නොමද ආදරය හදෙහි රන්දා තෙවරප්පෙරුම අද නිසල සෙවණට පිවිසෙයි

842

නෙතට කඳුළක් හදට සුසුමක්

පාලිත අයියේ…., පුතේ… අපිට පිහිට වුණු දෙයියෝ… අපේ චණ්ඩි මාමේ… අපට දැන් කවුද පිහිට වෙන්නේ… අපි දැන් අසරණයි…. දේශපාලනඥයකු වෙනුවෙන් මෑත කාලයේ අසන්නට නොලැබුණු කඳුළු වදන් ඔහු වෙනුවෙන් නැඟෙන අයුරු අපි දුටුවෙමු. කළු ගං මිටියාවතේ සිට ජනතාවට ආදරය කළ යුතු අන්දම පිළිබඳ අපූරු ජීවිත පූර්වාදර්ශයන් රටට දුන් පාලිත තෙවරප්පෙරුම මහතාගේ මතුගම යටදොළ පිහිටි නිවසට ඇදී එන දහස් සංඛ්‍යාත ජනතාවගේ මුවින් නැඟෙන වදන් ඊයේ (18දා) එම නිවසට ගිය අපගේ ද නෙතට කඳුළක් එක් කළේය.

දේශපාලනය පසෙකලා ජාති කුලමල භේද නොතකා මිනිසුන් හම්බ කළ මිනිසකු වෙනුවෙන් නැඟෙන සෝ සුසුම් රටට ම කියා දෙන්නේ අලුත් මනසකට රට හා දේශපාලනඥයින් යොමු විය යුතු බවයි.

වෙනදා සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයින් වෙනුවෙන් නැඟෙන අවලාද ඔහු වෙනුවෙන් මෙදා නෙනැඟෙන්නේ තෙවරප්පෙරුමයන් විපතේ දී කඳුළ බෙදා ගනිමින් ජල බිඳුවේ සිට ආහාර වේල දක්වාත් ඉන් නොනැවතී හිසට නිවහනක් දීම දක්වාත් ඡන්ද බලාගෙන නොව මිනිසත්කමින් හෘදයාංගමව කැපවීමේ ආදර්ශය අව්‍යාජව රටට දී ඇති බැවිනි. තමන්ට විරුද්ධ දේශපාලන මත දැරුවත් තමා ඊයේ ඔහුගේ නිවහනට රොද බදිමින් කඳුළු සලමින් තම ආදරණීය හිතවතාට දැක්වූ බුහුමන මෑත කාලයේ දකින්නට නොලැබුණු තරම්ය.

නොමද ආදරය හදෙහි රන්දා තෙවරප්පෙරුම අද නිසල සෙවණට පිවිසෙයි

බුදු දහමින් දේශීත ජීවිත අනිත්‍ය පිළිබඳ අවබෝධය හොඳාකාරව අවබෝධ කරගෙන ජීවත් වූ පාලිතයින් ඒ නිසාම තම ලොකු පුතුගේ වියෝවෙන් දුක්ඛිතව තමා විසින්ම තැනූ යටදොළවත්තේ තම වත්තේ තැනූ සොහොන් ගැබට අද පිවිසෙන්නේ කළුගං මිටියාවතෙන් රටට මිනිසත්කමේ සහ අභියෝග මැද නොසැලෙන මිනිසත්කමේ පණිවුඩය රටට යළි යළිත් කියා පාමිණි.

සද්දන්ත කූඹියා

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාට උපහාර පිණිස කඩුවෙල – සුගත් ප්‍රේමතිලක මාධ්‍යවේදියා විසින් රචිත ‘සද්දන්ත කූඹියා’ කවිපෙළ පහත දැක්වේ. මේ වනවිට එය ගීතයක් ලෙසින් සංගීතවත් කොට ගීත් ජේ. සෙනෙවිරත්න නිර්මාණකරුවා ගායනා කර තිබෙන අතර සමාජ මාධ්‍යවලට ඊයේ සිට මුදාහැර තිබේ.

කලු ගඟේ වක්කලම්
යට ගිලුනු ජීවිත….
පලු ගියත් අත හැරියෙ
නැහැ උන්ගෙ හාමත…
මුලු හදින් දියකලත්
රැස් කරපු සේසත….
රලු බොරලු දිවිමගේ
කූඹියෙක් පාලිත….
බුදු බණේ තිබුනාට
අහිංසක හුට පට….

නොමද ආදරය හදෙහි රන්දා තෙවරප්පෙරුම අද නිසල සෙවණට පිවිසෙයි

මුදු ගුණේ තිබුනේම
පාලිතගෙ හිත වට…
කඳු උනත් අඬනවා
හිත් නාය යනකොට….
උඳු පියලි මල් පිපේ
සද්දන්ත ගස් යට…..

සංසාර මංපෙතේ
තනිව පෙරහැර අරන්…..
ගම්බාර වගෙයි නුඹ
බැරි උන්ගෙ බර දරන්…..
බරසාර හුස්ම පොද
පපුව මැද තද කරන්…..
සැඩපාර හරි සැරයි
යනවාද තොටුපළින්……

යටින් නොව උඩින් මයි
වැඩ කලේ එක හිතයි…
පිනෙන් පීදුන මුහුනෙ
හිනාවම මල් හතයි…..
දනින් වැටිලා හඬන
මහ සෙනග මහමගයි….
ඉතින් කලුගං තොටට
දවල්ටත් කරුවලයි……

ඡායාරූපය – බුද්ධික ඩී. රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment