නොයිඳුල් සිංහරාජය විනාශ කළ ආණ්ඩුවේ දැව මෙහෙයුම…

199

ප්‍රොෆෙසර් මාටින්ට කලින් කුඩව මාටින් හිටි සිංහරාජය-2

කුඩව මාටින් අයියා කැලය මැදින් අඩිපාරක් දිගේ මා කැඳවාගෙන ගියේ අතු කඩා හැලුණු කිතුල් ගසක් මුලටය. අසල පඳුරක සඟවා තිබුණ මුට්ටිය හා කිතුල් මල කපන පිහිය ඉණේ පිටුපස රඳවාගෙන දෑතින් කිතුල් ගසේ හැර අල්ලමින් මොහොතින් ගස මුදුනට නැගුණි. තෙලිජ්ජ මුට්ටිය මලෙන් ගලවා සැණෙකින් කිතුල් මල කපා හිස් මුට්ටිය මලට එල්වා පිරුණු තෙලිජ්ජ මුට්ටිය පිටුපස එල්ලාගෙන යුහුසුලුව බිමට පැමිණියේය. තෙලිජ්ජ මුට්ටිය එක් අතකින් එල්ලාගෙන අඩිපාරක් දිගේ මාටින් අයියා ගියේ සිංහරාජයේ ගල් තලාවක පිහිටි එක්තරා ගල් ගුහාවකටය. එම ගල්ගුහාවේ සුදු හැට්ටයකින් හා චීත්තයකින් හැඩවූ ස්ත්‍රියක් සිටියාය. කුඩා දරු දෙදෙනකු ද සිටිති. ඒ මාටින්ගේ බිරිඳ හා දරු දෙදෙනාය. කිතුල් හකුරු නිෂ්පාදනය වෘත්තිය වශයෙන් කරගෙන ගිය බැවින් මාටින් අයියා හා දරු පවුල එදා සිංහරාජ අඩවියේ ගල් ගුහාව නිවහන කරගෙන දිවි ගෙවූහ. ගල් ගුහාවේ පිවිසුමට ඈතින් වූ දැල්වෙන ලිපක් මත තාච්චියක තෙලිජ්ජ උණු වෙමින් තිබිණි. ඔහු ගෙන ගිය තෙලිජ්ජ මුට්ටිය ද එම තාච්චියටම හැලුවේය. ලුණුමිරිස් සමඟ මඤ්ඤොක්කා පිඟානක්, දුම් දමන කහට කෝප්පයක් හා කිතුල් හකුරු බෝල බිරිඳ මට පිරිනැමුවාය. වනාන්තරයේ සරු භූමියේ අපි සැරිසැරුවෙමු. සමාන උස මහතින් රෝපණය වූ ගස්ම එවැනිම වූ භූමිය ද අප වටාම පිහිටා තිබිණි. උසට වැඩුණු හල් ගසක හල්දුම්මල කැඩීම සඳහා දැව දඬුවලින් බඳින ලද අතහැර ගිය පලංචියක් ද, දොරණ තෙල් ගැනීම සඳහා විශාල දොරණ ගසක පපු මට්ටමින් හාරන ලද සිදුරකට ගිනි දමා දොරණ තෙල් ලබාගත් අතහැර ගිය දොරණ ගසක් ද මාටින් අයියා විසින් පෙන්වන ලදී. මේවා කැලය තුළ සැරිසරන මිනිසුන් විසින් සිදුකරනු ලැබූ නීති විරෝධී ක්‍රියා බව ඔහු පැවසීය.

බොහෝ මිනිසුන් එදා සිංහරාජ ව්‍යාපාරයට සේවයට පැමිණ පසුව රාජ්‍ය දැව සංස්ථාවේ ස්ථිර සේවයට බැඳුණේය. නමුත් මාටින් අයියා එවැනි අවස්ථාවක් තිබියදීත් රාජ්‍ය දැව සංස්ථා සේවයට නොපැමිණ පෙර පරිදිම සිංහරාජ අඩවියේ මඟ පෙන්වන්නා ලෙස සේවයේ යෙදිණි. පසුව සිංහරාජයේ “ප්‍රොපෙසර් මාටින් විජේසිංහ” වී 2021 නොවැම්බර් 23 වැනි දින 83 වියේදී මියගියේය.

● සිංහරාජයේ වන හෙළීම ඇරඹෙයි

1960 වර්ෂයේ දකුණු ආසියාවේ විශාල තුනී ලෑලි කර්මාන්තශාලාව අවිස්සාවේල්ල – කොස්ගම ශාලාව ආසන්නයේ හෙක්ටයාර් පහළොවක පමණ භූමියක ඉදිකරනු ලැබීය. මෙම යෝධ කර්මාන්තශාලාවට මෘදු දැව ලබා ගැනීමට ඉලක්ක වූයේ සිංහරාජ අඩවියේ දැව සම්පතයි. මේ වනවිටත් කන්නෙලිය ව්‍යාපාරයෙන් ගිංතොට තුනී ලෑලි නිෂ්පාදන කර්මාන්තශාලාවට මෘදු දැව සපයනු ලැබීය. සිංහරාජ අඩවියේ මෘදු දැව කපා සැපයීම එවකට පැවති රජය ගිවිසුම් යටතේ භාර කරනු ලැබුවේ කැනේඩියානු රජයටයි. ඒ අනුව අවශ්‍ය සියලුම යන්ත්‍රෝපකරණ කැනේඩියානු ආධාර යටතේ සිංහරාජ දැව කපා හෙළීමේ ව්‍යාපාරයට ආනයනය කරනු ලැබීය. මෙම කර්තව්‍යය කැනඩාවේ වැන්කූවර් දුපතේ බ්‍රිටිෂ් කොළොම්බියා – රීඩ් කොලින්ස් සමාගමට භාරකර (REID COLLINS AND ASSOCIATES Ltd – 550 BURRARD VANCOUVER – BC – CANADA) ඇත.

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට හැටේ දශකයේ අවසානය දක්වා දිවයිනේ වනාන්තර පරිපාලනය පැවතියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේය. 1969 මැයි මස රාජ්‍ය දැව සංස්ථාව ස්ථාපිත කිරීමෙන් පසු එතෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජකාරි කළ දැව සැපයීම් ඇතුළු එයට අදාළ සියලු රාජකාරින් රාජ්‍ය දැව සංස්ථාවට පවරනු ලැබීය. කැනේඩියානු විශේෂඥයන් යටතේ 1972 ආරම්භ කරනු ලැබූ සිංහරාජ අඩවියේ දැව සැපයීමේ කටයුතු පැවරුණේ ද රාජ්‍ය දැව සංස්ථාවටය. කැනේඩියානු විශේෂඥයන්ගේ උපදෙස් අනුව සිංහරාජ දැව සැපයීම් ව්‍යාපාරය රාජ්‍ය දැව සංස්ථාවේ “සිංහරාජ යාන්ත්‍රික දැව කපා හෙළීම් ව්‍යාපාරය” (SINHARAJA MECHANIZED LOGGING PROJECT) යනුවෙන් වෙනම අංශයක් පිහිටුවන ලදී.

නොයිඳුල් සිංහරාජය විනාශ කළ ආණ්ඩුවේ දැව මෙහෙයුම…

වැද්දාගල සිට සුදුවැලිපොත, මියනපලාව, බුත්කන්ද, කුඩව හා සිංහරාජය දක්වා පිවිසුම් මාර්ග කැනේඩියානු විශේෂඥයන් හා නව පත්වීම් ලැබූ ලාංකීය බර යන්ත්‍ර ක්‍රියාකරුවන් විසින් ඉදිකරනු ලැබීය. සුදුවැලිපොත ඉඩම් හිමියෙකු පිවිසුම් මාර්ගයට තමාගේ ඉඩම අසුවීම සම්බන්ධව මා සමඟ මැසිවිලි නැගීය. එතෙක් මාර්ගයක් නොමැතිව සිටි ඔවුන්ට, පිවිසුම් මාර්ගයේ වටිනාකම හා ඉදිරියේ ඉඩම්වල වටිනාකම පහදා දීමෙන් පසු සතුටට පත් වී, ඉන්පසු ප්‍රදේශයේ ගම්වැසියෝ මාර්ගය තැනීම පිළිබඳ නොසතුටක් හෝ අහිමි වන ඉඩම් වෙනුවෙන් වන්දි මුදලක් හෝ ලබා ගැනීමට ඉදිරිපත් නොවූහ. කැනේඩියානු විශේෂඥයන් MAC GORDON (මැක් ගෝඩන්), GORDON ANDERSON (ගොඩන් ඇන්ඩර්සන්), JACK LEWIS ජැක් ලුවිස්, GORDON PETERS (ගෝඩන් පීටර්ස්) සිවුදෙනා ඉතා කැපවීමෙන් බර යන්ත්‍ර ක්‍රියා කරමින් වැද්දාගල සිට සිංහරාජය දක්වා වූ අති දුෂ්කර කිලෝමීටර් දහයක් වූ දැනට භාවිතා වන පිවිසුම් මාර්ගය ඉදිකිරීමට දායක වූහ. සිංහරාජ ව්‍යාපාරය ආරම්භ කළ පළමු මාස හතර පහ සේවක දෙතුන් දෙනාගේ වැටුප් විදේශිකයන්ගේ අවශ්‍යතා සපුරාලමින් රාජකාරි සහාය ලබාදුන්නේ එවකට රත්නපුර – රාජ්‍ය දැව සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාර කේ. කේ. චාල්ස් දයානන්ද මැතිතුමා විසිනි. සිංහරාජ අඩවිය තුළ හෙක්ටයාර් 1500ක පමණ වන භූමිය තුළ දැව කපා හෙළීම හා ප්‍රධාන මාර්ගයට බර යන්ත්‍ර මගින් දැව ඇදීම සඳහා සියලුම මාර්ග සලකුණු කළේ ප්‍රංශ ජාතික හියු මාර්ෂල් (HUGH MARSHALL) විශේෂඥයා විසිනි.

සේවක පිරිස වැඩිවීම නිසා නවාතැන් පහසුව සඳහා කුඩව ගංඟාව අසල දකුණු ඉවුරේ ශාලාවක් ඉදිකරනු ලැබීය. දැනට එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රයෝජනයට ගනී. සිංහරාජ වනාන්තරය තුළ බර යන්ත්‍ර හා දම්වැල් කියත් (POWER CHAIN SAWS) අලුත්වැඩියා කිරීම හා අමතර කොටස් (SPARE PARTS) ගබඩා කිරීම සඳහා මධ්‍යස්ථානයක් කැනේඩියානු කාර්මික විශේෂඥ (DON KEYS) අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලැබීය. මෙය දැනට පරීක්ෂණ මධ්‍යස්ථාන 2 වශයෙන් භාවිත වේ. වනාන්තරය තුළ දැව හෙළීම් හා මාර්ගස්ථ ගබඩාවට සැපයීම් සම්බන්ධව නිෂ්පාදන කැනේඩියානු විශේෂඥ ඉංජිනේරු V. H. D. VAUGHAN (විකී වෝන්) අධීක්ෂණයේ යෙදුනි. කැනේඩියානු විශේෂඥ කණ්ඩායමේ පාලනය ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර උපදේශක කැනේඩියානු ජාතික A. R. TURNER විශේෂඥයාගේ අධීක්ෂණයෙන් පැවතිණ.

සිංහරාජ අඩවියෙන් කපා පරිවර්තනය කරනු ලබන දැව ඝන මීටර් 300 හෝ ඊට වැඩි ප්‍රමාණයක් පැටවූ දැව ප්‍රවාහන ට්‍රක්රථ පහ බැගින් දිනකට දෑල අංගණයට (රාජ්‍ය දැව සංස්ථා – දෑල ගබඩාව මෙහි ස්ථාපිත කර ඇත) ගබඩා කිරීමට යෝජනා විය. දෑල සිට කැලණිවැලි දුම්රියෙන් කොස්ගම තුනී ලෑලි සංකීර්ණයට දැව ප්‍රවාහනයට බලාපොරොත්තු වූ නමුත් කැලණිවැලි දුම්රිය මාර්ගය හා පාලම් සුදුසු තත්ත්වයේ නොතිබිණි. එමනිසා සිංහරාජ අඩවියේ සිට කොස්ගම තුනී ලෑලි සංකීර්ණය දක්වාම කැනේඩියානු දැව ප්‍රවාහනය ට්‍රක්රථ මගින්ම සිදුවිය.

කැනේඩියානු විශේෂඥයන් හා අයගම, කලවාන , වැද්දාගල හා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සේවක පිරිස හැත්තෑපහක් පමණ වූහ. සිංහරාජ අඩවියේ දැව හෙළීම් සිදුකරගෙන යෑමේදී දිවයිනේ පරිසරවේදීන්, සරසවි උද්භිද විද්‍යා මහාචාර්යවරුන්, කලාකරුවන් සුන්දර සිංහරාජය වැනසීමට එරෙහිව පුවත්පත්, සඟරා හා විවිධ ස්ථානවල දේශන පවත්වමින් සිංහරාජ විනාශයට එරෙහිව වහාම එය නවත්වන ලෙස දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක් දියත් කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මාස තුනහතරක් සිංහරාජයේ දැව කැපීම හා සැපයීම නතර කිරීමටත් සේවකයන්ගේ සේවය අත්හිටුවීමටත් සිදුවිය. නමුත් ඒ වනවිටත් කැනේඩියානු රජය සිංහරාජ අඩවියේ දැව සැපයීමට ගිවිසුමකට එළඹ එයට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබාදී දැව සැපයීම් කටයුතු ද ආරම්භ කර තිබිණි. එමනිසා එකල පැවති රජයට සිංහරාජ අඩවියේ දැව සැපයීම නීත්‍යනුකූල බැවින් පෙර පරිදි නැවත දැව කැපීමට අවසර දීමට සිදුවිය. නැවත දැව සැපයීම් ආරම්භ කර කැනේඩියානුවන් පෙරට වඩා ශීඝ්‍රයෙන් ගස් කැපීමේ හා ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කළේය. ඉවක් බවක් නොමැතිව කැලය කැපීමට උපදෙස් දෙනු ලැබීය. වර්ෂ ගණනාවක් ගත වූ බෙරලිය දුන් ගස් විශාල ප්‍රදේශයක් ආවරණය වූ අතුපතරින් උඩු වියන වැසී හිරු එළිය පොළොවට වැටීම වළකාලමින් නිසලව තිබිණි. වැසි ජලය, තෙතමනය හේතුවෙන් පාසි, පර්ණාංග, ඕකිඩ් වැනි අපිශාඛ වලින් ගසේ මුළු කඳම වෙළා තිබිණි. හිරු එළිය සොයා ඉහළට ඇදුණු ලතාමඩුලු උඩුවියන දක්වා වැඩී තිබිණි. කෘමින් මෙන්ම උරඟයින් ගසේ ලැගුම් ගෙන රැකවරණය ලබමින් සිටියේය. යටි වගාවේ ගස්වැල්, ක්‍ෂුද්‍රජීවින්, තෙතමනය ආරක්ෂා කිරීම, පාංශු-ඛාදනය වැළකීම, සිසිල, නොපෙනෙන අම්ලකර වායු විමෝචනය, ගුණාත්ම ආහාර ද්‍රව්‍ය (බෙරලිය බීජ, හල් බීජ) ලබාදෙමින් වනාන්තරයේ ගසකින් පරිසරයට, ජීවීන්ට සිදුකරන්නා වූ සේවය මෙතෙකැයි කිව නොහැක. ශතවර්ෂ ගණනාවක් සෙමින් සෙමින් රෝපණය වූ සිංහරාජ අඩවියේ විශාල ගසක් එක මොහොතකින් දම්වැල් කියතකින් කපා බිම හෙළන විට විශාල හඬක් නඟමින් අසල ගස් ලතාමඩුළු, යටි වගාවේ සියලුම ගස් හා ජීවීන් විනාශ කරමින් මිහිකත වැළඳ
ගනී. මෙවැනි ගස් කීපයක් හෙළා බිම දැමූ විට භූමිය එතෙක් ආවරණය වී තිබුණු උඩුවියන (CANOPY) නිරාවරණය වීම හේතුවෙන් එක්වරම සැඩ හිරු රැස් වන භූමියට වැටීම, අවට සියලුම ගස් කැඩීම නිසා හේනක් කැපුවාට වඩා විනාශයක්, විපතක් සිදු වෙයි. මෙසේ සිංහරාජ වනාන්තරයේ වර්ෂ හත අටක් යාන්ත්‍රික ක්‍රියාවලියකින් ගස් කපා හෙළීමේදී හෙක්ටයාර් ගණනාවකට සිදු වූ විපත මෙතෙකැයි කිව නොහැක.

