නොවිසඳුන පරිසර ගැටලු පොදි බැඳ ආ නව වසර

601

මිහිගලයත් මිනිසාගේ පැවැත්මත් අනපේක්ෂිත දිශාකවකට ගමන් කළ වසරක් නිමා වී තිබේ. ගෝලීය වසංගතය ලෝකයේ කිසිදු දියුණු රටක් පවා අපේක්ෂා නොකළ උවදුරකි. ලෝකයේ ප‍්‍රබල රටවල් පවා එයින් සසල වද්දී පසුගිය දශකයේදී ලෝකයේම දැඩි අවධානයට ලක් වූ ගෝලීය උණුසුම අවම කරගැනීම සහ පරිසර විනාශය අවම කරගැනීම යන මාතෘකාව කාගෙත් අවධානයෙන් ගිලිහිණි. ශ‍්‍රී ලංකාව වැනි රටක් පිහිටීම අනුව ස්වාභාවික විපත් අවම යැයි පැවති සම්මතයද අභියෝගයට ලක්ව තිබෙන විට දේශගුණික අභියෝග කෙරෙහි පෙරට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු අතීත මතකයන් අප වර්තමානය කරා රැගෙන විත් තිබේ. එහෙත් අපේ රටේ පාලකයන් අපව රැගෙන යන්නේ එම නිවරදි මාවතේදැයි යළිත් ප‍්‍රශ්න කරන්නට සිදුව තිබේ.

  • ලෝකය හමුවේ තැබූ පොරොන්දු

මේ රට දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් සිදුවිය හැකි ක්ෂේත‍්‍ර ගණනාවක් පවතින රටකි. රටේ කෘෂිකර්මාන්තය, ධීවර, පශු සම්පත්, ජලය, ජෛව විවිධත්වය, වෙරළ සහ සාගර, නාගරික සැලසුම් සහ මානව ජනාවාස යන සෑම අංශයක්ම මේ දේශගුණ විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් අභිමුව තිබේ. දැන් දැන් මේ දේශගුණික විපර්යාසයන් අපට දැනෙන්න ගනිමින් තිබේ. වෙනදා දෙසැම්බර් මුල සිට දැනෙන සීත දේශගුණය දැන් දෙසැම්බර් අග දක්වා විතැන්ව ගොසිනි. අපේ‍්‍රල් වැසි සම වසර දෙක තුනක සිට වියළි කාලගුණයක් දක්වා පරිවර්තනයව බක්මහ අකුණු වෙසක් කාලය දක්වා පිම්මක් පැන ඇත. මේ දේශගුණ විතැන් වෙන ප‍්‍රමාණයෙන්ම කෘෂිකර්මාන්තයට බලපෑම් කරන්නේ වී වගා කරන කන්න විතැන් වීමෙනි. කන්න විතැන් වීම යනු කන්නෙකින් පසු ලබන ආදායම නිසි කාලයට නොලැබීමකි. ආදයමද විතැන් වීමකි. දේශගුණය වෙනස්වීමෙන් සිදුවන මේ චක‍්‍රයේ වෙනස් වීමේ සරල අර්ථය සමස්ත ආර්ථික රටාවේ වෙනස් වීමයි. රටක් ලෙස දේශගුණ විපර්යාසයන්ගේ මෙම අභියෝගයට ඔරොත්තු දෙන ලෙස සංවර්ධන ඉලක්ක කරා ළඟා වීම ශ‍්‍රී ලංකාවට කාලයක සිට පැන නැඟුණු අවශ්‍යතාවයකි. ඒ සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කර තිරසාර සංවර්ධනයක් කරා රට යොමු කරන බව 2010 වසරේ සිටම පැවති සෑම රජයක්ම අවධාරණය කෙරිණි. 2010 වසරේදී මෙරට ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචනය ටොන් 1.02 ක් ලෙස වාර්තා වනවිට 2019 දී එහි ගෝලීය සමුච්චිත දායකත්වය 0.03%කි. මෙවැනි තත්ත්වයක් තුළ 2021 සිට 2030 කාලසීමාවේදී බලශක්ති, ප‍්‍රවාහන, කර්මාන්ත, අපද්‍රව්‍ය, වනාන්තර සහ කෘෂිකර්ම යන අංශ වලින් හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීමට ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ පොරොන්දු වී තිබේ. එය සාර්ථක කරගැනීමට නම් 2030 වන විට මෙරට වනාන්තර ප‍්‍රතිශතය සියයට 32 දක්වා වැඩි කර ගැනීමද විදුලි බල උත්්පාදනයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ක‍්‍රම මගින් ලබාගැනීමද සිදු කළ යුතුව ඇත. එසේ තිබියදී වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ‘‘හුස්ම දෙන තුරු’’ ජාතික රුක්රෝපණ වැඩසටහනේදී සඳහන් කරන්නේ වෙනත් කතාවකි. එම ප‍්‍රකාශ අනුව රජයේ ඉලක්කය වන්නේ 2030 වසර වන විට මේ රටේ වනගහනය සියයට 30 දක්වා වැඩි කිරීමය. විෂයභාර අමාත්‍යවරයා එසේ කියන්නේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවකු ලෙස ශ‍්‍රී ලංකා රජය දෙවතාවක්ම ලෝකය හමුවේ මෙරට වනගහනය සියයට 32 දක්වා නංවන බව පොරොන්දු වූ පසුබිමකය.

  • රටේ වන ආවරණය විනාශය
නොවිසඳුන පරිසර ගැටලු පොදි බැඳ ආ නව වසර

නමුත් ගෙවුණු වසරේ රට පුරා අප‍්‍රසිද්ධව සිදුවූ වනාන්තර විනාශ කිරීම් ගැන සැළකීමේදී එකී අගයකින් වත් අපේ වන ආවරණය ඉහළ දමතැයි සිතිය හැකි නොවේ.

අපේ රට 2011 වසරේ සිට 2050 වෙන තුරු ක‍්‍රියාත්මක වන්නෙ ජාතික භෞතික සැළැස්ම නම් සැළසුම මතය. පරිසර සහ සොබාදහම් මධ්‍යස්ථානයේ වාර්තා අනුව මේ රටේ 2019 වසර වන විට දිනකදී වනගහනයෙන් අක්කර පහක් හයක් අතර ප‍්‍රමාණයක් විවිධ සංවර්ධන කටයුතු නිසා විනාශ වෙමින් තිබිණ. මෙම විනාශය 2020 පමණ වන විට අක්කර දහයක් අතර ප‍්‍රමාණයකට වර්ධනය වී ඇති බව පෙන්ණුම් කළේය. නමුත් 2021 වසරේදී මෙම තත්ත්වයද ඉක්මවා ගොස් ඇති බව පරිසර සහ සොබාදහම් මධ්‍යස්ථානය කළ සමීක්ෂණයේදී අනාවරණය වී ඇත. ඒ විනාශයේ තරම පෙන්නුම් කරන්නෙ ලොකයේ සෙසු රටවල් අතර මේ රටේ ක‍්‍රියාකලාපය සසඳන විටය. ලොකයේ ප‍්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතරින් ශ‍්‍රී ලංකාව සිටින්නේ පළමු රටවල් දහය අතරය. මෙය ඉතා බරපතළ තත්ත්වයකි. අපේ රට සතුව ඇති ස්වාභාවික වනාන්තර ප‍්‍රතිශතය සියයට 16 වැනි ප‍්‍රමාණයක් දක්වා පහළ බැස ඇති විට ගෙවුණු වසරේද බරපතළ වන විනාශයන් සිදුවුණි. බිබිල නිල්ගල, රාජාංගනය යාය 18 අක්කර පන්දහසකට වඩා ප‍්‍රමාණයක් කෝමාරිකා වගාව සඳහා ලබාදීම, රඹකැන් ඔය අක්කර 6000 පමණ මෙම වගාවන්ට ලබාදීම, උල්හිටිය ප‍්‍රදේශයේ සිදුවූ වන විනාශය මීට උදාහරණ කිහිපයක් පමණි. මේ විනාශය ගෝලීය උෂ්ණත්වය වැඩිවීම පමණක් නොව කෙටිකාලින දේශගුණික විපර්යාසයන් ඇතිවීමට බළපෑම් කරන්නකි.

