නොකළ වරදකට ඉංග්‍රීසින් විසින් මරා දැමූ හෙන්රි පේද්‍රිස් නම් අපේ වීරයා

760

නිදහස් සටනේ පුරෝගාමියකු වූ හෙන්රි පේද්‍රිස් තරුණයාගේ කතාව..!

(ඉරිදාට යෙදෙන ගුණ සමරුව නිමිත්තෙනි)

එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් 1888 අගෝස්තු මස 16 වැනිදා කොළඹ දී උපන්නේය. ගාල්ලේ දංගෙදර ඩී. ඩී. පේද්‍රිස් හා මලුනෝනා මොහුගේ දෙමාපියෝය. ගාල්ලේ සිට කොළඹට පැමිණි ඩී. ඩී. පේද්‍රිස් ව්‍යාපාර කටයුතුවල යෙදී විශාල ධනවතෙක් විය. එඩ්වඩ් හෙන්රි පේදිරිස් මූලික අධ්‍යාපනය ලැබුවේ අද රාජකීය විද්‍යාලය නමින් හැඳින්වෙන එකල කොළඹ ඇකඩමිය නම් වූ ආයතනයෙන් හා සාන්ත තෝමස් විදුහලෙනි. ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවට දක්ෂකම් පෙන් වූ මොහු දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයකු මෙන්ම හොඳ අශ්වාරෝහකයෙක් ද විය. එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස්ගේ පියාට වුවමනා වූයේ තම පුතා උසස් පෙළේ වෙළෙඳ ව්‍යාපාරිකයකු කිරීමටය. එහෙත් හෙන්රි පේද්‍රිස් වඩා ප්‍රිය කළේ යුද හමුදා සේවයටයි.

පසුව යුද හමුදාවට බැඳුණු ඔහු නොබෝ කලකින්ම නගරාරක්ෂක හමුදාවේ කපිතාන්වරයකු ලෙස උසස්වීම් ලැබ අණ දෙන නිලධාරියෙක් ද විය. තරුණ පේද්‍රිස්ට යහළුවෝ සමූහයක් සිටියහ. ඔවුන් අතර යුරෝපීයයන්ද සිටිය නමුත් පේද්‍රිස් කිසි විටකත් තම ගෞරවය ඔවුන් ඉදිරියේ අබමල් රේණුවකින් වත් අඩු කළේ නැත. මේ නිසා මෙරට සිටි බ්‍රිතාන්‍යන් තුළ පේද්‍රිස් කෙරේ තරමක අප්‍රසාදයක් ද තිබිණි. නගරාරක්ෂක හමුදාවේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ හෙන්රි පේද්‍රිස් කෙරෙහි අප්‍රසාදයෙන් කටයුතු කළ සිරභාරයට ගෙන වැලිකඩ බන්ධනාගාරයෙහි කුඩා කුටියක රඳවා තබන ලදී. සමාජ සේවයේ හා අමද්‍යප ව්‍යාපාරයේ නියුක්ත වී සිටි නායකයන් හැට දෙනකු පමණ මේ වන විට සිර අඩස්සියට ගනු ලැබ සිටියහ. ඔවුන් අතර ඇෆ්. ආර්. සේනානායක, ඩී. බී. ජයතිලක, ඩී. ඇස්. සේනානායක, ඩබ්ලිව්. ඊ. ඒ. පී. ද සිල්වා, දොස්තර සී. ඒ. හේවාවිතාරණ, නීතිඥ ජෝන් ද සිල්වා, ඊ. ඒ. පී. විජයරත්න ආදීහු ද සුප්‍රකට බත්තරමුල්ලේ හිමියෝද වූහ. සර්ව නිර්දෝෂී වූ තමන් නිදහස් කර ගැනීම සඳහා කිසිදු පරිශ්‍රමයක් නොදැරිය යුතු බවත් තඹ දොයිතුවක වන්දියක් නොදිය යුතු බවත් ජයතිලක හා සේනානායක දෙපොල අවධාරණයෙන් කියා සිටියහ. යුද්ධාධිකරණයකට පෙනී සිටීමට නියමව සිටි පේද්‍රිස්ට විරුද්ධ චෝදනාව වූයේ රාජ්‍ය ද්‍රෝහීකම කඩසාප්පු ගිනිතැබීම හා මිනි මැරීමේ චේතනාවෙන් වෙඩි තැබීමත් ය. නිකම්ම නිකම් තුන්දෙනකු යුත් යුද්ධාධීකරණය ජූලි මස 01 දා තීරණය දුන්නේය. තීරණය වූයේ ඔහු වෙඩි තබා මරා දැමිය යුතුය යන්නය. වෙඩි තබා මැරීම දඩයකට හරවා ගැනීමට දැරූ සියලු උත්සාහ ව්‍යාර්ථ විය. 1915 ජුලි මස 07 වැනිදා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අවසාන වශයෙන් තීරණය කරන ලදී. තමාට මරණීය දඬුවම් පමුණුවන බව ස්ථීරවම දැනගත් පේද්‍රිස් වීරයා මරණයට කිසිදු බියක් හෝ චකිතයක් නොදැක්විය. වෙඩි උණ්ඩයට ලය දීමට ප්‍රථම ආගමික වතාවත් ඉටුකිරීම ආදී වූ කරුණු 05කට තමාට ඉඩ දිය යුතු යැයි පේද්‍රිස් විසින් ඉදිරිපත් කරන ලදී. ඒවා නම් තම දෙමාපියන් අවසන් වරට බැහැ දැක අවසර ගැනීම මහා සංඝයාට අටපිරිකර පූජා කොට ආගමික වතාවත් කිරීම සුද්දන් ලවා නොව පන්ජාබ් සොල්දාදුවන් ලවා තමාට වෙඩි තැබවීම යුද හමුදාවේ හිතවත් නිලධාරීන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම හා තමාගේ මළ සිරුර පවුලේ සොහොන් භූමියේ තැන්පත් කිරීම යන කරුණු 05 ය. වෙඩි තබා මරා දැමීමට නියමිත වූ ජුලි මස 07 වැනි දින උදෑසන සොල්දාදු ඇඳුමින් සැරසී සිටි ඔහු වධ ස්ථානයට සොල්දාදුවන් විසින් ගෙන යන ලදී. සෘජු කායෙන් යුතුව සොල්දාදුවන්ගේ ගමන් විලාසයට අනුව අඩිය තබමින් වධකස්ථානයට ඔහු ගිය ආකාරය වීරයකුගේ ගමනේ විශිෂ්ට දර්ශනයක් විය. ඔහුට පුටුවක වාඩිවන ලෙස දැන් වූ සුපිරින්ඩන්ට් තැන මුහුණ වසා බැඳ ගැනීමට ලේන්සුවක් දුන්නේය. ඔහුගේ ලේන්සුවෙන් වැඩක් නැහැ. මම මරණයට බය නැහැ මුහුණ වසා බැඳ ගන්නට මට වුවමනාවක් නැහැ. මම නිර්දෝෂී පුද්ගලයෙක් යැයි ගාම්භීර ස්වරයෙන් කියූ හෙන්රි පේද්‍රිස් එහි සිටි මර්ල් පෙරේරා දොස්තර මහතාට සෙසු මිත්‍රයන්ට ආචාර කළේය. ඉක්බිති ඔහුගේ දෑතට මාංචු දමන ලදී. මෙතෙක් හිසෙහි පැළැඳ සිටි යුද හමුදා හිස් වැස්ම එච්. එල්. ඩව්බිගින් විසින් ගලවා ඉවත් කරන ලදී. සෘජු උර්ධව කායයෙන් පුටුවේ වාඩි වී නොසැලෙන ඇසින් නිකුත් තියුණු බැල්මෙන් තමාට තුවක්කුව එල්ල කරගෙන සිටින පන්ජාබ් සොල්දාදුවන් දෙස බැලූ හෙන්රි පේද්‍රිස් මම සූදානම් වෙඩි තියනු යැයි නොපැකිල තියුණු ස්වරයෙන් ප්‍රකාශ කළේය. ඒ ඔහුගේ අවසන් වචන විය. පුටුව මත ඇදවැටුණු ජාතික නිදහසට ප්‍රාණය දුන් ඔහුගේ හඳවත තවම නොනිසලව පවතී අසලින් සිටි බ්‍රිතාන්‍ය යුද්ධ නිලධාරීයාගේ රිවෝල්වරය වහාම ක්‍රියාත්මක විය එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ගේ ප්‍රාණය නිරුද්ධ විය.

නොකළ වරදකට ඉංග්‍රීසින් විසින් මරා දැමූ හෙන්රි පේද්‍රිස් නම් අපේ වීරයා
එඩ්වර්ජ් හෙන්රි පේද්‍රිස් විරුවාණන් ඇෆ්. ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක ඇතුළු තවත් විරුවන් පිරිසක් සමග
නොකළ වරදකට ඉංග්‍රීසින් විසින් මරා දැමූ හෙන්රි පේද්‍රිස් නම් අපේ වීරයා

මැරී වැටුණ තරුණ හෙන්රි ප්‍රේද්‍රස් සිරුරින් ගැලූ ලේවලින් තෙත් වූ පුටුව එවකට සිරගත කොට සිටි. ඩී. බී. ජයතිලක, සේනානායක දෙසොහොයුරන් එස්. ඒ. හේවාවිතාරණ ඊ. ඒ. පී. විජයරත්න ආදී අමද්‍යප ව්‍යාපාරයේ නායකයන් ඉදිරියට ගෙන යන ලදී. මේ පුටුව ගෙන යා හැකි ගෙන යා යුතු තවත් කොපමණ තැන් තිබුණි. එහෙත් එය මේ සිරගත කොට සිටි ජාතිමාමක දේශපාලන සිරකරුවන් වෙතම ගෙන ආවේ ඔවුනට ද හිමි විය හැකි දෛවය ගැන කල්තබා ඉඟියක් දීමටය. මේ වූ කලී තර්ජනය තම කෲරත්වය දැක්වීමට අධිකාරින් යොදාගත් පහත් නීච ක්‍රියාවකි. අපේ නිදහස ගැන සටන් කළ මහා පුරුෂයා වූ ඇෆ්. ආර්. සේනානායක තම දිලිහෙන දෑස විහිදුවා තමා ඉදිරියේ රැස්වී සිටි කිහිපදෙනා අමතා බ්‍රිතාන්‍යයන් මේ කාර්යය හිතා මතාම කළේ අප බිය ගන්වන අදහසිනුයි ඔවුන්ට විශාල වැරදීමක් සිදු වී ඇත. එයට ප්‍රතිපක්ෂව මම එකක් කියමි. මම මා ගැන සිතා මේ සන්සුන් පොරොන්දුව ඔබ ඉදිරියේ දී ප්‍රකාශ කරමි. පොල්කටුවක් ගෙන මහ පාරේ හිඟා කෑමේ තත්ත්වයට මා ඇද දැමුවත් මේ පුද්ගලයන්ට පාඩමක් ඉගැන්වීමට මම මගේ මුළු සේසතම වැය කරමි. මේ නම් මහා භාරධුර වූත් විශිෂ්ට වූත් ප්‍රකාශයකි. හෙන්රි පේද්‍රිස් මරා දැමීම ඇෆ්. ආර්. සේනානායක ඊ. ඩබ්. පෙරේරා ඩී. බී. ජයතිලක සහ ඩී. ඇස්. සේනානායක සී. ඒ. හේවාවිතාරණ ආදී ජාති වාත්සල්‍යයෙන් පරිපූර්ණ නායකයන් ඇරඹි නිදහස් ව්‍යාපාරය නිශ්චිත සමාරම්භය විය. නිදහස දිනා ගැනීම අරභයා 1915 වර්ෂයට මෙහි පැවතියේ අසංවිධිත ව්‍යාපාරයයි. නිදහස ගැන බොහෝ දෙනා කථා කරමින් සිටියත් අධිෂ්ඨානයකින් යුක්තව ක්‍රියාකිරීමට මූලික ජවය ලැබුණේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් තරුණයා අමානුෂික ලෙස වෙඩි තබා මරා දැමීම පදනම් කොට ගෙන බව නොරහසකි. බ්‍රිතාන්‍යයන් විසින් කැරළිකාර සමයේ දී කරන ලද දහස් ගණන් අමානුෂික අසාධාරණ අයුක්ති සහගත ක්‍රියා සහ හෙන්රි පේද්‍රිස් වෙඩි තබා මරා දැමීම නිදහස සඳහා සංවිධානය විය යුතු යන පණිවිඩය ලාංකිකයන්ට පැහැදිලි උච්චස්වරයෙන් අමතක නොවන අන්දමින් කියා පෑවේය. කැරලි සමයේ බ්‍රිතාන්‍යයන් විසින් මේ රටේ කරන ලද දරුණු අමානුෂික ක්‍රියා 1919 දී ලංකා ජාතික සංගමය පිහිටුවීමට මඟ පෑදුවේය. මෙසේ පිහිටුවනු ලැබූ ජාතික සංගමය අපේ රටට නිදහස දිනා ගැනීමේ කාර්යයේදී පෙරමුණගෙන ක්‍රියා කළේය. තම පුත්‍රයාගේ අකාල මරණයෙන් මහත් සේ කම්පාවට පත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ගේ දෙමව්පියෝ තම පුත්‍රයාට පිං පිණිස කොළඹ හැව්ලොක් ටවුමේ ඉසිපතනාරාමය නම් වූ අංග සම්පූර්ණ විහාරය කරවූහ. එය පේද්‍රිස් වීරයාගේ ශ්‍රී නාමයට කරන ලද උපහාරයකි. එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් අනුස්මරණ සංගමය මගින් ඉසිපතන මාවත ආරම්භ වන ස්ථානයෙහි වීරයාගේ පිළිරුවක් ඉදිකරවන ලදී. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් 1978 ජුලි මස 07 වන දින මේ පිළිරුව විවෘත කරනු ලැබීය. හැව්ලොක් උද්‍යානයට එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් උද්‍යානය යන නම එදිනම තබන ලදී. ස්වකීය වීරත්වයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් සසල කොට ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට මඟ හෙළි කළ එඩ්වර්ඩ් පේද්‍රිස් ජාතික වීරයාට අමාමහ නිවන් සුවය ලැබේවා.

තිඹිරිගස්යාය විද්‍යාතිලක විද්‍යාලයේ ආචාර්ය ජාතික භික්ෂු සම්මේලනයේ උප සභාපති
ශාස්ත්‍රපති ගලගම ධම්මරංසි හිමි


advertistmentadvertistment