බීජ සඳහා මවු ශාක ඉතිරි කිරීම, උඩුවියන ආරක්ෂා කිරීම, විශාල යන්ත්‍ර මගින් කැලය තුළ සිට දැව කඳන් ඇදීමේදී නිතර සිංහරාජ අඩවියට වසින වැස්ස හේතුවෙන් ඇති වන්නා වූ සෝදාපාළුව, නැවත වන වගාව පිළිබඳ සැලසුමක් බලධාරීන්ට නොවීය. අන්තර්ජාතික දැව විශේෂඥයන් වූ කැනේඩියානු උපදේශකයන්ට සිංහරාජ වනාන්තරය විනාශය පිළිබඳව උපදෙස් දීමට එදා දිවයිනේ සිටි කිසිවෙක් ඉදිරිපත් නොවූහ. සුදුසුකමක්ද නොවීයයි සිතේ. නමුත් තිලෝ ඩබ්ලිව්. නොන්මාන් මහතා ප්‍රමුඛ පරිසරවේදීන් පිරිසකගෙන් ඊට විරෝධතා එල්ල විය. අවිස්සාවේල්ල කොස්ගම ස්ථාපිත දකුණු ආසියාවේ විශාල තුනී ලෑලි කර්මාන්තශාලාවට සිංහරාජ අඩවිය විනාශ කරමින් සැපයූ දැව, නිෂ්පාදන කටයුතුවලට ප්‍රමාණවත් නොවීය. ලෝකයේ පළමුපෙළේ දැව සැපයුම්කරුවන් වූ කැනේඩියානු විශේෂඥයන්ට පවා සත් අවුරුද්දක් දැව සැපයීම් කළත් කර්මාන්තශාලාවේ නිෂ්පාදිත ධාරිතාවට සරිලන අමුද්‍රව්‍ය සැපයීමට අසමත් වූ බැවින් කොස්ගම – සාලාව තුනී ලෑලි සංකීර්ණය වැසී ගියේය. එතෙක් පැවති නොයිඳුල් සිංහරාජ අඩවියත්, දකුණු ආසියාවේ ඉදිකරනු ලැබූ කොස්ගම තුනී ලෑලි සංකීර්ණයත් දෙකම විනාශ විය. පසුව එම කර්මාන්තශාලාව පිහිටි ගොඩනැඟිලි හා භූමිය යුද හමුදා කඳවුර බවට පත් වී ඇත. සිංහරාජ වනාන්තරයේ මීට වර්ෂ පනහකට පෙර ගස් කපා විනාශ කළ භූමිභාගය අද වනවිට නැවතත් හඳුනාගත නොහැකි ලෙස එහි ස්වභාවික ශාක ගණවලින්ම පුනර්ජන්මය වී තිබීම දැකීම සතුටට කරුණකි. මුල් කාලයේ විනාශ කළ වන භූමිය තුළ සිංහරාජ අඩවියට ආවේණික එම පරිසරයට උචිත ගහකොළ රෝපණය වීමට ඉඩ නොදී කිසිවෙකුගේ උපදෙස් අනුව ඉදිරි කාලයේ වනාන්තරය විනාශ කිරීමේ බලාපොරොත්තුව ඇතිව වන විශේෂඥ දැනුමක් නැති බලවතෙකු විසින් පරිසරයට නුසුදුසු මැහෝගනී හා පයිනස් ශාක වනය තුළ රෝපණය කරන ලදී. අනාගතයේදී නැවත සිංහරාජ අඩවියට සිදුවීමට යන විශාල විනාශය දුටු සිංහරාජ අඩවිය ප්‍රිය කරන, එය රැක ගැනීමට සොයා බලන පරිසරවේදීන් පිරිසක් ක්‍රියා කළහ.

බලන්ගොඩ
කේ.කේ.එච්. දයානන්ද
රාජ්‍ය දැව සංස්ථාවේ
හිටපු සහකාර ප්‍රාදේශීය කළමනාකාර

advertistmentadvertistment
advertistmentadvertistment