නොරොච්චෝලේ අලුත්වැඩියාව 2 දා අවසන්

81

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු සැප්.2 දා වනවිට අවසන් කිරීමට එහි ඉංජිනේරුවන් අදහස් කර තිබේ.

බලාගාරයේ යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා නතර කර තිබෙන අතර තවත් යන්ත්‍රයක් පසුගියදා (15 දා) හදිසියේ අක්‍රීය විය. එම යන්ත්‍රය අක්‍රීයවීමට හේතුව යකඩ බටයක දෝෂයක් බව හඳුනාගෙන ඉංජිනේරුවන් එහි පිළිසකර කටයුතු ආරම්භ කර ඇත. ඊයේ (21 දා) වනවිට දෝෂයට ලක්වූ බටය ආසන්නයේ සෙල්සියස් අංශක 90 ක පමණ උෂ්ණත්වයක් පැවැති බවත් එය සෙල්සියස් අංශක 60 දක්වා පහත බැසීමෙන් පසු බටයේ දෝෂයට ලක්වූ කොටස ඉවත් කර වෙනත් කොටසක් සම්බන්ධ කළ යුතු බවත් එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය.

බලාගාරයේ යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අලුත්වැඩියා කටයුතු සිදුකර 2 වැනිදා වනවිට නැවත සක්‍රීය කිරීමට බලාපොරොත්තු වන බව ඉංජිනේරුවෝ පවසති. එම යන්ත්‍රයට අමතරව වසර හයකට වරක් අනිවාර්යයෙන් සිදුකළ යුතු අලුත්වැඩියා කටයුතු සඳහා නතර කර තිබෙන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු ලබන මස අවසානයේ නිම කිරීමට අදහස් කර තිබෙන බව ද එම ආරංචි මාර්ග පැවැසීය.

මෙගාවොට් 900 ක් නිපදවන මෙම බලාගාරයෙන් මේ වනවිට ජාතික පද්ධතියට එක්කර තිබෙන්නේ මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවයකි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment