ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂය (ITAK) මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්විය යුතු බවට වවුනියාවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (16 දා) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
මේ සාකච්ඡාවට එම පක්ෂයේ නියෝජිතයින් හයදෙනකු සහභාගී වූ බවත් ඉන් පස් දෙනකුම සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමේ තීරණයට කැමැත්ත පළ කළ බවත් පක්ෂයේ නායක කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පමණක් එම තීරණය නොපිළිගත් බවත් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය. එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා දෙමළ පොදු අපේක්ෂක බී. අරියනේත්‍රම් මහතාට සහාය දැක්වීමට මීට පෙර ගත් තීරණය වෙනස් නොකරන බව මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කොට තිබේ.
ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිකොට දෙමළ ජනතාව සම්බන්ධයෙන් වූ මූලික ප්‍රශ්නවලට විසඳුමක් ලබාදීමට එකඟ වූයේ සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවත් බුද්ධාගමට පමණක් ප්‍රමුඛත්වය ලබාදීමට ඇති ව්‍යවස්ථා වගන්තිවල යම් සංශෝධනයක් සිදු කිරීමට ඔහු කැමැත්ත පළකිරීමත් යන කාරණා ගැන සලකා බැලීමෙන් පසුව ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂය මෙම තීරණයට එළඹි බවද මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.
‘එබැවින් 2024 සැප්තැම්බර් 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට අප පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුව ඔහුට ඡන්දය ලබාදෙන මෙන් ඡන්දදායකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු’ යනුවෙන් එම පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් කොට තිබේ.
දිනසේන රතුගමගේ