“නොවී මද මානය වෙමු අනතිමානය”

281

ලාමක අදහස් ඇත්තෝ යම්කිසි සම්පත්තියකට පැමිණි විට එයින් මත්වෙති. මිනිසුන් බොහෝ සෙයින් මත්වන්නේ කුලය, ධනය, බලය, නිලය, පිරිවර, උගත්කම හා තරුණකම යනාදී කරුණු මුල්කර ගෙන බව පෙනේ. ස්ත්‍රී පාර්ශවය බොහෝ සෙයින් තම රූපය නිසා මත්ව සිටිනු දක්නට ලැබේ. සමහරු පැහැපත, රූපත, ඇඟපත නිසාද මත්වෙති. උදාර අදහස් ඇත්තා වූ පුද්ගලයෝ තමන් කුමන සම්පත්තියකට පැමිණියත් මත් නොවෙති. මදය හෙවත් මානය සාමාන්‍යයෙන් එකක් වුවද විභංග ප්‍රතරණය එය ආකාර විසිහතකට (27) බෙදා දක්වා තිබේ.

  1. ජාති මදය : මගේ ජාතිය ඉතා උසස්ය. ශ්‍රේෂ්ඨය. කිසිම ජාතියකට දෙවෙනි නොවන්නේය. මම උසස් ජාතියකට අයත්ය. අන් අය පහත්, හීන, ජාති ඇත්තෝ යයි ජාතිය නිසා හටගන්නා වූ මානයයි.
  2. ගෝත්‍ර මදය : ඒ ඒ ජාතීන්ට අයත්වූ වෙන් වෙන් වූ කුල ගෝත්‍ර පරම්පරා වෙති. ඒ ඒ පෙළපත්වලට වෙන්වූ නාම ගෝත්‍රද වෙති. මම අසවල් උසස් පෙළපතට අයත්වෙමි. මම එසේ මෙසේ කෙනෙක් නොවෙමියි සිතා හටගන්නා වූ මානයයි. 3. ආරෝග්‍ය මදය : මට කිසි රෝගයක් නැත. අන් අය නිතර විවිධ රෝග වලින් පීඩා විඳින පව්කාරයෝය. අඩුම තරමින් මට සෙම්ප්‍රතිෂ්‍යාව පමණ රෝගයක්වත් නැතැයි නිරෝගීකම නිසා හට ගන්නා මානයයි. 4. යොවුන් මදය : මම තරුණයෙක්මි. මට සවි ශක්තිය ඇත. මගේ ඉඳුරන් සවිමත්ය. වැඩිහිටියන් මහලු අය අතරදී තම යොවුන් බව නිසා, තරුණ කම නිසා, මතු වන මානයයි.
  1. ජීවිත මදය : අල්ප්‍රායුෂ්ක මිනිසුන්ගේ මරණය දැක බොහෝ මිනිස්සු ඉක්මනින් මරණයට පැමිණෙති. මම දීර්ඝායුෂ ඇත්තෙක් වෙමි. අන් අය දුකසේ දුක් විඳිමින් ජීවත් වෙති. මම වනාහි සුවසේ ජීවත් වෙමි. ජීවිතය නිසා හටගන්නා වූ මානයයි. 6. ලාභ මදය : තමන්ට ලැබෙන, ලැබුණු අධික ලාභයන් සහ ආදායම් මාර්ග අනුව අන් අය සමඟ සසඳමින් ඇතිකර ගන්නා වූ මානයයි. 7. සත්කාර මදය: තමන් අන් අයට වඩා සෑම දෙනාගෙන්ම නොයෙක් සත්කාර ලබන්නේ යයිද, සියල්ලෝම තමන්ට අනේක විධ ආකාරයෙන් සත්කාර කරතියි කියා හටගන්නා වූ මානයයි. 8. ගරුකාර මදය : අන් අය තමන්ට කරන ගෞරව බුහුමන් නිසා උපදනා මානයයි. සත්කාර මදයට මෙය සමානය. දේශපාලකයන්ට, උගතුන්ට, අධිපති තනතුරු දරණ අයට, පැවිද්දන්ට මෙම මානය වැඩිපුර ඇත. 9. පුරෙක්ඛාර මදය: යම්කිසි දුෂ්කර කටයුත්තක් පැමිණි විට බොහෝ අය ඒ සඳහා මාවම කැඳවන්නේය. යන යන තැන ප්‍රධානත්වය, මූලාසන මාහට ලැබෙන්නේය. බරපතළ ගැටලු, ප්‍රශ්න මගෙන්ම විසඳාගන්නේය යයි තමන්ට ලැබෙන ප්‍රධානත්වය නිසා ඇති කරගන්නා මානයයි.
  2. පිරිවර මදය : මට ඕනෑ දෙයකට ඕනෑ තරම් මිනිස්සු සිටිති. අන් අයට පිරිවර නැතයිද සිටියත් සිටින්නේ දුබලයන්ය. මට සිටිනුයේ ලෝකයේ පිළිගත් උසස් මිනිසුන්ය යැයි තමා වටා සිටින පිරිවර ජනයා දැක ඇතිකර ගන්නා මානයයි. 11. භෝග මදය : ධනයෙන් ආඪ්‍ය බොහෝ දෙනා ඉසුරු මදයෙන් මත් වෙති. තමාට හිමි ධන්‍ය, ඉඩකඩම්, වතුපිටි, යාන වාහන, කෙත්වතු ආදිය ගැන සිතමින් ඇතිකර ගන්නා වූ භවභෝග සම්පත් පිළිබඳ මානයයි.
  3. වර්ණ මදය : අන් අය විරූපීය, දැකීමට පවා අප්‍රියය, මම වනාහි පැහැයෙන් යුතුය. දැකුම්කළුය. දුටුවන් සිත් පිනවන්නේ යයි තම පෙනුම, වර්ණය නිසා ඇතිකර ගන්නා මානයයි.
  4. සුත මදය : මම තරම් උගතෙක් නැත. බහුශ්‍රැතයෙක් නැත. මට වඩා දක්‍ෂයෙන් නැතැයි තම උගත්කම නිසා, බොහෝ ඇසූ පිරූතැන් ඇති බව නිසා හටගන්නා මානයයි.
  5. පටිභාග මදය :

මට වනාහි විචාර බුද්ධියක් ඇත. විමසීමේ විචාර නුවණක් ඇත. ඒ අනුව කරුණු කාරණා හරිහැටි වටහා ගැනීමේ නුවණ ඇත යයි වැටහීම නිසා හටගන්නා වූ මානයයි. 15. රත්තඤ්ඤ මදය : ඉපැරණි දේවල් පරම්පරාගත තොරතුරු, අතීතය පිළිබඳ තොරතුරු මා තරම් දන්නා කෙනෙක් නැත යයි පැරණිකම නිසා මත්වන්නාවූ ආකාරයෙන් හටගන්නා මානයයි. 16. පිණ්ඩපාත මදය : මෙය පිණ්ඩපාතික භික්‍ෂූන් වහන්සේලාට පමණක් ඇතිවන මානයකි. මම වනාහි පිණ්ඩපාතයෙන් යැපෙමි. අන් භික්‍ෂූන් ළඟට ගෙනවිත් දෙනතෙක් බලා සිටිති. මම වනාහි සෑම කල්හිම පුරාණයෙන් වැඩහිටි මහතෙරවරුන් මෙන් පිණ්ඩපාතයෙන්ම ජීවත් වන්නෙමි යයි සිතා ඇති කරගන්නා මානයයි.

  1. අනවඤ්ඤාත මදය :

සියල්ලෝම විවිධාකාර නින්දා, අපහාස, අවමන්, ලබා ඇත. මම වනාහි කිසිවකුගෙන් තවම නින්දා, අපහාස, අවමන් ලබා නැත. ඉදිරියටද නොලබන්නේ යයි අවමන් නොලැබීම නිසා හටගන්නා මානයයි.

