නොසන්සුන්තාවය බොහෝ විපත්වලට හේතුවන බව අමුතුවෙන් කිව යුතු නැත. ඇතැම්විට මෙම විපත් මාරාන්තිකය. තවත් විටෙක මුළු ජීවිත කාලයටම පසුතැවීමට සිදුවේ. එනිසා මෙය පාලනය කර ගැනීමට අපි කොයි කවුරුත් අවධානය යොමු කළ යුතුය.
මෙලෙස නොසන්සුන්තාවය නිසා ඇතිවූ විපත් කිහිපයක් පසුගිය දිනවල මාධ්‍ය මගින්ද වාර්තා කර තිබුණි. ඉන් කිහිපයක්ම දුම්රිය හා රථ වාහන ගැටීම නිසා ඇතිවූ අනතුරුවේ. මේ සියල්ලෙන්ම ජීවිත අනතුරු සිදුවූ අතර ඊට අමතරව බරපතළ තුවාල සිදුවීම් ද ඇතිවී තිබුණි. එම නිසා එම අනතුරු මුළු ජීවිත කාලයටම විඳවන්නට සිදුව ඇත.
මෙවැනි අනතුරු දිගු කාලයක සිට සිදුවේ. ඒ සියල්ල හමුවේ අප පවසන්නේ රිය අනතුරු ලෙසය. එනිසා එම අනතුරු රිය අනතුරු ගොන්නට දමා අපි රථ වාහනවල දුර්වලතා සහ අඩුපාඩු ගැන අවධානය යොමු කිරීමට පෙළඹී සිටින්නෙමු.
බිරිඳ හෝ සැමියා සම්බන්ධව ඇතිවූ සැකයක් හෝ දෙදෙනා අතර ඇතිවූ අඩ දබරයක් නිසා පහරදීමක් හෝ ඝාතනය කිරීමක් වැනි සිද්ධීන්ද වාර්තාවන ප්‍රමාණය ඉහළ ගොස් ඇත. ඒවා ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස පවසමින් අපරාධ සිද්ධීන් ගොන්නට එක් කරමින් ඒවාද අපි බැහැර කරන්නට හුරුව සිටින්නෙමු.
එනිසා මෙවැනි අනතුරු හෝ අපරාධ කිසි දිනක අඩුවීමක් හෝ පාලනයක් වන්නේ නැත. එසේවී ඇත්තේ අප මෙම අනතුරු පාලනය කිරීමට උත්සාහ ගන්නේ ඊට මූලික වූ ප්‍රධාන කරුණු හඳුනාගෙන නොවීමය.
මේ සෑම සිද්ධියකටම ප්‍රධාන කරුණු වී ඇත්තේ අප තුළ පවතින නොසන්සුන්කමය. බිරිඳ සමඟ සන්ඩු සරුවල් වු සැමියා අසල දුම්රිය මාර්ගයට පැන දුම්රියක් නතර කිරීමට උත්සාහ කිරීමේදී බරපතළ තුවාල ලැබී යැයි යන පුවත අසන අපට එකවර ඇතිවන්නේ කම්පාවක් නොව හාස්‍යයකි. පිස්සෙක් ලෙස පවසමින් අප එම සිදුවීම බැහැර කරන්නෙමු. නමුත් ඔහු බිරිඳ සමඟ රන්ඩු කරන්නේ මත්පැන් පානය කර සිහිවිකල්ලෙනි. එනිසා ඔහු තුළ පවතින නොසන්සුන් බව ඉහළය. එහි මත්පැන් නිසා එය තවත් වැඩිවේ. එවිට තමා කරන කියන දේ පිළිබඳව එතරම් වැටහීමක් නැත. එය පාලනය කිරීමට තරම් මානසික ශක්කතියක්ද නොමැත.
දුම්රිය මාර්ගයකදී අපරික්ෂාකාරී ලෙස රිය පදවන පුද්ගලයින් තුළ ඇතිවන්නේ නොසන්සුන් බවකි. එනිසා එම පුද්ගලයා තුළ සාමාන්‍ය සිහිය දුර්වලවේ.
මෙලෙස සිදුවන්නේ අපගේ නොසන්සුන් නාඩියේ ක්‍රියාකාරිත්වය පාලනය නොකිරීම නිසාය. කුඩා කල සිට දෙමාපියන් දරුවන් හදන්නේ යන්ත්‍ර සූත්‍රමෙනි. දරුවාට තමාගේ කැමැත්ත මත යමක් රසවිඳීමට තමාගේ මනස සතුටුවන ක්‍රීඩාවක නිරතවීමට අවස්ථාවක් නැත. එනිසා නොසන්සුන් නාඩිය පාලනය වීමකින් තොරව ක්‍රියාකාරී වේ.
මෙය ඔවුන් වැඩිහිටි වියට පත්වූ විටද පැවතීම නිසා සහ එම දිවියේදී ඇතිවන ගැටලු හමුවේ ඊට මුහුණ දීමට තරම් මානසික ශක්තියක් ඇති නොවේ.
වර්තමානයේ අපට නිතර නිතර අසන්නට ලැබෙන අනතුරුවලට ප්‍රධාන හේතුව මෙය බව දැන්වත් වටහාගත යුතුය. එනිසා ඒවා පාලනය සඳහා නීති රීති දැඩි කිරිම වෙනුවට පුද්ගලයින්ගේ මනස සන්සුන් කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කළ යුතුය.
ඒ සඳහා මානසික නිදහස ලබාදිය යුතුය. මානසික නිදහස යනු අවිවේකීව සිටීම නොව තමා ප්‍රිය කරන මනසට සුවදෙන යහපත් ක්‍රියාවක නිරතවීමට ඉඩ සලසාදීමය. මනසට සුවය ගෙන දෙන්නේ ගීතයක් ඇසීම, ක්‍රීඩාවක නිරතවීම, ස්වභාවික පරිසරයේ යම් වේලාවක් ගත කරමින් එහි සුවය ලැබීම, ආගම දහමට කාලය ගත කිරීම ආදිය මගිනි. මේවා තම ජීවිතය සමඟ එක්කර ගැනීම තුළින් නොසන්සුන් බව පාලනය කරගෙන සන්සුන් බව වර්ධනය කරගත හැකිය.
එහිදී ආහාරපාන ආදියෙන්ද එය පාලනය කරගත යුතුය. විශේෂයෙන්ම, මත්පැන්, මත්ද්‍රව්‍ය දුම්වැටි මගින් මනසේ නොසන්සුන් බව වැඩිකරයි. එනිසා ඒවායින් ඈත්විය යුතුය.
වර්තමානයේ මනස නොසන්සුන් කරන තවත් ප්‍රධාන කරුණක් වී ඇත්තේ අධික ලෙස ජංගම දුරකථනයට ඇබ්බැහිවීමය. එහි ඇති තරංගවල බලය මගින්ද මනස නොසන්සුන් කරයි. එනිසා ඒවා පරිහරණයද පාලනයකින් යුක්තව සිදු කළ යුතුය.
මෙලෙස කටයුතු කිරීමෙන් මනසේ ක්‍ෂණිකව ඇතිවන නොසන්සුන් බව පාලනය කළ හැකිය. එවිට බොහෝ අනතුරු සහ විපත් පාලනය කරගත හැකිය.
සෘෂි නාඩි වෛද්‍ය මහාචාර්ය දියවැඩියාව, පිළිකා, ආතරයිටීස් පිළිබඳ විශේෂ
වෛද්‍ය ජිනසිරි ලයන්වෙල