආයෝජකයා විසින්ම ඇමැතිතුමාගේ කැචර් කෙනකුගේ හෝ බිරිඳගේ මල්ලීගේ හෝ නංගීගේ සැමියාගේ හෝ තමාට ඉතාම හිතවත් සේවකයාගේ නමින් හෝ ඇති විදේශික බැංකු ගිණුමකට බැර කර රිසිට් පත ඇමැතිතුමාට ඉදිරිපත් කරනු ලැබේ. එවිට ඇමැතිතුමා විසින් කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරනු ලැබේ. මේ ආකාරයෙන්ම ටෙන්ඩර්වලින් ද ගසා කෑමට හැකිය. ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීමකට විදේශිකයකු ටෙන්ඩර් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළේ යයි සිතමු. ටෙන්ඩරය අනුමත කරදීමට නම් ඇමැතිතුමා ටෙන්ඩරයේ වටිනාකමින් 10% ක් ඉල්ලයි. මෙවැනි ටෙන්ඩර්වලින් අවසාන ඵලයේදී ආයෝජකයාට 20% ක පමණ ලාභයක් තිබේ. ඇමැතිතුමා ටෙන්ඩරයෙන් 10% ක් කොමිස් ඉල්ලූ විට විදේශික ආයෝජකයා කරන්නේ තමාට 20% ක් ලාභ ලැබෙන පරිදි ටෙන්ඩරයේ වටිනාකම ප‍්‍රසාරණය කිරීමය. එය රටට පාඩුවකි. එවිට ඩොලර් මිලියන 20 න් කළ හැකි ඉදිකිරීමකට ඩොලර් මිලියන 25 ක් ගෙවීමට ආණ්ඩුවට සිදුවේ. ටෙන්ඩර්කරු 10% යේ කොමිස් මුදල ඇමැතිතුමාගේ ගොට්ටකු නමින් ඇති විදේශික බැංකුවකට බැර කරයි නම් මේ ඩොලර් තොගය කිසිවිටකත් ලංකාවට නොඑන අතර Offshore Investments සමාගම්වල ආයෝජනය කෙරෙයි. (මේ නිදසුන උපකල්පනයක් පමණි.) දේශපාලනඥයන් සල්ලි සූරා කා පිටරටවල්වලට යවන බව ඉතා ප‍්‍රසිද්ධ කාරණයකි. පැන්ඩෝරා පෙට්ටියෙන් එළියට ආවේ එවන් කතා පෙළක එක් කතාවක් වන්නට ද බැරි නැත.

advertistmentadvertistment
advertistmentadvertistment