  1. ඉරියාපථ මදය : අන්‍යයන් යන, එන, ආකාරය හිඳින සිටින නිදන ආකාරය පියකරු නොවේ. යහපත් නොවේ. මාගේ ඉරියව් පැවැත්වීම යහපත්ය. පියකරුය. දුටුවන් පහදින සුලුයයි උපදනා මානයයි. 19. ඉද්ධි මදය :

අන් අයට නැති මහානුභාවසම්පන්න අහසින් යාම් ආදී සෘද්ධියෙන් කළ හැකි දෑ ඇත්තෙමියි සෘද්ධිය නිසා සෘද්ධිමතුන්ට ඇතිවන මානයයි.

  1. යස මදය : ගම, රට, පළාත, දිස්ත්‍රික්කය, නිකාය, සංස්ථාව ආදී ආයතනයනට ප්‍රධාන වීම ඒ ප්‍රධානකම නිසා හටගන්නා වූ මානයයි. 21. සීල මදය : අන්‍යයෝ දුශ්ශීලයෝය. පව්කාරයෝය. හික්මීමත් හැදියාවත්, සංවරකමක් නැත්තෝය. මම වනාහි සිල්වත් වෙමි. ගුණවත් වෙමි. විනීතද වෙමි. තමාගේ සීලය තුළින් ඇතිකර ගන්නා මානයයි.
  2. ධ්‍යාන මදය : අන්‍යයන්ට නැති ධ්‍යාන සම්පත් තමා ලබා ඇතැයි ධ්‍යානලාභීන්ට ධ්‍යානය නිසා හටගන්නාවූ මානයයි. 23. සිප්ප මදය : තමා දන්නා ශිල්ප ශාස්ත්‍ර, කර්මාන්ත, හැකියාවන් නිසා ශිල්පය නිසා හටගන්නා වූ මානයයි. 24. ආරෝහ මදය : අන් අයට වඩා මම කඩවසම්ය. මාගේ ශරීර අවයව පරිපූර්ණය. මෙසේ කඩවසම් බව කරණ කොටගෙන මතුවන මානයයි.
  3. පරිනාහ මදය : තම පැහැපත, රූපත, ඇඟපත නිසා මා අන් අයට වඩා ආරෝහ පරිනාහ සම්පන්න වෙමියි නොඋස් නොමිටි බව නිසා හටගන්නා වූ මානයයි.
  4. සන්ඨාන මදය : අන් අයට වඩා තම ශරීර සොබාව පිරිපුන්ය. මනාව පිහිටා ඇත. මම දුටුවන්ගේ සිත් ඇදගන්නා සුලු වෙමියි

හටගන්නා මානයයි. 27. පාරීපූරී මදය : මාගේ ශරීරයේ දොස් නැත. සියල්ල ලස්සනට පිහිටා ඇත. මාගේ ශරීරය හැඩවැඩ සහිතය. මෙසේ ශරීරයේ පරිපූර්ණ බව නිසා හටගන්නා මානයයි. මෙම සත්විසි මදයත් මෙන්ම මානය හටගන්නා තවත් විශේෂිත වූ මදයන් දෙකක් තිබේ. එනම් බලය නිසා හටගන්නා මානය සහ කීර්ති ප්‍රශංසා තුළින් මතුවන මානයයි. මේ සියලු මානයන් හැමදෙනා තුළම අඩුවැඩි වශයෙන් කිහිපයක් හෝ ඇත. මානය යනු මැනීමයි. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන වශයෙන් මානය තෙවැදෑරුම් වන අතර මේවා කිසිවකින් මත් නොවීමටත් මානය දියුණු නොකිරීමටත් සියල්ලෝම යුහුසුළු වීම වැදගත් වේ.

දඩල්ල වාලුකාරාම වෙහෙර වැසි,
ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment