නොමිනිසුන් රැකෙද්දී දඬුලේනුන් නැසීම

205

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට
විවෘත සන්දේශයක්

නොමිනිසුන් රැකෙද්දී දඬුලේනුන් නැසීම

දඬුලේනාගෙන් වගාවට සිදුවන හානිය සලකා ඒ සතාට ජාතික සත්වයා වශයෙන් ලබාදී තිබූ ගෞරව සන්නාමය ඉවත් කිරීමට පියවර ගන්නා බවට ඔබ වෙතින් පළවුණු අදහස් ජනමාධ්‍ය මගින් දැනගන්නට ලැබිණ. එයින් ගම්‍ය වන්නේ ඒ සතාට ද නිල වශයෙන් මරණ දඬුවම පමුණුවන්නට පියවර ගැනෙන බවය. පළමුව කිව යුත්තේ මේ පාපකාරී නිගමනය කැකිල්ලේ තීන්දුවක් ම වන බව ය. ප්‍රධාන ප්‍රශ්නය වන්නේ වගා හානිය හෙවත් වගා කටයුතු කරන ගොවීන්ට සිදුවන හානියයි. නොඑසේනම් ගොවීන්ට සිදුවන අලාභයයි. මෙ කරුණු අතිශයින් ම සංවේදී ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. අතිකාල නොලබා විශ්‍රාම නොලබා අඩු තරමින් දෛනික කම්කරු වැටුපවත් නොලබා වසරේ දින 365 ම නිවාඩුවක් නොලබා සමස්ත ජාතියටම ආහාර සපයන ගොවියා හැමදාමත් පසුවන්නේ විඳ දරාගත නොහෙන අලාභ හානි කන්දරාවකට මැදිව ය. එසේ වූවත් කරන්න කිසිවක් නැති නිසාම අඬ අඬා ම හූල්ලමින් ම ගොවියා නැවත නැවතත් ගොවිතැනට බසියි. දිගින් දිගටම සිදුවන මේ මහා ඛේදවාචකයට පිළිතුරු සෙවීමට ඔබතුමන් ඇතුළු කෘෂි ක්‍ෂේත්‍රයේ දේශපාලනඥයින් හෝ නිලධාරීන් මේ දක්වා කිසිදු සාධනීය පියවරක් ගෙන නැත. සිදු කරන්නේ පවත්නා ප්‍රශ්නය යටගැසීමට ඇස් බැන්ඳුම් හුවා දැක්වීම පමණ ය.

අපේ රටේ දේශපාලකයන් බහුලවම සිදු කරන්නේ පවත්නා ප්‍රශ්න නොවිසඳා ඒවා අමතකව යන පරිදි අලුත් ප්‍රශ්න නිර්මාණය කිරීමයි. එනිසාම රටේ ජනතාව ‘දේශපාලුවා’ යන නම තමාගේම පාලකයන් සඳහා පටබඳින්නට උත්සුකව ඇති බව ද පැහැදිලිව තේරුම් ගත යුතුය. දඬුලේනා පිළිබඳ ඇදගෙන තිබෙන අලුත්ම ප්‍රශ්නය ද සලකා බැලිය යුතු වන්නේ එකී නිරවද්‍ය හා සැබෑ දෘෂ්ටි කෝණයක් තුළිනි. දඬුලේනා ඇතුළු සතුන් විශාල ප්‍රමාණයකින් වගාවන්ට සිදුවන හානිය සුළුපටු වූවක් නොවන බව සැබෑය. එහෙත් කෘෂිකර්ම අමාත්‍යවරයා වන ඔබතුමාගෙනුත් ඔබ අමාත්‍යාංශය හා සබැඳි නිලධාරීන්ගෙනුත් ගොවියන්ට හා වගාවන්ට සිදුවන හානිය ඊට වඩා බෙහෙවින් බරපතළය. ඇත්ත වශයෙන් මේ දෙපාර්ශ්වයෙන් සිදුවන හානිදායක තත්ත්වය නිසි පරිදි ගණනය කිරීමක් සිදුකළ හොත් 99%ක හා 01% තරමේ වන අනුපාතයක් වනු නිසැක ය. මෙහි සත්‍යාසත්‍යතාවය මේ රටේ අවදිමත් ගොවිජනතාව මැනවින්ම දැන සිටිති.

ලෝකයේ වෙනත් කිසිම රටක නැති එහෙත් “ලෝකයේ උතුම් රට” යැයි පාරම්බාන අප රටේ ගොවීන්ට පමණක් ඇති ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ තම නිෂ්පාදනයන් විකුණා ගත නොහැකි වීමයි.

“වැඩි වැඩියෙන් වගා කරන්න” යනුවෙන් ඔබතුමන්ලා ගොවියන්ට නිරන්තරයෙන් උපදෙස් දුන්නත් ඔවුන් වෙහෙස වී වගා කරන දෙයෙහි අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගැනීම සඳහා ඔබතුමන් ප්‍රධාන වගකිවයුත්තන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත. එහිදී වෙළෙඳපොළේ දී අසරණ වන ගොවීහු අඬමින් දොඩමින් අවලාද කියමින් තම දහදිය මුසුව නිපැයූ එළවළු ආදිය මහා පරිමාණයෙන් විනාශ වන්නට ඉඩ හරිති. 1990 දශකයේ දී වලව විශේෂ බල ප්‍රදේශයේ කුඹුරුවල කෙසෙල් වගාකිරීමට ගොවීන් පෙළඹවූයේ මහවැලි අධිකාරියයි. එහෙත් අද කෙසෙල් නිෂ්පාදන මිල කිරීමට ඒ ආයතන ඉදිරිපත් වන්නේ නැත. එහිදී කෙසෙල් ගොවීහු බරපතළ ආපදාවකට පත්ව සිටිති. දිවයින පුරා කහ වගා කරන ලෙස රජය කළ ඉල්ලීම ද එසේමය. අද කහ ගෝවිහුද අසරණව සිටිති.

ගොවීන්ට හානි සිදු කරන තවත් අවස්ථාවක් නම් යන්ත්‍රෝපකරණ භාවිතය සම්බන්ධ ව්‍යාපාරික අධිකාරියයි. නිදසුන් වශයෙන් පසුගිය කන්නයේ සුනාමි නමැති වී අස්වනු නෙළන යන්ත්‍රයේ ගාස්තුව රුපියල් 13,000ක් පමණ වූ අතර අද වන විට එය 35,000 පමණ වී ඇත. එසේම මඩ වැඩට යෙදෙන ට්‍රැක්ටර් ගාස්තුව රුපියල් 12,000 සිට රුපියල් 30,000 පමණ වේ. මේ සම්බන්ධයෙන් රජයේ පාලනයක් හෝ අනුග්‍රහයක් සිදු කර නැත.

ගොවීන්ට බරපතළම හානිය සිදුවන්නේ එළවළු පලතුරුවලට අදාළ බීජ සම්බන්ධ මාෆියාව මගිනි. අද වන විට දේශීය බීජ නිපදවන්නේ ම නැත. පාරම්පරිකව අප රටේ පැවති බීජ සම්පූර්ණයෙන් ම විනාශයට පත් කරනු ලැබ තිබේ. ඒ සඳහා ආදේශක විදේශ සමාගම්වලට පාවා දී ඇත. අප රටේ ගොවීන් ඒ විදේශ සමාගම්වල නිත්‍ය වහලුන් බවට පත්ව සිටිති. විදේශ බීජවල මිල පමණක් නොව ඒ ආශ්‍රිතව අනිවාර්ය වී ඇති රසායනික ද්‍රව්‍යවල මිල ද මගින් ලාංකික ගොවියා නාස් ලණු සහිත හරකුන් බවට පත් කරනු ලැබ ඇත. මේ සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් වගකිවයුතුවන්නේ ඔබ ඇතුළු ප්‍රධානීන්ම ය. ගොවීන් මුහුණ දෙන මේ නස්පැත්තිය කොතරම්ද යන්න බීජවල මිල නිරීක්ෂණය කිරීමෙන් දැනගත හැකිය. නිදසුන් ලෙසින් ගස් ලබු ඇට කිලෝවක මිල ඇසුවොත් ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් ඇත්ත බලන්න. ගස්ලබු ඇට කිලෝවක මිල රුපියල් ලක්ෂ විසිහතරකි. එමෙන් ම පිපිඤ්ඤා බීජ කිලෝවක මිල රුපියල් එක්ලක්ෂ අසූඅටදහසක් පමණ ද වට්ටක්කා ඇට කිලෝවක මිල රුපියල් එක්ලක්‍ෂ දහතුන්දහසක් පමණ ද මාලුමිරිස් බීජ කිලෝවක මිල රුපියල් හත්ලක්‍ෂ විසිදහසක් පමණ ද තක්කාලි ඇට කිලෝවක මිල රුපියල් එකොළොස්ලක්‍ෂ හැටදහසක් පමණ ද වෙයි. තවද කොමඩු ඇට කිලෝවක මිල රුපියල් ලක්ෂයක් පමණ ය.

මෙම මිල ගණන්වලට බීජ ලබා ගන්නා දුප්පත් ගොවියා ඊටත් වඩා වටිනාකමක් ඇති තම ශ්‍රමය ද එක්කොට නිෂ්පාදනය කරන දේ නිසි මිලකට විකුණාගත නොහැකි වන විට ඔවුන් තුළ ඇතිවන චිත්ත පීඩාව කොතරම්ද ? මේ දෙස බලන විට ඇතැම් ගොවීන් සිය දිවි නසා ගැනීම පුදුමයක් නොවේ. මැලේසියාවේ මොන්සැන්ටෝ සමාගම වැනි බහු ජාතික සමාගම් මගින් නිපදවෙන මේ බීජවල ජනන ශක්තිය සීමා කරනු ලැබ ඇත. එම බීජවලින් හටගන්නා පලදාවන්හි බීජ ශක්තිය නැත. මෙනිසා පැළ සිටුවන සෑම අවස්ථාවකදී ම අලුතින්ම බීජ මිලදී ගැනීමට ගොවියාට සිදු වනු ඇත. එපමණක් නොව මේ බීජ නිපදවා ඇත්තේ ඊටම ආවේණික ලෙඩ රෝග ද සහිතවය. ඒ නිසා ඒවාට අදාළ රසායනික පොහොර හා ප්‍රතිකාරක යෙදවුම් මිලට ගැනීම සඳහා ද ගොවියා අනිවාර්ය වශයෙන් ම යොමු විය යුතුය. මෙය මෙසේ වීමට හේතුව කුමක්ද ? අපේ රටේ මිනිසුන් වසර දහස් ගණනක් තිස්සේ කළ වගාවන්හි බීජවලට කුමක් සිදුවී ද? සිදුකර ඇත්තේ අපේ බීජ ක්‍රමානුකූලව විනාශ කිරීමයි. නැති කිරීමයි. එසේ කළේ “දේශීය බීජ ඵලදායි නැත ලැබෙන අස්වැන්න අඩුයි, පාඩුයි, ගෙඩි පුංචියි හෝ ප්‍රමාණයට වඩා ලොකුයි” ආදී වශයෙන් මත වාද ඇතිකර අපේ දේ දෝෂ දර්ශනයට යොමු කිරීමෙනුයි. එසේ කරමින් පිටරට බීජ වර්ණනා කිරීමයි. මේ දේ සිදු කළේ පිටරටවලින් පැමිණි අය නොවේ. අපේ ම කෘෂිකර්ම අමාත්‍යාංශයයි. නිලධාරි පැළැන්තියයි. අන්තිමට ඒ උත්සාහය සාර්ථක වී ඇත. දේශීය ගොවියා පිටරට සමාගම් කිහිපයක වහලුන් වී ඇත.

මැලේසියාවේ කෘෂි පර්යේෂකයන්ට එවන් බීජ නිෂ්පාදනය කළ හැකි නම් අපේ කෘෂි පය්‍යෙෂණ අංශවලට ඒ හැකියාව නැතිද? පේරාදෙණිය, ගන්නෝරුව ආදී ස්ථානවලත් විශ්වවිද්‍යාල ආයතනවලත් ක්‍රියාත්මක කෙරෙන කෘෂි පය්‍යෙෂණ අංශවලින් අපේ ම වූ බීජ නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා ක්‍රියා කළ නොහැකිද? එසේනම් රටේ ජනතාවගේ මුදල් කෝටි ගණනින් වැය කරමින් එවන් ආයතන නඩත්තු කරගෙන යාමේ අර්ථයක් තිබේද?

තවද වගාවන්ට සතුන්ගෙන් වන හානිය අප රටට පමණක් සීමා වූවක් නොවේ. ලෝකයේ දියුණු රටවල සතුන් පලවා හැරීමට හිරිහැරයකින් තොර අහිංසක ක්‍රමවේද අනුගමනය කරන බව අපි දකිමු. විශේෂයෙන්ම විද්‍යුත් තරංග මගින් එවැනි දේ සිදු කරන බව අසා ඇත්තෙමු. අපේ කෘෂි පර්යේෂකයන් මෙතෙක් එවන් විද්‍යාත්මක ක්‍රමවේද කීයක් හඳුන්වා දී තිබේද ? ඇමතිතුමා කියන්නා සේම අපේ පර්යේෂකයන් ද හිතන එකම විසඳුම මේ සතුන් සියල්ලම මරා දැමීම වන බව නොවේද ? මෙවන් ප්‍රාථමික හා හිංසන ක්‍රම වෙනුවට වඩාත් ශිෂ්ටාචාරවත් ක්‍රමවේදයක් නිර්මාණය කිරීම මනුෂ්‍යත්වයේ නාමයෙන් වහාම කළ යුතු ප්‍රතිකාරයයි. වගාවලට හානි සිදු කිරීම ආදී චෝදනා යටතේ මේ වන විට මරා දැමෙන අලි ඇතුන් සංඛ්‍යාව වසරකට 300 ඉක්මවා සිටියි.

එක අතකින් සංචාරක සේවාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් හදන ආණ්ඩුව ලෝක ප්‍රජාවගේ ආකර්ෂණය දිනාගෙන සිටින අපේ අලි සම්පත රැක
ගැනීම කෙරෙහි දක්වන්නේ අඳබාල මන්දෝත්සාහයකි. අඩුම තරමේ ප්‍රසිද්ධ අලිමංකඩ හරහා දිවෙන දුම්රිය හා වාහන සඳහා ගුවන් පාලමක් ඉදිකිරීමට වත් මේ මුග්ධ අඳබාල විශේෂඥයන්ට නුවණක් පහළ නොවන්නේ ඇයි ද යන්න විමසිය යුතුම පැනයකි. කාබනික පොහොර පිළිබඳ ප්‍රශ්නය ද
ගොවියා මහත් අසීරුතාවයකට පත් කළ කුමන්ත්‍රණයකි. ඒ සිදුවූ හානිය පිළිබඳව ගෝඨාභය ජනාධිපතිතුමා සමාව ගැනීම කළ නමුත් සීයට අනූවක්ම වගකිවයුතු නිලධාරීන් හා උපදේශකයින් නිවැරදි වන්නේ නැත. ජනාධිපතිවරයා එවන් මර උගුලකට තල්ලු කර දැමූ එවන් අපරාධකාරයින් තවම නිදැල්ලේ සිටිමින් තවදුරටත් දේශීය ගොවිතැනට විරුද්ධව කුමන්ත්‍රණකාරී ක්‍රියාවල නිරත වෙමින් සිටින බව අමතක කළ යුතු නැත. රසායනික පොහොර භාවිතය නතර කොට කාබනික පොහොර භාවිතය සඳහා රජය ගත් හදිසි ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම රසායනික පෝර සමාගම්වල කුමන්ත්‍රණයක් බවට නිගමනය කිරීමට කරුණු එමට ය. ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම රජය හරහා ම සිදු කළ ආකාරය අතිශයින්ම කනගාටුදායක ය.

ඒ වනවිට කාබනික පොහොර භාවිතය පිළිබඳ ගොවීන් විශාල සංඛ්‍යාවක් විශ්වාසය තබා සිටි අතර ඉහත කී කුමණ්ත්‍රණය නිසා ඒ ගොවීන්ටත් කාබනික පොහොර සපුරා ම එපා විය. හේතුව, රජයේ අනුමැතිය යටතේ වෙළෙඳපොළට ආ කාබනික යැයි කියාගත් පෝර නිකම්ම නිකම් කුණුගොඩවල් වීම ය. ජනමාධ්‍ය මෙහිලා විශාල වැඩ කොටසක් ඉටු කළ අයුරු දුටුවෙමු. ඒ ප්‍රචාරක කටයුතුද නිසා කාබනික පොහොර පිළිබඳ ජනතාව අතර තිබූ විශ්වාසය සම්පූර්ණයෙන් ම ගිලිහී ගියේ ය. අවසානයේ සිදුවන්නේ බහු ජාතික සමාගම්වල අරමුණු වූ දෙයයි. එනම්, “අපිට කාබනික පෝර කියන කුණු ගොඩවල් එපා අපට පෙර පරිදිම රසායනික පෝර ලබාදියව්” යනුවෙන් ගොවි ජනතාව එක හඬින් කියා සිටීමයි. කුණු නැවක් ගෙන ඒම ද ඒ කුමන්ත්‍රණයේ ම තවත් නින්දිත රංගනයකි. රටට මහත් වූ අලාභයක් සිදු විය. ජනපති උපදේශකවරු, ඇමතිවරු, නිලධාරීන් ඇතුළු සියලු කුමන්ත්‍රණකරුවෝ යෙහෙන් වැජඹෙති. මිනිස් වෙසින් සිටින මේ ක්‍රෑර සත්වයන්ගෙන් කෘෂිකර්මාන්තයට සිදුවන හානිය දඬුලේනුන් ලක්ෂ ගණනකින් වත් සිදු නොවන බව දැන්වත් පැහැදිලි නොවන්නේ ද?

රජයේ කඩිකුලප්පුවට පෙර සිට ම මේ රටේ ගොවීන් පිරිසක් හා ආයතන කීපයක් ඉතාම හොඳ තත්වයේ කාබනික පොහොර නිපදවමින් ද තම වගා කටයුතු සඳහා යොදා ගනිමින් ද සිටියහ. රජය කෙතරම් වංචනික ලෙස හා කුමන්ත්‍රණකාරී ලෙස ශ්‍රී ලාංකික ගොවියාට විරුද්ධව ක්‍රියාකළාද කියතොත්, අවංක ලෙස කාබනික පෝර ප්‍රවර්ධනයේ යෙදුණ එබඳු තැනැත්තන්ගෙන් හෝ ආයතනවලින් කිසිදු විමසීමක් කළේ නැත. උපදේශයක් ගත්තේ ද නැත. අඩුම තරමින් ඔවුන්ගේ නිෂ්පාදන මිලට ගැනීමක් වත් කළේ නැත. කාබනික පොහොර ප්‍රවර්ධනයේ මුවාවෙන් අපේ ම ආණ්ඩුව අපට ම කරන ලද වංචාවේ තරම එයින් ම පැහැදිලි වනු නියත ය. ඔබ අවංක ලෙස ම අපේ රටේ කෘෂිකාර්මාන්තය දියුණු කිරීමට කැපවී සිටිනවා නම්, වහාම කළ යුත්තේ එළවළු හා පලතුරු පිටරටින් ගෙන්වීම නතර කිරීමයි. මේ රටේම වවාගත හැකි ආකාරයේ එළවළු පලතුරු පිටින් ගෙන ඒමට මේ ආණ්ඩුව රුපියල් කෝටි 18382ක් වැය කරන බව කීවොත් ඔබ විස්මයට පත්වනු ඇත. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය මගින් කෙරුණු සමීක්‍ෂණයකදී හෙළි වූ මේ කරුණු අනුව පෙනීයන අනිත් වැදගත් කාරණය වන්නේ එම මුදලට තෙල් නැව් 19ක් ම ගෙන්වාගත හැකිය යන්නයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රධාන අදාළ ආයතන මේ දක්වා සිදුකර ඇත්තේ දේශීය වී වගාව මෙන් ම එළවළු වගාව ද අඩාළ කර ඒ නිෂ්පාදන පිටරටවලින් ගෙන්වීමට මග සැලසීමයි. එයට හේතුව ඒ ඒ කොම්පැනි වලින් හා පුද්ගලයන්ගෙන් කොමිස් මුදල් ලබා ගැනීමේ නින්දිත චේතනාවයි. සමස්ත ජාතිය පාවා දී තම සාක්කු පුරවා ගැනීමට ක්‍රියාකරන එබඳු නීච නින්දිත පාපතරයන්ට විරුද්ධව කිසිදු පියවරක් නොගන්නා ඔබ දඬුලේනෙකුට එරෙහිව ගන්නට යන පියවර කෙතරම් සාධාරණද යන්න හොඳ සිහියෙන් යුතුව කල්පනා කර බලනු මැනවි.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
සභාපති – සතුන් හා සොබාදහම සඳහා යුක්තිය සංවිධානය

advertistmentadvertistment
advertistmentadvertistment