  • නිර්මාණය කරගන්නා විපත්

අතීතයේ සිට මේ රට කලට වැසි ලැබෙන ස්වාභාවික විපත් වලින් තොර රටක් ලෙස ගැණුනත් දැන් දැන් ස්වාභාවික විපත් පවා අපට උග‍්‍ර ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. රටට වැසි ලැබෙන ප‍්‍රධාන ක‍්‍රම දෙකෙන් එකක් වන මෝසම් වර්ෂාව ලැබෙන කාලයේදී රට වැසියා ගංවතුර උවදුරට මුහුණ දීම දැන් කළක පටන් සිදුවන්නකි. පසුගිය වසරේ මෝසම් වැසි සමයේ ගංවතුර සහ නාය යෑම් වලින් ජීවිත හානි සහ දහස් ගණනින් මිනිසුන් අවැතැන්ව දුක් විඳි අවස්ථා අඩුවක් නොවුණි. එවැනි උවදුරු වලින් ජනතාව ඈත් කිරීමට පිළියම් යොදනවා වෙනුවට පාලකයන් සහනාධාර බෙදා දී පැලැස්තර ඇලවීමේ කලාව ගිය වසරේ සිට මේ වසරටත් රැගෙනවිත් තිබේ. ස්වාභාවික අපදා වළක්වා ගත නොහැකි වුවත් වැසි ජලය පිටාර ගොස් නිරන්තරව නගර ගම් දනව් යටවන්නේ නම් එයින් කියැවෙන්නේ වෙනත් කතාවක් බව මේ ප‍්‍රශ්නවලින් පීඩා විඳින මිනිසුන්ට තේරුම් ගොස් තිබේ. පසුගිය වකවානුවේ ජල ගැලීම් නිසා සිදුවූ උවදුරු බොහාමයක් අවිධිමත් සංවර්ධන කි‍්‍රයාවලියක අනිටු ප‍්‍රතිඵල නිසා සිදුවූ බවට ජනතා විරෝධතා මතුවූයේ ඒ නිසායි. ගෙවුණු වසරේදී දෙවතාවක්ම ගම්පහ වේයන්ගොඩ ප‍්‍රදේශය පෙර නොවූ පරිදි වැසි සමයේ ජලයෙන් යට වූයේ මධ්‍යම අධිවේගය ඉදිකිරීමේදී ජලය බැස යන කලාප අවහිර කරමින් කළ ඉදිකිරීම් නිසාය. අදටත් ඒ ගැටලූව එසේමය.

දැවැන්ත පරිසර විනාශයකට හේතු වන පාලකයන්ද උල් පන්දම් අල්ලන තවත් පාරිසරික ගැටලූවක් වන්නේ වැලි ජාවාරම්කරුවන් අතින් ශ‍්‍රී ලංකාවේ ගංගා ආශි‍්‍රත පරිසරය විනාශ වීමයි. ගෙවුණු වසරේද මේ විනාශයේ ප‍්‍රබලම ගොදුරක් බවට පත්වූයේ මහවැලි ගංගාවයි.

‘‘ දැදුරු ඔය, මහවැලි ගංග, මා ඔය අනවසර වැලි ජාවරමේ තෝතැන්නක් බවට පත්ව ඇති බව අපට නිරීක්ෂණය වුණා. මේවායේ වැලි හෑරීමට විශාල වශයෙන් අනවසර වැලි බලපත‍්‍ර නිකුත් කර තිබෙනවා. මහවැලි ගෙඟ් ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ කිලෝමීටර් 21 ඇතුළත වැලි බලපත‍්‍ර 130 ක් පසුගිය මාසය වෙනකොට නිකුත් කරල තියනවා. ඒ කියන්නේ මේ ප‍්‍රදේශයේ මහවැලියේ සෑම මීටර් 17 කටම එක වැලි බලපත‍්‍රයක් තියනවා.’’ යැයි පරිසර සහ සොබාදහම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ රවීන්ද්‍ර කාරියවසම් මහතා මේ පරිසරය විනාශය පිළිබඳ හෙළි කරමින් වරක් අප සමග කීවේය. මීට ආසන්න දිනකදී වැලි ජාවාරමේ තෝතැන්නක් වන මනම්පිටිය ප‍්‍රදේශයේ වැලි ජාවරම්කරුවන් දිඹුලාගල රාහුල නාහිමියන්ට තර්ජන එල්ල කිරීම ගැනද පුවත්පත් වර්තා පළ විය. පැවති සෑම ආණ්ඩුවක්ම මේ ගැටලූවද අතීතයෙන් වර්තමානය කරා එලෙසම ගෙන ආවේ කිසිදු හිරිකිතයකින් තොරවය. අපේ රට වටා ඇති සමුද්‍රීය පරිසරය ලෝකයේ බොහා් රටවලට නොමැති අගනා සම්පතක්ය. විදෙස් සංචාරකයන් මේ රට කෙරෙහි වැඩි ආකර්ශනයක් ඇති එක් හේතුවක් වන්නේ රට වට කොට ඇති රමණීය වෙරළ තීරය නිසාය. ශ‍්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරය විනාශ වීම කූටප‍්‍රාත්තියට පත්වූයේ ගෙවුණු වසරේය. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව බටහිර වෙරළ තීරයට ආසන්න මුහුදේදී ගිනිබත්ව ප්ලාස්ටික් කැබිලි රසායන ද්‍රවය. ගිනිගත් සුන් බුන්වලින් වෙරළ තීරයම දූෂණය වී ගියේය. ගිනි ගන්නා විට මේ නෞකාවේ නියිටි‍්‍රක් ඇසිඞ් ටොන් 25 ක්ද රූපලාවණ්‍ය ආලේපන රසායන ද්‍රව්‍ය බහාලූම් 1486 ක්ද තිබුණු බව වාර්තා විය. එයින් ශ‍්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය ගැන තවමත් නිසි තක්සේරුවක් කර නැත. මෙම විනාශයේ විපාක අනාගතයේදී කවර මුහුණුවරකින් බලපාන්නේ දැයි දැන් කිසිවෙකුත් නොකියන පසුබිමක තවමත් වගකිව යුත්තන්ගෙන් නිසි වන්දියක්වත් ලබාගැනීමට මේ රටේ පාලකයන් අසමත්ව ඇත.

අප 2021 වසර අවසන් කර 2022 කට ජාතියක් ලෙස පය තියන්නේ එකී මෙකී නොකී නොවිසඳුණු පාරිසරික ගැටලූ රාශියක් කරපින්නාගෙනය. පිහිටීම අතින් ලෝකයේ ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් ලෙස අප ස්ථානගතව තිබුණද භෞතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ගමන් කිරීමේදී ඒ වටිනාකම් විනාශ කරගන්නා ජාතියක් බවට ක‍්‍රමිකව අප ගමන් කරමින් ඇත. එහෙත් මේ මිහිතලය ස්වකීය වපසරියෙන් අපව තබා තිබෙන්නේ කෙතරම් වටිනා තැනකද. ඒ වටිනාකමට ඇයට අපි පෙරළා ලබා දෙන්නේ මොනවාද.. අදටත් ඒ ගැන සිතන්නට තවමත් අපට කාලය ඇත.

තිස්ස ගුණතිලක
තොරතුරු දත්ත ලබාදුන් පරිසරවේදී සුපුන් ළහිරු ප‍්‍රකාශ් සහ
පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්ට ස්තූතියි.

advertistmentadvertistment
advertistmentadvertistment